මහලු පියා මහ දවල් මහ පාරට විසි කරලා

  👤  4139 readers have read this article !
By mawbima 2018-05-28

දරුවන් විසින් මහමඟ දමාගිය බවට සැකකරන වයෝවෘද්ධ රෝගී පියකු අනුරාධපුර මහ නගර සභාවේ ගිනි නිවන හා මුදා ගැනීමේ ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ (27දා) උදෑසන ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කරන ලදී.


ඊයේ (27දා) උදෑසන 10.30ට පමණ නිල් පැහැති වෑන් රථයකින් පැමිණි අයකු එහි නංවාගෙන පැමිණි මහලු පියාව අනුරාධපුර බැංකු පෙදෙසේ මහ නගර සභා නිවාස සංකීර්ණයේ අභය පෙදෙස හතර මංසන්ධියේ නිවෙසක් ඉදිරිපිට පිහිටි කොන්ක්‍රීට් ලෑල්ල මතට විසිකර දමායන අයුරු එම නිවෙස ඉදිරිපිට ගොඩනැඟිල්ලක ඉදිකිරීමේ කටයුතුවල නිරත වී සිටි පෙදරේරුවන් පිරිසක් දැක තිබේ.


වයස අවුරුදු හැටක් පමණ වන කතා කිරීමට පවා නොහැකි මේ මහලු පියා එම ස්ථානයේ ගැහෙමින් දඟලමින් සිටියදී විශ්‍රාමික යුද හමුදා නිලධාරියකු එය දැක අනුරාධපුර මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ තරුණ සේවකයකු හා එක්ව වහාම ඒ පිළිබඳව අනුරාධපුර මූලස්ථාන පොලිසියට හා අනුරාධපුර මහ නගර සභාවේ මුදා ගැනීම් ඒකකයට දුරකථනය මඟින් දැන්වීමට කටයුතු කර ඇත.


රෝගී තත්ත්වයෙන් පසුවන බවට සැකකෙරුණු මහලු පියා කොන්ක්‍රීට් ලෑල්ල මත හිරු රැසින් රත්වීම නිසා පීඩාවට පත්වී දඟලමින් සිටියදී අසල වූ නිවෙසේ හිමිකාරිය පැමිණ අවු රශ්මියෙන් ඔහු බේරා ගැනීමට රෙදි කඩක් පොරවා කුඩයක් ඔසවා තැබීමට පියවර ගෙන ඇත.


විනාඩි කිහිපයක් යනවිට අනුරාධපුර මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන් වහා එහි පැමිණ මහලු පියා රෝහල කරා ගෙන යෑමට පියවර ගනු ලැබීය. ඔහුගේ වම් පාදයේ තුවාලයක් වැනි කිසිවක් පරණ රෙදි කැබලිවලින් ඔතා කම්බියකින් බැඳ තිබෙන අයුරු දැකගතහැකි විය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon