ගාල්ලේදී ක්‍රිකට් තරග පාවාදීම් ගැන තවත් කුණු එළියට

  👤  4151 readers have read this article !
By mawbima 2018-05-28

ගාල්ලේදී පැවැති ටෙස්ට් තරග 2ක් සහ එළැඹෙන නොවැම්බර් මාසයේදී එංගලන්ත කණ්ඩායමට එරෙහිව
ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත තවත් ටෙස්ට් තරගයකට අදාළව තරග පාවාදීමක් සම්බන්ධයෙන් තොරතුරු රැසක් හෙළිදරව් කර ගැනීමට
"අල් ජසීරා" රූපවාහිනි සේවය සමත් වී ඇතැයි වාර්තා වේ.


එනම් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පසුගිය 2017 වර්ෂයේ ජූලි මාසයේදී පැවැති ටෙස්ට් තරගයක් සහ 2016 වර්ෂයේදී පැවැති ටෙස්ට් තරගයක් මුදලට පාවාදීම සිදුකර ඇති බව එකී මාධ්‍ය වාර්තාව මඟින් හෙළිදරව් කරගෙන ඇත. තවද එම මාධ්‍ය ආයතනය විසින් රහසේ පටිගත කරන ලද තරග පාවාදීමට අදාළව පැවැති සාකච්ඡාවක් ඇසුරින් ඔවුන් තවදුරටත් පෙන්වා දෙන්නේ එළැඹෙන නොවැම්බර් මාසයේදී එංගලන්ත කණ්ඩායමට එරෙහිව ගාල්ලේදී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගයද පාවාදීමට ඔවුන් විසින් සැලසුම් කර ඇති බවයි.


ඒ අනුව එම තරගවලදී ඔවුන්ට අවශ්‍ය තොරතුරු ලබා ගැනීම සඳහා ගාල්ල ක්‍රීඩාංගණයේ තණතීරුව සකස් කරන්නාට රොබින් මොරිස් නම් ක්‍රිකට් ඔට්ටු තබන්නා විසින් අල්ලස් ලබා දෙන ලද බව මුම්බායි නුවර රහසිගත වාර්තාකරුවකුට පවසා ඇති බවත් ඔට්ටුකරුවන් විසින් එම තරගයේදී විශාල මුදල් ප්‍රමාණයක් ඔට්ටු ඇල්ලීම සිදුකරන ලද බවත් එකී වාර්තාවේ සඳහන්ය. තවද රොබින් මොරිස් ගාල්ල ක්‍රීඩාංගණයේ තණතීරු භාරකරු සහ සහාය කළමනාකරු වන තරංග ඉන්දික සමඟ ගාල්ලේ පිහිටි ප්‍රධානපෙළේ හෝටලයක සිදු කරන ලද සාකච්ඡාවකදී තමන්ට අවශ්‍ය ආකාරයට තරගය වෙනස් කිරීමට තණතීරුව සකස් කළ හැකි බවත් ඔට්ටුකරුවන්ට අවශ්‍ය ආකාරයට දඟකැවෙන, වේගපන්දු යවන්නන්ට උචිත හෝ පිතිකරුවන්ට උචිත අයුරින් තණතීරුව සකස් කළ හැකි බව රඟ දක්වමින් තරංග ඉන්දික ප්‍රකාශ කරන අයුරු එම රහසිගත වීඩියෝවේ සඳහන් වන බව ද වාර්තා වේ.


ඒ අනුව ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ ගාල්ලේ පැවැති තරගයේදී තණතීරුව පන්දු යවන්නන්ට උචිත දඟකැවීමකින් යුක්ත තණතීරුවක් ලෙසින් සකස් කරන ලද බවත් ඉන්දීය තරගයේදී පිතිකරුවන්ට උචිත අයුරින් තණතීරුව සකස් කරන ලද බවත් ඔහු එහිදී පවසා ඇත. තවද දින පහේ තරගයක් දින දෙකහමාරකින් අවසන් වන අයුරින් තණතීරුව සකස් කිරීම තමන්ට සිදු කළ හැකි බවද ඉන්දික එහිදී ප්‍රකාශ කර තිබේ. කෙසේ වුවද මෙම තරග සදහා සහභාගී වූ ක්‍රීඩකයන් හට තණතීරුව හෝ මෙම තරග පාවාදීමේ සිදුවීම පිළිබද කිසිදු දැනුමක් නොතිබූ බවද එම වාර්තාවේ වැඩිදුරටත් සදහන් වේ.


කෙසේ වෙතත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (අයි.සී.සී.) මඟින් මේ පිළිබඳව ගැඹුරින් විමර්ශනය කිරීම සදහා පරීක්ෂණයක් මේ වන විටත් අරඹා ඇති බවත් එම චෝදනා සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කරන බවත් අයි.සී.සී. දූෂණ මර්දන ඒකකයේ ප්‍රධානී ඇලෙක්ස් මාර්ෂල් පවසයි.


මේ අතර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මඟින් අරඹා ඇති අතර එම පරීක්ෂණය සදහා අවශ්‍ය සහයෝගය ලබා දෙමින් පූර්ණ සම්බන්ධීකරණය සිදුකරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon