ලෝක කුසලානයට යන ඊජිප්තු පාපන්දු පිලේ මොහොමඩ් සලාත් ආබාධිත ලැයිස්තුවට

  👤  4080 readers have read this article !
By mawbima 2018-05-28

වසර 28කට පසුව ලෝක කුසලාන පාපන්දු තරගාවලියකට සුදුසුකම් ලබාගත් ඊජිප්තු ජාතික පාපන්දු කණ්ඩායමේ ප්‍රධාන තුරුම්පුවක් වන මොහොමඩ් සලාට මෙවර පාපන්දු ලෝක කුසලානයට ක්‍රීඩා කිරීම අවිනිශ්චිත තත්ත්වයක පවතින අතර ඔහුගේ උරහිසේ අස්ථියක ඇතිවී තිබෙන ආබාධයක් ඊට හේතුව වී ඇත.


යු.ඊ.එෆ්.ඒ. චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලියේ අවසාන මහා තරගය අතරතුරදී ලිවර් පූල් කණ්ඩායමේ මොහොමඩ් සලා රියල් මැඩ්රිඩ් කණ්ඩායමේ නායක සර්ජියෝ රාමෝස්ගේ ගැටී බිම ඇද වැටීමෙන් මෙසේ ආබාධයකට ලක්ව ඇති අතර අබාධය බරපතළ බව ලිවර්පූල් කණ්ඩායමේ කළමනාකරු ජර්ගන් ක්ලොප් තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත පවසා තිබිණි.


කෙසේනමුත් ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ජුනි 15 වැනිදා උරුගුවේ හා ඊජිප්තුව අතර පැවැත්වෙන තරගයට මොහොමඩ් සලාට ක්‍රීඩා කිරීමට බොහෝදුරට හැකියාව පවතින බව ඊජිප්තු පාපන්දු සම්මේලනය නිකුත් කර ඇති ප්‍රකාශය මතභේදාත්මක කරුණක් බවට පත්ව ඇත.


තවද පාපන්දු ලෝකයේ වාර්තා රැසකට හිමිකම් කියන මොහොමඩ් සලා එංගලන්ත ප්‍රිමියර් ලීග් තරගාවලියකදී වැඩිම ගෝල ගණනක් රැස් කරගෙන ඇති ක්‍රීඩකයාද වන අතර පසුගිය වසරේ 'අප්‍රිකානු පාපන්දු ක්‍රීඩකයා' සම්මානයද හිමිකරගෙන ඇත.


කෙසේවෙතත් නොකඩවා තෙවැනි වරටත් යු.ඊ.එෆ්.ඒ. චැම්පියන්ස් ලීග් පාපන්දු ශූරතාව හිමිකරගන්නට රියල් මැඩ්රිඩ් කණ්ඩායම පසුගියදා සමත් වූ අතර අවසන් මහා තරගයේදී රියල් මැඩ්රිඩ් කණ්ඩායම හමුවේ ලිවර්පූල් කණ්ඩායම ගෝල 3-1ක් ලෙස පරාජයට පත්විය. මොහොමඩ් සලා ආබාධයට ලක්වීමත් සමඟ ඔහුව පිටියෙන් ඉවත්කිරීමට ලිවර්පූල් කණ්ඩායමේ වෛද්‍ය ඒකකය තීරණය කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon