නිවාස අමාත්‍යාංශය හයකට කඩලා එයින් එක කෑල්ලක් මට ලබා දීලා

  👤  4644 readers have read this article !
By mawbima 2018-05-28

කෑගල්ල - බණ්ඩාර මද්දුමගේ

නිවාස අමාත්‍යාංශය අද වෙන කොට අමාත්‍යාංශ 6කට කඩලා. ඉන් එකයි මට තිබෙන්නේ. නිවාස හැදීමේ අමාත්‍යාංශය මටම තිබුණා නම් සාමසර කන්දෙන් අවතැන් වූ ජනතාවට කූඩාරම්වල ළතැවෙන්න තියන්නේ නැහැයි, නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස කෑගල්ලේ පැවැති උත්සවයකදී පැවැසීය.


ඒ සැමට සෙවණ ජාතික වැඩසටහනට අනුකූලව කෑගල්ල දිස්ත්‍රික්කයේ 763 දෙනකුට ලක්‍ෂ 751ක් ලබා දීමේ 2018 වසරේ නිවාස ණය ලබාදීමේ උත්සවයක් කෑගල්ල නගර සභා ශාලාවේ පැවැති අවස්ථාවේදීය.


එහිදී තවදුරටත් කතා කළ අමාත්‍යවරයා මෙසේද පැවැසීය.


''දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතා උදාගම් හැදුවා. මම උදාගම් 2,500ක් වත් හදන්න ඕනෑ. එවිට අපිට නම්බුව තියාගෙන යන්න පුළුවන්. දැනට උදාගම් 718ක් හැදෙනවා. 2,500ට යන්න ඉදිරි මාස තුළ 895ක් හදන්න ඕනෑ. ඒ අනුව දිනපතා ගම්මාන 04ක් ගාණේ හදන්න වෙනවා. 2019 දෙසැම්බර් 31 වන විට මෙය ඉටු කරන්න වෙනවා. මෙය කොහොම හරි කරනවා.


මහජන නියෝජිතයන් මහජනතාව සමඟ සමීපව ඉන්න ඕනෑ. ඡන්ද දායකයන්ගේ හදවත් පුංචි මිනිසාට ශක්තිය ලබා දෙන්න සාමාන්‍ය ජනතාවට ශක්තිය ලබා දෙන්න. එසේ කටයුතු කිරීමට යහපාලන ආණ්ඩුව කටයුතු කරනවා.


කුලියට බද්දට වෙනත් නිවාසවල පදිංචි වන්නේ නැතිව ජීවත් වෙන්න අපේ ජනතාව බලාපොරොත්තු වෙනවා. අපේම ඉඩමක් අපේම නිවෙසක්.


කුප්පි ලාම්පුවෙන් එළිය ලබලා අධ්‍යාපනයේ ඉහළටම ගිය තරුණ තරුණියෝ බලාපොරොත්තු වෙනවා රැකියා ප්‍රශ්නයට ස්ථීර විසඳුමක්. ගොවියා බලාපොරොත්තු වෙනවා ඔහුගේ කෘෂිකාර්මික ජීවිතය ගෙනයන්න. හැම ගොවියෙක්ම බලාපොරොත්තු වන්නේ හොඳ ජීවිතයක් ගෙනියන්න.


දූෂණය, වංචාව, හොරකම, ප්‍රෝඩාව බැහැර කරපු මේ අවුරුදු කාලය තුළ පාලකයන්ගේ සුඛ විහරණය පමණක් නොව, පසුගිය කාලයේදී පාලකයෝ රටේ සම්පත් තමන්ගේ පෞද්ගලික ලෙස යොදවා රටේ සම්පත් පොදු ජනතාව වෙත ලබා දුන්නේ නැහැ. දුකින් පෙළෙන ජනතාව දුකින් මුදවන්නට ජනතාවට සහන හා ශක්තිය ලබා දෙන්නට කරන්නේ කොහොමද අද රටේ සම්පත් ජනතාවට ලබා දෙන්න.


අපි වායුසමීකරණය තුළ ඉඳගෙන සැලසුම් හැදුවත් අපි තේරුම් ගන්න ඕනෑ පොදු ජනතාවගේ ප්‍රශ්න ගැන. රටට ජනතාවට මෙයට වඩා ප්‍රගතියක් අවශ්‍යයි. දහදෙනකුගෙන් ඇහුවොත් නව දෙනෙක් ආණ්ඩුවගැන සතුටු නැහැ කියයි. මේවා අපි අවබෝධ කර ගන්න ඕනෑ.


ඉතිහාසයේ ප්‍රථම වතාවට රටේ ප්‍රධාන දේශපාලන පක්‍ෂ දෙක එකතු වෙලා අමාරු ගමනක් යන්නේ. ඒ යන්නේ එකම න්‍යාය පත්‍රයකට. එක පක්‍ෂයක් රට පාලනය කරනවා වාගේ නොවෙයි. එක් පක්‍ෂයකට ප්‍රමුඛතාව ලබාගන්න බැහැ. කුළල් කාගැනීම අවම කරගෙන අමාරු ගමනක් යන්න වෙලා තිබෙනවා. අපිට රෙද්දක් ඇඳගෙන පාරේ යන්න පුළුවන් විදියට ආණ්ඩුවේ හිටියත්, විපක්‍ෂයේ හිටියත් පුළුවන් වෙන්න ඕනෑ.''

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon