මංගල සමරවීර සහ සරත් ෆොන්සේකා ලසන්ත ඝාතනය ගැන ප්‍රසිද්ධියේ කතා කරනවා

  👤  4212 readers have read this article !
By mawbima 2018-05-28

කවින්ධ්‍යා පෙරේරා


සන්ඩේ ලීඩර් පුවත්පතේ කතෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කළේ කවුදැයි පාර්ලිමේන්තු මන්ත්‍රි මංගල සමරවීර මහතා සහ සරත් ෆොන්සේකා මහතා ප්‍රසිද්ධියේ කතා කරන බව ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ මහතා ගල්කිස්ස මහෙස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය හමුවේ ප්‍රකාශ කළේය.


සිද්ධියට අදාළ නඩුව ඉකුත් 25දා කැඳවූ අවස්ථාවේ රක්ෂිත බන්ධනාගාරගතව සිටින නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර වෙනුවෙන් ඇප ඉල්ලීමක් කරමින් මෙලෙස සඳහන් කළේය.


මෙම සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගල්කිස්ස පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති තිස්ස සුගතදාස මහතා සහ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර මහතා බන්ධනාගාර නිලධාරීන් මඟින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් සහකාර පොලිස් අධිකාරි තිසේරා මහතා සමඟින් සමූහ මිනීමැරුම් හා මංකොල්ල අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා අධිකරණයේ පෙනී සිටි අතර නීතිපතිවරයා නියෝජනය කරමින් රජයේ ජේ‍යෂ්ඨ අධිනීතිඥ ජනක බණ්ඩාර මහතා පෙනී සිටියේය.


ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ මහතා තවදුරටත් කරුණු ඉදිරිපත් කරමින් මෙසේ සඳහන් කළේය.


මාගේ සේවාදායකයා මෙම සිද්ධියට කිසිසේත්ම සම්බන්ධ නෑ. ඔහු තමන්ගේ රාජකාරිය හරියාකාරව සිදු කළ අයෙක්. ලසන්ත මැරුවේ කවුද කියලා දේශපාලනඥයන් කිහිප දෙනකු ප්‍රසිද්ධියේ නම් කියා ගන්නවා. නමුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන තෙක් ඔවුන්ගෙන් ප්‍රකාශ අරගෙන නෑ. ඒ වගේම ලසන්ත ඝාතනය වූ දිනයේ ඔහුගේ දියණියගේ විවාහ උත්සවයට නිවාඩු අරගෙන ඉඳලා තියෙන්නේ.


එසේම ස්වාමිනී, මේ වන විට සිදු කර ඇති විමර්ශනවලින් අනාවරණය වෙලා තියෙනවා මෙම ඝාතනය හමුදා බුද්ධි අංශ නිලධාරීන් සිදු කළ බවට. එසේ තිබියදී පොලිස් නිලධාරීන් රක්ෂිත බන්ධනාගාරගත කර තිබීම වැරදියි. එසේම හමුදා බුද්ධි අංශ නිලධාරීන්ට උදවු කළා කියලා උපකල්පනය කළත් එසේ උදවු කළා කියන්න සාක්ෂි නෑ.
සන්ඩේ ලීඩර් පුවත්පතේ කතෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කළේ කවුදැයි පාර්ලිමේන්තු මන්ත්‍රි මංගල සමරවීර මහතා සහ සරත් ෆොන්සේකා මහතා ප්‍රසිද්ධියේ කතා කරනවා. නමුත් මේ වන තෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔවුන්ගෙන් ප්‍රකාශයක්වත් අරගෙන නෑ


එසේම අපරාධ
පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.


ලසන්ත ඝාතනය කිරීමට ගල්කිස්ස ප්‍රදේශයම තෝරා ගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ වන විට සැකයක් මතුව ඇති බව වැඩිදුර වාර්තාවේ සඳහන්ව ඇති අතර එයට හේතුව ලෙසට ලසන්තගේ පළමු පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා සහ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර මහතා මෙම ප්‍රදේශයේ සිටීම යැයි සැක කරන බව වැඩිදුර වාර්තාවේ දක්වා ඇත.


දෙවැනි සැකකරු වන ගල්කිස්ස පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති තිස්ස සුගතදාස මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රසික වීරසූරිය මහතා ඇප ඉල්ලීමක් කිරීමට අවසර ඉල්ලා සිටි අතර එම ඉල්ලීම ලබන ජුනි 01 වැනිදා සිදුකරන ලෙසට මහෙස්ත්‍රාත්වරිය ප්‍රකාශ කරමින් සැකකරුවන් ලබන ජුනි 01 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළාය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon