අමරසිංහ කමිටුව ඇමැතිට දුන් වාර්තාව කෝ? චූදිතයාම ජපාන සංචාරයේත් කළමනාකරු වෙයි

  👤  4138 readers have read this article !
By mawbima 2018-05-28

සිරිනාම රාජපක්‍ෂ


මෑතකදී ශ්‍රී ලංකාවේදී නිමාවට පත්වූ දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරුවා ලෙස කටයුතු කළ අනිල් වීරසිංහ මහතාට එරෙහිව මතුවූ මතභේදාත්මක තත්ත්වය සම්බන්ධයෙන් කරුණු විමසා බලා වාර්තාවක් සැපැයීම සඳහා ඒකපුද්ගල කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා තීරණය කළ අතර එම කමිටු වාර්තාව පසුගිය 15දා පෙරවරුවේ ක්‍රීඩා අමාත්‍යවරයාට සහ ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට භාරදී ඇතත් ඒ පිළිබඳව කිසිදු විසඳුමක් මෙතෙක් ගෙන නොමැති බවටත් වාර්තා වේ.


ජාතික ක්‍රීඩා කෞතුකාගාරයේ සභාපති සමන් අමරසිංහ මහතාගේ ඒකපුද්ගල කමිටුව විසින් සකස් කරන ලද මෙකී වාර්තාවේ පිටපත් ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්ට සහ අතිරේක ලේකම් (පරිපාලන) වෙතද යවා ඇති බව දැනගන්නට ඇති අතර පසුගිය දිනවල ඉන්දියාවේ සංචාරයක නිරතව සිටි ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා අද (28දා) දිනයේදී ලංකාවට පැමිණීමෙන් පසුව මෙකී වාර්තාව සමිබන්ධයෙන් අවසන් නිගමනයකට එනු ඇතැයිද පැවැසේ. කෙසේ වෙතත් දින 10ක පමණ කාලයක් වැයකරමින් සකස් කරන ලද මෙකී වාර්තාව සම්බන්ධයෙන් "මව්බිම" අමරසිංහ මහතාගෙන් විමසූ විට ඔහු කියා සිටියේ නිර්නාමිකව තොරතුරු ලබා දුන් පහළොස් දෙනකු ඇතුළුව තිස්පස්දෙනකුගෙන් ප්‍රශ්න කොට ලබා ගත් තොරතුරු අනුව අදාළ වාර්තාව සකස් කළ බවයි.


තවද එසේ නිර්නාමිකව අදහස ් දැකවූ පිරිස අතරට කනිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ද ඇතුළත් වූ බවත් ප්‍රසිද්ධියේ නාමිකව සාක්ෂි ලබා දුන් පිරිසට ගේට්වේ ජාත්‍යන්තර පාසලේ ක්‍රීඩිකාවක් සහ අදාළ ක්‍රීඩා උළෙලේ කනිෂ්ඨ පිරිමි කණ්ඩායමේ නායකයාද ඇතුළත්ව සිටි බවත් අමරසිංහ මහතා කීය. මෙම වාර්තාව සැකැසීමට පෙර අනිල් වීරසිංහ මහතා සහ අදාළ පුහුණුකරුවන් පස්දෙනෙකුගෙන්ද, ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ නිලධාරීන් හා නිලධාරිනියන් කිහිපදෙනකුගෙන්ද ප්‍රශ්න කර ඇති බවද පැවැසේ. කෙසේ වෙතත් පරීක්‍ෂණ වාර්තාවට අදාළ විසඳුම් මෙසේ ප්‍රමාද වුවද ලබන මස 7දා සිට 10 දා දක්වා ජපානයේ පැවැත්වෙන ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරුවා ලෙසත් උක්ත පරීක්‍ෂණයට අදාළ චූදිතයාම පත්කර ඇතැයිද මලල ක්‍රීඩා ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon