ධනංජයගෙ තාත්තාට පිහියෙනුත් ඇනලා

  👤  4067 readers have read this article !
By mawbima 2018-05-28

ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වා මහතාගේ පියා වූ දෙහිවල - ගල්කිස්ස මහ නගර සභාවේ නාගරික මන්ත්‍රි රංජන් ද සිල්වා මහතාට නාඳුනන කල්ලියක් වෙඩි තැබීමෙන් පසුව ඔහු බිම වැටී සිටි තැනට විත් ඔහුට තියුණු පිහි පහරවල් තුනක් ඇන ඇති බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වී තිබේ.


ටී පනස් හය ගිනි අවියකින් හා මිලිමීටර් නවය වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබූ පුද්ගලයන් ඉන් අනතුරුව තියුණු ආයුධයකින් ශරීරයේ ස්ථාන කිහිපයකට තුවාල සිදු කර ඇති බවද පොලිසිය කියයි. එම වෙඩි ප්‍රහාරවලින් ඒ මහතාගේ ඉණ ප්‍රදේශයට වෙඩි ප්‍රහාර දෙකකුත් පපුවට, අතට හා උදර ප්‍රදේශයට වෙඩි ප්‍රහාර එක බැගිනුත් වෙඩි ප්‍රහාර පහක් එල්ල වී ඇතැයි ද පොලිසිය කියයි.


පිහි පහරවල් තුන පපු ප්‍රදේශයට හා දෑතට එල්ල වී තිබිණි.


සිද්ධිය වූ ස්ථානයට පැමිණි ගල්කිස්ස අධිකරණයේ මහෙස්ත්‍රාත් මොහොමඩ් මිහාමිල් මහතාගේ නියෝග මත කළුබෝවිල රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි ඩී.ටී. විජේසිංහ මහතා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කරන ලදී.


මියගිය නාගරික මන්ත්‍රිවරයාගේ මළ සිරුර ඔහුගේ පුතකු වන අයේෂ්මන්ත ද සිල්වා මහතාට භාරදීමට කටයුතු කරන ලදී.
ගල්කිස්ස පොලිසියේ අපරාධ අංශයේ උප පොලිස් පරීක්ෂක මධුෂාන්, සැරයන් පෙරේරා (27517) මහත්වරු මරණ පරීක්ෂණයට සහභාගි වූහ.
එසේම මෙම වෙඩි ප්‍රහාරයෙන් තුවාල සිදු වූ රංජන් ද සිල්වා මහතාගේ මිතුරන් දෙදෙනාගේ තත්ත්වය බරපතළ නොවන හෙයින් ඔවුන් දෙදෙනාගෙන් ගල්කිස්ස පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.


තවද මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයන් දස දෙනකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් 'මව්බිම' කළ විමසුමකදී පැවැසීය.
ඝාතකයන් පැමිණි බව පැවැසෙන සුදු පැහැති මෝටර් රථයක් පිළිබඳවද ප්‍රදේශයේ සවිකර ඇති සීසීටීවී කැමරා පද්ධතිවල සටහන් වී ඇති බවද එම උසස් පොලිස් නිලධාරියා පැවැසීය.


එහෙත් එම දර්ශනවලින් මෝටර් රථය හඳුනාගත නොහැකි නිසා එහි පැහැදිලි දර්ශන ලබා ගැනීම සඳහා එය මොරටුව විශ්වවිද්‍යාලයට යැවීමට කටයුතු කරන බවද පොලිසිය පවසයි.
පාතාල නායක 'රත්මලානේ අංජුගේ' උපන් දිනය සැමරීම නිමිත්තෙන් මෙම ඝාතනය සිදු කර ඇති බවටද පොලිස් බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී තිබේ.
ඒ බව අංජුගේ පාර්ශ්වයේ අයකු විසින් සිය ෆේස්බුක් ගිණුමෙන් හැඟවෙන ලෙස දන්වා තිබූ බවටද පොලිසිය වෙත තොරතුරු ලැබී තිබේ.


එසේම මෙම ඝාතනයට පෑලියගොඩ ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ පාතාල කල්ලියක්ද සහාය ලබා දී ඇති බවටද පාතාල මර්දන ඒකකය වෙත තොරතුරු ලැබී ඇත.
මෙම ඝාතකයන් අත්අඩංගුවට ගැනීම සඳහා ගල්කිස්ස පොලිසියට අමතරව පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.
ඝාතනයට ලක් වූ රංජන් ද සිල්වා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (28දා) රත්මලාන යශෝරාපුර පොදු සුසාන භූමියේදී පැවැත්වීමට නියමිතය. පොලිස් රැකවල් මැද මෙම අවමංගල්‍යය කටයුතු සිදු කිරීමට කටයුතු යොදා තිබේ.


බස්නාහිර (දකුණ) භාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත වික්‍රමසිංහ, ගල්කිස්ස කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් විජේසිංහ යන මහත්වරුන්ගේ අධීක්ෂණය මත ගල්කිස්ස මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රොහාන් පුෂ්පකුමාර මහතා ඇතුළු පොලිස් නිලධාරි කණ්ඩායමක් මේ පිළිබඳ ඉදිරි විමර්ශන කටයුතු සිදු කරති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon