බන්ධනාගාරයේ සිටින සනත් මැතිසබය උණුසුම් කරයි

  👤  4182 readers have read this article !
By mawbima 2018-05-28

ගංවතුර සමඟ අයහපත් කාලගුණය ගැන මේ දිනවල පාර්ලිමේන්තුවේදී කතාබස් කෙරුණද පවතින දේශපාලන උණුසුම නම් ගංවතුරට ගසාගෙන ගොස් නැත. පසුගිය කාලයේ සිට රටේ පැවැති දේශපාලන පෙරළි සමඟ දේශපාලන උණුසුම ක්‍රමක්‍රමයෙන් මැතිසබයද රත් කරන්නේ සීතල කාලගුණය පසෙකට තබමිනි.


කරු ජයසූරිය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගිය සිකුරාදා පාර්ලිමේන්තුව රැස්වූ අතර කාරණා කිහිපයක්ම හේතුවෙන් ආරම්භයේදීම මැතිසබය උණුසුම් වන්නට විය.
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින මන්ත්‍රිවරයකු විසින් එදින මැතිසබය උණුසුම් කිරීම විශේෂතම සිද්ධියයි.


ඔහු ඒකාබද්ධ විපක්ෂයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සනත් නිශාන්තය.


සනත් නිශාන්ත මන්ත්‍රිවරයා මේ වන විට සිටින්නේ මීගමුව බන්ධනාගාරයේය. මන්ත්‍රිවරයා පසුගිය මාස 3ම පාර්ලිමේන්තුවට පැමිණියේ බන්ධනාගාරයේ සිටය. තමාට එල්ල වී තිබෙන චෝදනාවකට පොලිසිය ඉදිරියේ පෙනී නොසිටීම හේතුවෙන් මන්ත්‍රිවරයා මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවට ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරයි.
මැතිසබය රැස්වූ විගස මෙම කරුණු කථානායකවරයා වෙත ඉදිරිපත් කරන ලද්දේ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායමේ නායක දිනේෂ් ගුණවර්ධන විසිනි.
මේ සමඟම මැතිසබය තුළ උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවෙන්නට විය.


පොලිසියේ පෙනී නොසිටීමේ චෝදනාවට සනත් නිශාන්ත මන්ත්‍රිතුමා බන්ධනාගාරගත කරලා මාස 3ක් වෙනවා. මේ නඩුව ඉදිරිපත් කරලා තියෙන්නේ ආණ්ඩුව විසින්. හලාවත මහාධිකරණයට පසුගියදා මන්ත්‍රිතුමා ඉදිරිපත් කළාට පසුව යළි රිමාන්ඩ් කරලා තියෙනවා. හේතුව නඩුකාරතුමා නොපැමිණීමලු.


මීට ආණ්ඩු පක්ෂයෙන් බාධා එල්ලවීම නිසා මැතිසබය උණුසුම්කාරී විය.


ආණ්ඩු පක්ෂය වෙනුවෙන් මීට ප්‍රතිචාර ලබාදීමට වහාම නැඟී සිටියේ පාර්ලිමේන්තුවේ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ලය.


'දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රිතුමාගේ ඉල්ලීම ගැන මං පුදුම වෙනවා. මේ ඉල්ලීමට කථානායකතුමාට ඇප දෙන්න බැහැ. 1983 නේද ඔබතුමා පාර්ලිමේන්තුවට ආවේ. මේවා ගැන දන්නේ නැද්ද? ඇප ගන්න හොඳ නීතිඥ මහත්තයෙක් අල්ලාගන්න' ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කළේය.


'මේ ගැන අධිකරණ ඇමැතිතුමියටත් මං කතා කළා. මේක සාධාරණ දෙයක් නෙවේ කියලා ඇමැතිතුමියත් පිළිගත්තා. මං මේ ගැන නීතිපතිතුමාටත් කතා කළා. මේක අවුරුදු 4කට 5කට කලින් වෙච්ච සිද්ධියක්. මාත් පිළිගන්නවා මන්ත්‍රිතුමාට අසාධාරණයක් වෙලා තියෙනවා කියලා. යනුවෙන් කරු ජයසූරිය කථානායකවරයා ප්‍රකාශ කළේය.'
'කිසිම ආණ්ඩුවක් කාලේ මේ වගේ ඇප ලබානොදීම් සිදුකරලා නැහැ. පොලිසියට ඉදිරිපත් වුණේ නැහැ කියලා මාස 3ක් රිමාන්ඩ් කරනවාද? පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ටත් මෙහෙම නම් සාමාන්‍ය ජනතාවට කොහොමට කරාවිද?' යනුවෙන් බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේය.


ඒ සමඟම ආණ්ඩුවෙන් ඉවත් වී විපක්ෂයට එකතු වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනාගේ කණ්ඩායම වෙනුවෙන් නැඟී සිටියේ හිටපු අමාත්‍ය දයාසිරි ජයසේකරය.
'ගරු කථානායකතුමනි, පොලිසියේ පෙනී නොසිටියහොත් කරන්නේ අවවාද කරන එකයි' දයාසිරි ජයසේකර පැවැසුවේය.


මේ සමඟම නැඟී සිටියේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශය.


'ඇප කොන්දේසි උල්ලංඝනය කිරීම මතයි රිමාන්ඩ් කරලා තියෙන්නේ. කිසිම සාධාරණ හේතුවක් නැහැ. මේ ආකාරයෙන් දිගින් දිගටම පළිගැනීම් සඳහා අධිකරණය යොදාගන්නවාද? කියන සැකය මතුවෙලා තියෙනවා.'


'මේ සම්බන්ධයෙන් අධිකරණ ඇමැතිතුමිය, නීතිපතිවරයා දැනුවත් කරලා තියෙනවා' යනුවෙන් කරු ජයසූරිය කථානායකවරයා ඊට ප්‍රතිචාර දැක්වීය.
එම මාතෘකාව ඒ සමඟ අවසන් වුවද තවත් උණුසුම් මාතෘකාවක් කරළියට ගෙනාවේ විමල් වීරවංශ මන්ත්‍රිවරයා.


'ගරු කථානායකතුමනි, ආංශික අධීක්ෂණ කමිටුවල විවිධ වාර්තා ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් මේවායේ කටයුතු පෙර පැවති අමාත්‍යාංශ උපදේශ කාරක සභාවල වගේ සිදුවෙනවාද? ආංශික අධීක්ෂණ කාරක සභා පටන් ගන්න කියලා තමයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ ගොඩනැඟිල්ල ඉල්ලා ගත්තේ.


නමුත් අන්තිමට වුණේ 'සබීතා' ගේ බිල්ඩිමට මාසෙකට රුපියල් කෝටි 2 1/2ක් ගෙවීමට සිදුවීමයි. අලුත් කෘෂිකර්ම ඇමැතිතුමා ඒ ගණන් වැඩිකරලා කියලා ආරංචියි. ඒ කතාව එසේ අවසන් වන විට මුළු පාර්ලිමේන්තුවම ගිනියම් වන බෝම්බයක් පත්තු කළේ හිටපු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකරය.


'ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර සිද්ධියට එරෙහිව මං හඬ නැඟුවා. දැන් ඊට විරුද්ධ වුණු අයට පහර ගහන්න මේ ආණ්ඩුව කටයුතු කරනවා. මට චෙක් එකක් ලැබුණාලු. ඔය කියන කාලයේ මං පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු නෙවෙයි. එතකොට මං කෝප් කමිටු සාමාජිකයකුත් නෙවෙයි. මේ කියන චෙක් එක මගේ නමට ලියපු නැති මුදල් චෙක් එකක් කවුරු දුන්නු චෙක් එකක්ද කියලවත් මං දන්නේ නැහැ.


මීට අමතරව තවත් හෙළිදරව්වක් දයාසිරි ජයසේකර සිය කතාවේදී සිදුකෙළේය.


මං බැඳුම්කර කෝප් කමිටුවේදී ඍජු ක්‍රමයේ ඉඳලා වෙන්දේසි ක්‍රමයට බැඳුම්කර නිකුත් කරන්න අවසර ලබාදුන්නේ කවුද කියලා ප්‍රශ්න කළා. එහෙම මං ප්‍රශ්න කරනකොට කෝප් කමිටුවේ හිටපු අජිත් පී. පෙරේරා,


හර්ෂණ රාජකරුණා යන එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් එළියට ගිහිල්ලා මගේ ප්‍රශ්න කිරීම ගැන රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාට දැනුම් දුන්නා. ටික වේලාවකින් අගමැතිතුමාගෙන් දුරකථන ඇමැතුමක් කියලා කෝප් කමිටුවේ සිටින මට පණිවුඩයක් ලැබුණා.


දයාසිරි ජයසේකරගේ බැඳුම්කර බෝම්බයෙන් පසුව මැතිසබය රත්වෙන තවත් කතාවක් කීවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රිවරයාය.


'අපේ රටට පැමිණෙන ආයෝජකයන්ගෙන් වතුර වීදුරුවක්වත් එපා කියලයි අපි ආයෝජකයන් සමඟ සාකච්ඡාව පටන්ගත යුත්තේ. නමුත් දැන් එන ආයෝජකයන් සමඟ සාකච්ඡාව පටන් ගන්නේ කොහොමද? මුලින්ම අපේ කට්ටිය අහන්නේ මට ලැබෙන කොමිස් මුදල කීයද? කියලයි' යනුවෙන් ප්‍රකාශ කළ අනුර තවත් අනුර කෙනකු ඉතා ගෞරවයෙන් මෙහිදී සිහිපත් කිරීමටද අමතක නොකිරීම විශේෂ සිදුවීමකි.


ජනතා විමුක්ති පෙරමුණේ නායකයාගේ එසේ ගෞරවයට පාත්‍ර වූයේ හිටපු කථානායකවරයකු මෙන්ම හිටපු අමාත්‍යවරයකු මෙන්ම ජේ‍යෂ්ඨ ප්‍රබල දේශපාලනඥයකු වූ අනුර බණ්ඩාරනායකය.


'මේ අවස්ථාවේදී 2004 ආණ්ඩුවේ හිටපු කර්මාන්ත අමාත්‍ය අනුර බණ්ඩාරනායක මහතා මං ඉතා ගෞරවයෙන් සිහිපත් කරන්න කැමැතියි. එදා මං ඉඩම් ඇමැතිවෙලා ඉන්න කොට කන්තලේ ප්‍රදේශයේ ආයෝජනය කරන්න ආයෝජකයෙක් පැමිණියා. මං ඉඩම ලබාදෙන්න සූදානම් වුවත් කර්මාන්ත ශාලාව ආරම්භ කිරීමට සාකච්ඡා කළ යුත්තේ එවකට කර්මාන්ත අමාත්‍ය අනුර බණ්ඩාරනායක මහතායි. මං මේ ගැන අනුර බණ්ඩාරනායක මහත්තයට කිව්වා. ඔයා සුදුසු දෙයක් කරන්න කියලා අනුර බණ්ඩාරනායක මහතා මට කිව්වා. එච්චරයි.' යනුවෙන් අනුර කුමාර දිසානායක මහතා සිහිපත් කළේ එදා අනුර බණ්ඩාරනායක මහතා ක්‍රියාකරපු ආකාරයයි.


පසුගිය සතියේ දිනක මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා කෙටි වේලාවකට පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණියේය.
එදා වර්ෂාව තදින් පැවැති දිනයකි.


ගංවතුර ගැන හිටපු ජනාධිපතිවරයා සහ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පිරිසක් අතර කතාබහක් සිදුවිය.
'මෙහෙම වැස්සොත් පාර්ලිමේන්තුවත් යටවෙයිද දන්නේ නැහැ' එක් මන්ත්‍රිවරයෙක් ප්‍රකාශ කළේය.


'මේ පාර්ලිමේන්තුව ගංවතුරකට යටවෙතැයි කියලා මුලින්ම අනාවැකියක් ප්‍රකාශ කළේ මමයි. එදා 80 දශකයේ අගදී පාර්ලිමේන්තු උපදේශක කාරක සභා රැස්වීමකට මං සහභාගි වුණා. ඒ වෙලාවේ තිබුණේ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවයි. මේ බත්තරමුල්ලේ වටේම වගුරුබිම්. පහත්බිම් ගොඩකරගෙන ගියා. මං ඒ බව පෙන්වා දීලා කිව්වා මෙහෙම ගොඩකරගෙන ගියොත් පාර්ලිමේන්තුව වුණත් යටවෙන්න පුළුවන් කියලා' යනුවෙන් එදා කියපු අනාවැකියක් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සිහිපත් කළේය.


'මේ පාර නම් පාර්ලිමේන්තුව යටවෙන එකක් නැහැ. සර්ගේ මල්ලී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා පාර්ලිමේන්තුවයි, කොළඹ නගරයයි ගංවතුරෙන් බේරාගත්තා. ඒකාබද්ධ විපක්ෂයේ තවත් මන්ත්‍රිවරයකු පෙන්වා දුන්නේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon