ක්‍රීඩා සංගම්වල වැඩ දැක්කම මට අප්‍රසන්නයි - විගණකාධිපති ගාමිණී විජේසිංහ විගණන වාර්තා නොදෙන සංගම් ගැන දැඩි තීන්දු ගන්නවා - - ක්‍රීඩා ඇමැති ෆයිසර්

  👤  4027 readers have read this article !
By mawbima 2018-05-28

මින් ඉදිරියේදී තම පරිපාලන කාල සමයට අදාළව වාර්ෂිකව විගණන වාර්තා ඉදිරිපත් නොකරන ක්‍රීඩා සංගම් සම්බන්ධයෙන් දැඩි තීන්දු ගන්නා බව පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පවසයි.


ක්‍රීඩා අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී ජාතික ක්‍රීඩා පනතේ විවිධ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පසුගියදා (26දා) පැවැති විශේෂ මාධ්‍ය හමුවට සහභාගී වෙමිනි. එම අවස්ථාව සඳහා විගණකාධිපති ගාමිණී විජේසිංහ, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන යන මහත්වරුන් සහ ක්‍රීඩා සංගම් 64ක් නියෝජනය කරමින් එම සංගම්වල ප්‍රධාන නිලධාරීහු විශාල පිරිසක් සහභාගී වූහ.


ශ්‍රී ලංකාවේ ක්‍රීඩා සංගම් තුළ පවතින ගැටලු පිළිබඳව සලකා බැලීමේදී ක්‍රීඩාවෙන් බලාපොරොත්තු වන එකමුතුකම එම ක්‍රීඩා සංගම් තුළ පවතින්නේද යන්න සැක සහිත බව කියා සිටි ක්‍රීඩා අමාත්‍යවරයා වැඩි දුරටත් අදහස් දක්වමින් "මම මේ අමාත්‍යාංශය භාර ගනිද්දී කිව්වා මූල්‍ය වංචාවන්ට අදාළ චෝදනා සම්බන්ධයෙන් හැර වෙනත් කරුණු හේතුවෙන් අතුරු පාලකමණ්ඩල පත් කරන්නේ නැහැ කියලා. මේ වන තෙක් සමහර සංගම් මූල්‍ය වාර්තා භාර දීල නැහැ. පසු වාර්තා භාරදීලත් නැහැ. සමහර වාර්තාවල විගණකාධිපතිවරයා දෙන උපදෙස් ක්‍රියාත්මක කරලා නැහැ. අද විශේෂයෙන් විගණකාධිපතිතුමාව මෙතැනට සහභාගී කර ගත්තේ විගණනය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් ඔබට ලබා දෙන්නයි. ඒ වගේම ක්‍රීඩා සංගම්වල ව්‍යුහයන් පරිපාලන, ප්‍රශ්න සම්බන්ධයෙන් නොයෙක් ක්‍රීඩා සංගම්වල මත ඉදිරිපත් කරලා තියෙනවා. ඔබ සියල්ලන්ගේ අදහස් ඉදිරිපත් කරන්න. ක්‍රීඩාවට හොඳ දේ අරගෙන ඉදිරියට යන්න මම කැපවෙනවා." යනුවෙන් පැවැසීය.


කෙසේ වෙතත් ක්‍රීඩා පනත සම්බන්ධව කටයුතු කිරීමේදී අවශ්‍ය උපදෙස් ලබා ගැනීම සඳහා නීතිඥ මණ්ඩලයක් පත් කර ඇති බව සඳහන් කළ ක්‍රීඩා අමාත්‍යවරයා "මම නීතිඥ කමිටුවක් පත් කරලා තියෙනවා. නීතිඥ මහත්වරු 6 දෙනෙක් ස්වේච්ඡාවෙන් කිසිදු මුදලක් අය නොකර මට සහාය දෙන්න එකඟ වෙලා තිබෙනවා. ක්‍රීඩා සංගම්වල අදහස් විමසීමෙන් අනතුරුව ක්‍රීඩා පනත පිළිබඳව ජනතාවගෙන් අදහස් ගන්න මම බලාපොරොත්තු වනවා. ඒ සඳහා දින 14ක කාලයක් ලබා දෙනවා. මේ ගමන එකට යා යුතු ගමනක්. මම කිසි විටෙක පක්ෂග්‍රාහීව කටයුතු කරන්නේ නැහැ." යනුවෙන් පැවැසීය.


තවද මෙම අවස්ථාවට සහභාගී වූ විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා කියා සිටියේ ක්‍රීඩා සංගම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විගණකාධිපතිවරයා වශයෙන් තමන්ට ඇත්තේ ඉතාමත් අප්‍රසන්න හැඟීමක් බවයි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විගණකාධිපතිවරයා "ශ්‍රී ලංකාවේ ක්‍රීඩා සංගම් 62ක වාර්තා අපි සකස් කරනවා. ඒවා විගණනය කිරීම සඳහා මූලික ලිපි ලේඛන අවශ්‍ය වෙනවා. එයට නිසි ක්‍රමවේදයක් තිබිය යුතුයි. නමුත් අපගේ ක්‍රීඩා සංගම්වලට ගිණුම් තැබීම් සම්බන්ධයෙන් කිසිම ක්‍රමවේදයක් නැහැ. ඒ අනුව අපට ඒවා විගණනය කිරීමේ හැකියාවකුත් නැහැ. එය ඉතාමත් නරක තත්ත්වයක්. මේ තත්ත්වය ඉතාමත් ඉක්මනින් නිවැරදි කරගත යුතුව තිබෙනවා. අභ්‍යන්තර ක්‍රමවේදයක් හරහා නිවැරදි තොරතුරු සකසාගත යුතුයි." යනුවෙන් පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon