කරාපිටියේ තවත් දරුවන් දෙදෙනකු මිය ගිහින්

  👤  4099 readers have read this article !
By mawbima 2018-05-28

ඉන්ෆ්ලුවන්සා වයිරස් උණ වැලඳීමෙන් ඉකුත් දෙදින තුළ තවත් කුඩා දරුවන් දෙදෙනකු මියගොස් ඇති බව ගාල්ල _ කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයම්පති සේනානායක මහතා පවසයි. පෙරේදා (26දා) අලුයම හා 25දා දින රාත්‍රි මෙසේ මියගොස් ඇත්තේ මාස හයක් හා අවුරුදු එකහමාරක් පමණ වයසැති කුඩා දරුවන් දෙදෙනෙකි.


ඒ අනුව වයිරස් උණ රෝගී තත්ත්වයෙන් කුඩා දරුවන් 10 දෙනකු මියගොස් ඇති අතර, ඉන් දරුවන් නව දෙනකු මියගොස් ඇත්තේ ඉන්ෆ්ලුවන්සා, ඇඩිනෝ හා තවත් වයිරස් කිහිපයක් නිසා ඇති වූ සංකූලතාවයෙන් බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බව රෝහලේ අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.


එසේම අද (28දා) සෞඛ්‍ය අංශ සිදුකිරීමට නියමිත සාකච්ඡාවකින් පසුව ඉන්ෆ්ලුවන්සා ප්‍රතිශක්තිකරණ එන්නත ලබාදීමටද කටයුතු කරන බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පවසයි.


ඒ අනුව වැඩිම බලපෑමක් ඇති රෝහල් කාර්ය මණ්ඩල සහ වැඩි වශයෙන් මෙම රෝගය ව්‍යාප්ත වී ඇති පෙදෙස්වලට මෙම එන්නත ලබාදීම සම්බන්ධයෙන් එහිදී තීරණයක් ගන්නා බවද අධ්‍යක්ෂවරයා පවසයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon