මුදල් වෙනුවට ගොවීන්ට යළි පොහොර දෙන්න සටන් කළේ මමයි

  👤  4218 readers have read this article !
By mawbima 2018-05-28

වර්ෂාව නිසා ඇති වුණු ආපදා තත්ත්වය සමනය කරන්න අලුත් ආපදා ඇමැතිවරයා විදිහට මැදිහත් වුණේ කොහොමද?


ආපදාවට පෙර ජනතාව එයින් මුදා ගැනීමටයි වැඩි මහන්සියක් යෙදෙව්වේ. ගිය වසරේ ගංවතුර පිළිබඳව අත්දැකීමක් තියෙනවා. ගියවර වතුර ගැලුවාට පසුව බෝට්ටු, නිලධාරීන් යවා ගන්න දවස් දෙකක් විතර ගියා. කාලගුණ දෙපාර්තමේන්තුවේ වාර්තාත් එක්ක ආපදාවලට ලක්විය හැකි ඉතා අනතුරුදායක, මධ්‍ය අනතුරුදායක, සුළු අනතුරු සිදුවිය හැකි ප්‍රදේශ වශයෙන් ප්‍රදේශ බෙදා වෙන්කොට ගම්මාන, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, වසම් වශයෙන් වෙන් කරගන්නා. ඒ අනුව අනතුරකට පෙර කලින් දැනුවත් කිරීම් කළා. ඒ නිසා ආපදාවට ලක්විය හැකි පිරිස 70,000ක් වගේ පිරිසක් ඉවත් කරගෙන තිබෙනවා. ඒ අනුව ඇතිවෙන්න ඉඩ තිබූ හානි රාශියක් වළක්වාගත හැකි වුණා. ගංවතුර ඇති වුණු ප්‍රදේශවල ජනතාව ආරක්ෂිත තැන්වලට යවා ඔවුන්ට අවශ්‍ය ආහාර පහසුකම් ලබා දෙමින් සිටිනවා. ගංවතුර ඇතිවෙයි කියන සියලුම ප්‍රදේශවලට අවශ්‍ය බෝට්ටු යැවීමත්, සහන කණ්ඩායම් ස්ථානගත කිරීමත් කර තිබෙනවා. රත්නපුරේ බෝට්ටු 30කට වැඩි ප්‍රමාණයක්් සූදානම් කළා. නමුත් පාවිච්චි කළේ 3යි.


පසුගිය කාලයේ සිදුවූ ආපදා තත්ත්වයන්වලදී ආපදාවලට මුහුණදුන් ජනතාවගේ ජීවන තත්ත්තවය යථා තත්ත්වයට පත් කර නැති බවට ආණ්ඩුවට ඒකාබද්ධ විපක්ෂයෙන් චෝදනා එල්ල වෙනවා?


සමහර ස්ථානවල එවැනි සිද්ධීන් තියෙනවා. ඒකාබද්ධය වෙන්න පුළුවන් වෙන කවුරුහරි වෙන්න පුළුවන් ස්වාභාවික විපතකදී තමන්ගේ ඡන්ද ගොඩට ඡන්දයක් එකතු කරගන්න කතා කරනවා නම් ප්‍රථමයෙන්ම මම එය හෙළා දකිනවා. දේශපාලනය තියෙන්න ඕන බව ඇත්ත. හැබැයි මේක කේ‍රා්ටන් කොළත් දේශපාලන වේදිකාවට ආපු යුගයක්නේ. විද්වතකුට විද්වත් මතයක්වත් කියන්න බෑ, ඒකත් දේශපාලන වේදිකාවේ විවේචනය කරන තැනට පත් වෙලා.


ඒ වගේම සමහර දේශපාලනඥයන් මැරිලා උපන්නා වගේ කතා කරන්නේ. තමන්ගේ කාලෙත් ඒ වගේ දේවල් ඕන තරම් වෙලා තියෙනවා.
පහුගිය කාලයේ ප්‍රශ්න කීපයක් තිබුණා. ව්‍යසනයක් ඇති වුණු වහාම පැය 24න් 48න් අපි ප්‍රතිචාර දැක්වුවා. ඒකට ස්ථිර විසඳුමක් සොයනකොට අපි භාවිත කර තිබෙන්නේ රටේ සාමාන්‍ය නීතියයි. උදාහරණයක් විදිහට ඉඩමක් පවරා ගන්නා විට එය කර තිබෙන්නේ රටේ සාමාන්‍ය නීතියටයි. ව්‍යසනයකදී අපට පුළුවන්නම් ක්ෂණික ප්‍රතිචාර දක්වන්න, ස්ථිර විසඳුමත් වේගවත්ම කරන්න ක්‍රමයක් මේ රටේ හැදෙන්න ඕනෑ. ඒක මේ රටේ නෑ.


ඒ වගේම රජයෙන්් ගෙවල්, ඉඩම් දෙන්න පොරොන්දු වුණත් අපේ රටේ ඇතැම් පිරිස් ඒවාට යන්න අකමැති නිසා තවම ඒ පහසුකම් දෙන්න බැරි වෙලා. ආණ්ඩුවේ තක්සේරුව පිළිබඳව සෑහීමකට පත් නොවී කෙනකු හිතනවා නම් ඊට වඩා ඕන කියලා එය බොහෝ සුබවාදීව කරන්නත් පුළුවන්, කඩාකපල්කාරීව කරන්නත් පුළුවන්. ඒ වගේ අවස්ථාත් තියෙනවා.


ඒ නිසා ප්‍රශ්නය 100%ක් විසඳන්න නොහැකි වෙලා. ඒක ආණ්ඩුවේ ප්‍රශ්නයක්වත් අමාත්‍යාංශයේ ප්‍රශ්නයක්වත් නෙවෙයි. ස්වාභාවික ව්‍යසනයකදී සියලු දෙනාගේම සහායත් අවශ්‍ය වෙනවා සියලු දෙනාටම විසඳුම් ලබා දෙන්න.

ඔබ කෘෂිකර්ම අමාත්‍යාංශය දරන කාලයේ පොහොර ලබා දීම ආදී ගැටලු පැනනැඟී තිබුණා. ඔබ ඒ අමාත්‍යාංශය මෙහෙයවීම අසමත් නිසාද වෙනත් අමාත්‍යාංශයක් ලැබුණේ?
පොහොරවලට මුදල් ලබාදිය යුතුයි කියන කාරණාව මගේ යෝජනාවක් නෙවෙයි. ඒක යහපාලන ආණ්ඩුව ගත් තීන්දුවක්. කවුරු හරි කියනවානම් ඒක අසමත් කියලා ආණ්ඩුවේ තීන්දුව අසමත් මිසක් දුමින්දගේ තීන්දුව අසමත් නෙවෙයි. මම තමයි නැවත පාරක් මුදල් වෙනුවට පොහොර දෙන්න ඕන කියලා සටන් කළේ. ඒ තීන්දුව වෙනස් කරලා ජනතාවට පොහොර ටිකත් දීලා තමයි මම මේ අමාත්‍යාංශයට ආවේ.

දුමින්ද දිසානායක අමාත්‍යවරයා කී විට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ගොඩනැඟිල්ල සම්බන්ධව කතා මාතෘකාවක් වුණා. ඔබ ඒ සම්බන්ධව දරන මතය සමාජ ගත වුණා කියලා හිතනවාද?


පාර්ලිමේන්තුවේ අවශ්‍යතාවට මගේ අමාත්‍යාංශය වෙලා තිබුණු කෘෂිකර්ම අමාත්‍යාංශයේ ගොඩනැඟිල්ල ඉල්ලූ විට මට පාර්ලිමේන්තුවේ ඉල්ලීම අහක දාන්න පුළුවන්කමක් නෑ. ඒ අනුව වෙනත් ගොඩනැඟිල්ලකට යන්න වුණා. කෘෂිකර්ම අමාත්‍යාංශය වගේ විශාල අමාත්‍යාංශයක් තැන් කීපයක තියන්න බෑ. අපට අවශ්‍ය වර්ග අඩි ප්‍රමාණය සොයන විට අපට ලැබුණේ මේ බිල්ඩිම. ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ ස්ථානයක් ගත්තා නම් මීට වඩා ගෙවන්න වෙනවානේ.


මේක වඩා කතාබහට ලක් වෙන්න හේතුව මම තරුණ දේශපාලනඥයෙක්. දේශපාලනඥයන් එක්ක නිළියන්ගේ නම් කතාබහ කරන්න මේ රටේ ජනතාව හරි ආසයි. සබීතා කියන්නේ මං පොඩි කාලේ හිටපු නිළියක්. මේ දේවල් එකතු කරලා කතාවක් හැදුවා විතරයි. වෙන කතාවක් නෑ.

ශ්‍රීලනිපයේ 16 දෙනකු විපක්ෂයේ වාඩි වුණා. ඔවුන් කීවේ ඔබ ශ්‍රීලනිපයේ මහ කේලමා ලෙසයි.


මම කාටවත්ම කේලාම් කියන කෙනෙක් නෙවෙයි. කීව කෙනා මට වඩා හොඳට රට දන්නවා එයා මොන වගේ කෙනෙක්ද කියලා. ඒ නිසා මම ඒකට උත්තර දෙන්න ඕනෑ නෑ.
ශ්‍රීලනිපය දෙදරා ගිහින් කියලා ඔබ පිළිගන්නවාද?


කිසිම දෙදිරීමක් නෑ. ශ්‍රීලනිපයේ සිටින කණ්ඩායමයෙන් ඊළඟ ජනාධිපති අපෙක්ෂකයා කවුද කියලා ඇහුවොත් කටපුරා කියනවා මෛත්‍රිපාල සිරිසේන වර්තමාන ජනාධිපතිතුමා තමයි කියලා.


ශ්‍රීලනිපයෙන් ගියපු 16 දෙනාගෙන් කීපදෙනකු කියනවා අපේ ජනාධිපති අපේක්ෂකයා වෙන්නේ ගෝඨාභය කියලා. තව කෙනකු කියනවා බැසිල් කියලා. චමල් කියලා තව කෙනකු කියනවා. සුසිල් ප්‍රේම්ජයන්ත් ඇමැතිතුමා ඉතාමත් පැහැදිලිව පුද්ගලයන් ගැන කියනවා. ජෝන් සෙනෙවිරත්න ඇමැතිතුමා පුද්ගලයෙක් ගැන කියනවා. ඔවුන් ශ්‍රීලනිපයේ නම් ඇයි පොහොට්ටුවේ කට්ටියගේ නම් කියන්නේ.


ශ්‍රීලනිපය නම් ශ්‍රීලනිපයෙ සභාපති තමයි ඊළඟ පාර ජනාධිපති අපේක්‍ෂකයා කියලා කටපුරා කියාගන්න බැරි නම් ඒ අය ශ්‍රීලනිපයේද කියන එක තේරුම් ගන්න මහා ලොකු මොළයක් ඕන නෑනේ.


මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා මේ සියලු බාධක මැද්දේ ශ්‍රීලනිපය ශක්තිමත් කරයි කියලා අපට විශ්වාසයක් තියෙනවා.


ඉතාමත් පැහැදිලිව එජාපයේ තනි ආණ්ඩුවක්වත් ශ්‍රීලනිපයේ තනි ආණ්ඩුවක්වත් නෙවෙයි මේ රටේ තියෙන්නේ. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාගෙනුත් රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගෙනුත් මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ මේ ප්‍රධාන පක්ෂ දෙක එකට එකතු වෙලා හදපු ජාතික ආණ්ඩුවකුයි. අපට ඕන ඕන විදිහට සෙල්ලම් කරන්න පුළුවන්කමක් නෑ. අපි ජාතික ආණ්ඩුවක් හදනකොට මහා ලොකුවට පුරසාරම් දෙඩෙව්වා ප්‍රධාන පක්ෂ දෙක එකට එකතු වීම නිසා රටේ තනි පක්ෂයකට විසඳන්න බැරි ප්‍රශ්නවලට විසඳුම් සොයන්න විශාල ජවයක් කියලා. ඒ වෙලාවට එකක් කියලා තව වෙලාවකට තව එකක් කියන්න පුළුවන්කමක් නෑ. රටේ ජනාධිපතිවරයාට, අගමැතිවරායට, ප්‍රධාන පක්ෂවලට හිතෙන හිතෙන දේ කීවා කියලා ඒවා පිළිගන්න ජනතාව සූදානම් නෑ. මේ රටේ ඉන්නේ උගත් බුද්ධිමත් විද්වත් ජනතාවක්. ඒ නිසා ජාතික ආණ්ඩුව හැදීමේ අරමුණු කීපයක් තියෙනවා, ඒ අරමුණු සාක්ෂාත් කරගන්න ඕනෑ. ලබාදුන් පොරොන්දු තියෙනවා. ඒ පොරොන්දු ඉෂ්ට නොකර හිතෙන හිතෙන වෙලාවට අයින් වෙන්නයි එකතු වෙන්නයි කාගේවත් තනි බූදලයක් නෙවෙයි.

විපක්ෂයට එකතු වුණු 16 දෙනා කියන්නේ විපක්ෂය ඒ පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කළ බවයි?


ජනාධිපතිතුමාගේ තිබෙන නිහතමානිකම, ප්‍රජාතන්ත්‍රවාදී බව නිසාම මේ වගේම දෙයක්නේ කරගත්තේ ඒකාබද්ධයට ගිය 53 දෙනාගෙනුත්. ඒ අය ජනාධිපතිතුමාගෙන් ඉල්ලුවේ සර් අපි විපක්ෂයේ වාඩි වෙලා විපක්ෂයේ කාර්යභාරය කරන්නම් කියලයි. ඒ අය සූක්ෂ්ම ලෙස ජනාධිපතිතුමා ලබාදුන් නිදහස පාවිච්චි කරලා පොහොට්ටුවක් නිර්මාණය කළා. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති, අගමැති රනිල් වික්‍රමසිංහ යටතේ අවුරුදු තුන හමාරක් ඇමැතිකම් කළාට පසුව ඡන්ද ප්‍රතිඵලයත් එක්ක තමයි මේ අයට ඉන්න බෑ කීවේ. ඡන්ද ප්‍රතිඵලය එන්න කලින් ඉන්න පුළුවන් වෙන්නයි, ඡන්ද ප්‍රතිඵලය එන්න කලින් යූඇන්පී එකෙන් ඡන්දෙ ඉල්ලන්න පුළුවන් වෙන්නයි, ඡන්ද ප්‍රතිඵලය එන්න කලින් රනිල් එක්ක ගිහින් ආණ්ඩු හදන්න පුළුවන් වෙන්නයි 2001 ශ්‍රීලනිපයෙන් අයින් වෙලා ගිහින් ආණ්ඩු හදන්න පුළුවන් වෙන්නයි දැන් මේ හදිස්සියේ ඉන්න බැරිවෙන්නයි කියන එක මටත් ප්‍රශ්නයක්. ජනාධිපතිතුමා පක්ෂයේ සභාපති විදිහට එතුමාගෙන් ඉල්ලීමක් කළාම එතුමා කැමැත්තෙන් ඒ නිදහසට ඉඩ දුන්නා. ඒ නිදහසට ඉඩ දුන්නේ පොහොට්ටුව හැදුවා වගෙ මහා විනාශයක් පක්ෂයට කර ගන්න නම් නෙවෙයි. පොහොට්ටුවක් නිර්මාණය කරන්න අපිම අවස්ථාව දුන්නා වගේ වැඩක් කියලා මට හිතෙනවා.

යුද ජය සැමරුම ගැන ඔබේ මතය කුමක්ද?


මේ රටේ තිස්පස් අවුරුදු යුද්ධයක් තිබිලා යුද්ධයේ ජයග්‍රහණය අපි සමරන්නේ සිංහල විදිහට වෙනමවත්, දෙමළ විදිහට වෙනමවත් මුස්ලිම් විදිහට වෙනමවත් නෙවෙයි. එය රටක් ලබපු ජයග්‍රහණයක්. අපි ත්‍රස්තවාදීන් එක්ක තමයි යුද්ධ කළේ. දෙමළ ජනතාව එක්ක නෙවෙයි යුද්ධ කළේ. ත්‍රස්තවාදීන් පරාජය කිරීමේ ජයග්‍රහණය අප සැමරිය යුතුයි. යුද ජයග්‍රහණය වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ව සමරන්න ඕනෑ. එය රටක් විදිහට සිංහල, දෙමළ, මුස්ලිම් වේවා සියලු දෙනාම සමරන්න ඕනෑ. එහි යුතුකමක් වගකීමක් තියෙනවා.

යුද්ධයෙන් මියගිය උතුරේ දෙමළ ජනතාව සැමරීමට සමහරුන් විරුද්ධයි?


එල්ටීටීඊ එකට ඒ දවස්වල චෝදනා කළා කුඩා දරුවන් බලෙන් අරන් ගිහින් එල්ටීටීඊ හමුදාවට බඳවා ගත්තා කියලා. ඔවුන්ගේ මවුපියන්ට දුකක් ඇති වෙන්න පුළුවන්නේ. ඔවුන් වෙනුවෙන් පහනක් දල්වල දුක නැති කර ගන්නවා විය හැකියි. ඒ වගේ සිදුවීම් තියෙන්න පුළුවන්. අපි ඉතා පැහැදිලිව යුද්ධ කළේ එල්ටීටීඊයත් එක්ක මිසක් දෙමළ ජනතාවත් එක්ක නෙවෙයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon