සැකකරුවන් තිදෙනාට ගම්පහ අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග

  👤  4189 readers have read this article !
By mawbima 2018-05-28

මිනුවන්ගොඩ - අතුකෝරල


ගම්පහ ඔරුතොට පාරේ පිහිටි ඉඩමක් මිලට ගෙන එහි ගොඩනැඟිලි දෙකක් ඉදිකර හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට කාර්යාලයක් පවත්වාගෙන යෑමට ඉඩ සලසමින් රජයේ මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් ආරක්ෂිත සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් විලී ගමගේ ඇතුළු තිදෙනකුට එරෙහි නඩුව පසුගියදා (25දා) ගම්පහ මහෙස්ත්‍රාත් ඩී.ඒ. රුවන් පතිරණ මහතා හමුවේ කැඳවනු ලැබීය. එහිදී කොළඹ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරියකු කරුණු දක්වමින් මෙසේ පැවැසීය.


මෙම නඩුවට අදාළ උද්ධෘත නීතිපති උපදෙස් ලබා ගැනීම සඳහා 2016 වර්ෂයේ ජූලි මස 15 වැනි දින ඛ්අර්ණී5/18/2016 අංක යටතේ නීතිපති දෙපාර්තමේන්තුව වෙත භාරදෙනු ලැබුවා. රාජපක්ෂ අනුස්මරණ, අධ්‍යාපනික, සංස්කෘතික සහ සමාජ සේවා පදනමේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි චමල් රාජපක්ෂ මහතාගෙන් නැවත ප්‍රකාශයක් ලබාගන්නා ලෙස නීතිපති උපදෙස් ලැබුණා. ඒ අනුව පසුගිය මැයි 01 වැනිදා පැලවත්තේ පිහිටි නිවෙසේදී චමල් රාජපක්ෂ මහතාගෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් ප්‍රකාශ සටහන් කර ගත්තා. ගම්පහ ඔරුතොට පාරේ අංක 28 ඒ යන ලිපිනයේ පිහිටි ඉඩම මිලට ගනු ලැබුවේ 2010 වර්ෂයේ පැවැති මැතිවරණයට ලැබුණු මුදල්වලින් බවත් එම මැතිවරණ කටයුතු සඳහා එකතු වූ මුදල් සියල්ල පරිහරණය කරනු ලැබුවේ කරුණජීව යන අයකු බවටත් චමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළ බවත්, 2010 වර්ෂයේ මැතිවරණයට ලැබුණු මුදල් ලබා දුන් සංගමයක්, සංවිධානයක් හෝ පුද්ගලයන් කවුද කියා නොදන්නා බවත් පවසා සිටියා.


ඉඩමේ ගොඩනැඟිල්ල ඉදිකිරීම සඳහා කොපමණ මුදලක් වැයවූයේද යන්න නොදන්නා බවටත් චමල් මහතා ප්‍රකාශ දුන් බවට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් අධිකරණය හමුවේ පවසමින් නීතිපති උපදෙස් ලැබෙන තෙක් ඉදිරි කටයුතු සිදුකිරීම සඳහා දිනයක් ඉල්ලා සිටිනු ලැබීය.


නඩුව නැවත අගෝස්තු 31 වැනිදාට කැඳවීමට නියම කෙරිණි. ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම්
විලී ගමගේ, උපුල් දිසානායක සහ ආරියතිලක දහනායක යන සැකකරුවන් තිදෙනා අධිකරණයේ පෙනී සිටි අතර අගෝස්තු 31 වැනිදාට ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙසට එම සැකකරුවන් තිදෙනාට නියම කෙරිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon