ගිරිතලේදී වලසකු වෙඩි තබා මරා දැමීමේ සිද්ධිය

  👤  618 readers have read this article !
By mawbima 2018-05-28

වනජීවී නිලධාරීන්ගේ වැඩ
තහනම් කිරීම අසාධාරණයි -ගිරිතලේ අග්බෝ ධීවර සමිතියේ සභාපති

ජීවිතය බේරා දුන් නිලධාරීන්ට අනේක වාරයක් පින් -ප්‍රහාරයට ලක්වූ සරත් ගුණවර්ධන

ලංකාපුර - හෙන්රි ලයනල්

ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය මධ්‍යස්ථානයේ ආරක්‍ෂිත කූඩුවක රඳවා ප්‍රතිකාර ලබා දෙමින් සිටි වලසකු පසුගිය (21දා) එම ආරක්‍ෂක කූඩුවෙන් පැනගොස් ගිරිතලේ 1 කණුව ගම්මානයට ඇතුළු වී ගම්වාසීන් බියට පත් කරමින් මහමඟ ගමන් කරන වාහන හා පුද්ගලයන් පසුපස පන්නමින් නිවෙස්වලට ඇතුළු වීමට මාන බලමින් දින 3 -4ක් 1 කණුව ගම්මානයේ තැනින් තැනට පැන යමින් සිටි වලසා පසුගියදා (24දා) අලුයම ගිරිතලේ වැවේ ධීවර තොටුපළ ආසන්නයේ ධීවරයකු බිම පෙරළගෙන සපාකමින් සිටියදී එම ධීවරයාගේ ජීවිතය බේරා ගැනීමේ අදිටනින් වනජීවී නිලධාරියකු විසින් වලසාට තැබූ වෙඩි පහරකින් වලසා මියගොස් ඇත.

එදින වලසාගේ ප්‍රහාරයට ලක් වූයේ ගිරිතලේ, දියබෙදුම පාර, 1 කණුව ගම්මානයේ, පදිංචි තිදරු පියෙකි. කේ.එම්.ජී. සරත් ගුණවර්ධන නමැති හතළිස් හැවිරිදි ඔහු ගිරිතලේ වැවේ ධීවරයෙකි. එම ප්‍රහාරයට ලක්වූ ඔහු බරපතළ ලෙස තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර, මේ වන විට ඔහුට ශල්‍යකර්මයක් ද සිදු කර ඇත. ලෙඩ ඇඳේ සිටිමින් ඔහු එදා තමාගේ ජීවිතය බේරා දීමට පැමිණි වනජීවී නිලධාරීන්ට අනේක වාරයක් පින් දෙමින් සිය ස්තුතිය පුද කරන බවද පැවැසීය.

එම සිද්ධිය පිළිබඳව වනජීවී නියෝජ්‍ය අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි වනජීවී ඉහළ නිලධාරීන් පිරිසක් විසින් පරීක්‍ෂණයක් ආරම්භ කර ඇති අතර, එදා වලසාගේ ග්‍රහණයට හසුවූ ජීවිතය බේරා ගැනීමට නොහැකිව දඟලමින් සිටි අද බරපතළ ලෙස තුවාල ලබා රෝහල් ගත වී සිටින පුද්ගලයාව බේරා ගැනීමට කටයුතු කළ වනජීවී නිලධාරීන්ගේ සේවය මේ වනවිට අත්හිටුවා ඇත.

මේ පිළිබඳව මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කළ ගිරිතලේ, අග්බෝ ධීවර සමිතියේ සභාපති ප්‍රදීප් ප්‍රසංග කුමාර මහතා මෙසේ පැවැසීය.

'කැලේ සිටියත්, ගමේ සිටියත් අහිංසක වන සතුන් නිකරුණේ මැරීම අපි අනුමත කරන්නේ නෑ. නමුත්, වටිනා මිනිස් ජීවිතයක් නැති වන්නට යන මොහොතක ඔහුගේ හෝ ඇයගේ ජීවිතය බේරා ගැනීමේ අදහසින් සිදු කරන පහරදීමකින් හෝ වෙඩි තැබීමකින් යම් සතෙක් මියගිය පසු ඒ කටයුතුවලට සම්බන්ධ වූ නිලධාරීන්ට දඬුවම් කිරීම, සේවයෙන් පහකිරීම අසාධාරණයි. ඒ ආකාරයෙන් පසුගිය 24දා සිදුවූ වලසාගේ මරණයට අදාළව ඒ නිලධාරීන්ට අසාධාරණයක් කරනවා නම් අපි අපේ ධීවර ප්‍රජාව ගම්වාසීන් සමඟ එක්ව එයට විරෝධය පළ කරනවා. ඒ වගේම ඉහළ නිලධාරීන් දැනගන්න ඕන ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය මධ්‍යස්ථානය ඉදිකර තිබෙන්නේ ගම්මානයක් තුළ බව. ඒ නිසා එම මධ්‍යස්ථානයට ගෙන එන සතුන් ආරක්‍ෂා සහිතව තබා ගන්න සුදුසු ආරක්‍ෂිත කූඩු තිබෙනවාද, දරුණු සතුන් රැකබලා ගැනීමට ප්‍රමාණවත් පහසුකම් හා සේවක මණ්ඩලයක් සිටිනවා ද කියා ඔවුන් සොයා බැලිය යුතුයි. නමුත් මගේ පෞද්ගලික අදහස නම් එහි උපරිම පහසුකම් සහ ආරක්‍ෂාවක් නැති බවයි. එම නිසා ගිරිතලේ වනජීවී පුහුණු මධ්‍යස්ථානයේ කුඩා කොටසක පවත්වාගෙන යන එම මධ්‍යස්ථානයට තවදුරටත් කොටි වලස්සු සහ දිවියෝ වැනි සතුන් ගෙන එනවා නම් ගමේ ආරක්ෂාව වනජීවී නිලධාරීන් භාරගත යුතුයි.

පසුගිය 24දා අලුයම වලස් ග්‍රහණයට මැදිවූ සරත් ගුණවර්ධන යන අය බේරා ගත් අන්දම දුටු අයකු වූ දියබෙදුම පාර, ගිරිතලේ පදිංචි බී.ජී. සසිත මහේෂ් මහතා මෙසේ පැවැසීය.
'අපි වැවේ යන්න 5.00 - 5.30ට විතර තමා තොටුපළට එන්නේ. එදත් පාන්දර 5.00ට විතර භාණ්ඩාගාරික මහත්තයා තවත් දෙතුන් දෙනෙක් එක්ක වීල් එකකින් අපේ ගෙදරට ආවා. එයාලා ඇවිත් තිබුණේ ගමට පැනපු වලසා අපේ ධීවර තොටුපළ ළඟ ඉන්නවා. උෟ අල්ලා ගන්න කට්ටිය එක්ක යමු කියලා පණිවුඩය දෙන්නයි. ඊට පස්සේ මමත් ඒ වීල් එකෙන් සමිතියේ අයටත් පණිවුඩය දීලා වනජීවී එකට ගිහින් තොටුපළේ වලහා ඉන්නවා ඇවිත් අල්ලාගන්න එන්න කියලා අපි තොටුපළට ආවා. ඇවිත් වනජීවී එකේ අය එනකම් අපේ කට්ටිය වලහා කොටු කරගෙන වගේ විපරමෙන් හිටියා. ටික වෙලාවකින් වනජීවී මහත්වරුන් ආවා. ඒ ඇවිත් අපේ අයත් එක්ක හැංඟිලා ඉන්න වලහා හෙව්වා. ඒ අතරේ එකපාරට වලහා වනජීවී නිලධාරියකුගේ ඇඟට පැන්නා. එයා අතේ තමයි නිර්වින්දන බෙහෙත විදින තුවක්කුව තිබුණේ. ළඟ ළඟම එයාගේ ඇඟට පැන්න නිසා එයාට බෙහෙත විද ගන්න බැරි වුණා. වලහා ආයෙත් හැංගුණා. ටික වෙලාවකින් අනෙක් පැත්තේ අතුරු පාරක් තියෙනවා. ඒ පැත්තෙන් වලහා එනකොට ආයෙත් බෙහෙත් විදින්න හැදුවා. ඒ පාරත් ඒ නිලධාරියාගේ ඇඟට පැන්නා. අපි ඉන්න පැත්තටත් පැන්නා. එතකොට භාණ්ඩාගාරික සරත් මහත්තයා තමයි වලහට හසුවුණේ. උෟ එයාව බිම පෙරළාගෙන හපන්න පටන් ගත්තා. පන්නා ගන්න බැරිම තැන අපේ සාමාජිකයාගේ ජීවිතය බේරා ගන්න ඕන නිසා වනජීවී මහත්තයෙක් වලහාට වෙඩි තිබ්බා.

ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය මධ්‍යස්ථානයේ පවතින තත්ත්වය පිළිබඳව අග්බෝපුර ධීවර සමිතියේ සභාපතිවරයාගේ ප්‍රදේශයේ ධීවර ජනතාවගේ ප්‍රකාශයන්ගේ සත්‍යතාව සහ පවතින වත්මන් තත්ත්වය දැකබලා ගැනීමට අපි වෛද්‍ය මධ්‍යස්ථනය වෙත ගියෙමු. එම මධ්‍යස්ථානය 2016 ඔක්තෝබර් 26 වැනි දින එවකට වනජීවී අමාත්‍යවරයාව සිටි ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා සහ නෙදර්ලන්තයේ අලි - මිත්‍ර සංගමයේ සභාපති රොබ් හාබර් මහතා විසින් විවෘත කර ඇත. එය නම් කර ඇත්තේ ඡ්තඥනඩචදබ ඊපචදඵඪබ ඩ්ධථඥ - ර්ඥඤඪජචත ඛ්ඥදබඥප යනුවෙනි. නමට ගැළපෙන පරිදි සත්‍ය වශයෙන්ම එහි ඇත්තේ කුඩා අලි පැටවු කිහිපදෙනකු රඳවාගෙන ප්‍රතිකාර කළ හැකි සීමිත ඉඩකඩක් ඇති ඇත් අතුරු සෙවණකි. දිවියන්, කොටියන්, වලසුන් වැනි සතුන් රඳවාගෙන ප්‍රතිකාර කිරීමට එහි ඉදිකරන ලද ආරක්‍ෂිත කූඩු සහිත ප්‍රමාණවත් පහසුකම් දක්නට නැත. එහි ඇත්තේ ප්‍රවාහනය සඳහා යොදා ගන්නා සාමාන්‍ය ප්‍රමාණයේ දැල් කූඩු දෙක තුනකි. අඩි 5 - 6 පමණ උසැති වලසකුටවත් එම කූඩු ප්‍රමාණවත් නොවන බව පැහැදිලිය. මුවන්, වඳුරන්, නරියන් ඇතුළු සතුන් කිහිපදෙනකුද රඳවාගෙන ප්‍රතිකාර කරන බව පැහැදිලි විය. දුව - පැන ඇවිදින සතුන් සඳහාද ඉදිකර ඇති කූඩු ප්‍රමාණවත් නොවේ යැයි පැහැදිලි වේ. වසර 1 1/2ක් පමණ කාලයක් එම ස්ථානයේ රාජකාරි කරන නිලධාරීන් විවිධ අපහසුතා මධ්‍යයේ සතුන් වෙනුවෙන් සිදුකරන කටයුතු අගය කළ යුතු යැයි ප්‍රදේශයේ මහජනතාව පවසති.

එසේ නොකර අඩුපාඩු මධ්‍යයේ කටයුතු කරමින් සිටියදී ආරක්‍ෂිත කූඩුවෙන් පැනගිය වලසාට බිලිවෙන්න ගිය ජීවිතයක් බේරා ගත් වනජීවී නිලධාරීන්ට දඬුවම් දීම සාධාරණ නොවේ යැයිද ඔවුහු වැඩිදුරටත් පවසති. ඒ පිළිබඳව ජනාධිපතිතුමාගේ අවධානය යොමු කරන ලෙසට ඉල්ලීමක් ද කරති.

වනජීවියේ සිවුදෙනාගේ වැඩ තහනම්

සපුමල් ජයසේන

වනජීවී භාරයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පැනගිය වලසකුට පසුගිය 24 වැනි දින වෙඩිතබා මරාදැමීම සම්බන්ධයෙන් වනජීවී නිලධාරීන් හතර දෙනකුගේ සේවය අත්හිටුවා තිබේ.

වලසා පැනගොස් ඇත්තේ ගිරිතලේ සත්ත්ව රෝහලේ රඳවා ප්‍රතිකාර ලබාදෙමින් සිටියදී වනජීවී නිලධාරීන්ගේ නොසැලකිලිමත්කම හේතුවෙන් බව පැවැසේ.

එලෙස පැනගිය වලසා නැවත අල්ලා ගැනීම සඳහාද ප්‍රමාණවත් උත්සාහයක් දරා නොමැති බව උසස් වනජීවී නිලධාරියෙක් පැවැසීය.

වලසා විසින් ගම්වැසියකුට පහරදීමට තැත්කිරීමේදී නිර්වින්දනය කොට මෙල්ල කිරීමට කටයුතු නොකළ වනජීවී නිලධාරීන් වලසාට වෙඩිතබා මරාදමා තිබේ.

වලසා යනු වියළි කලාපයේ පමණක් සුළු වශයෙන් ව්‍යාප්තව සිටින වඳවීමේ දැඩි තර්ජනයට ලක්වූ සත්ත්වයෙකි.

වලසා මරාදැමීම සම්බන්ධව වනජීවී පශු වෛද්‍යවරයකු, අඩවි ආරක්‍ෂක නිලධාරියකු ඇතුළු නිලධාරීන් හතරදෙනකුගේ වැඩ තහනම් කොට ඇති අතර මේ පිළිබඳ විමර්ශනයක් කිරීමට වනජීවී අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි අමාත්‍යාංශය සහකාර ලේකම්වරුන් දෙදෙනකු ඇතුළු ත්‍රිපුද්ගල කමිටුවක් පත්කොට ඇත.

ගිරිතලේ පශු රෝහලේ ප්‍රතිකාර ලැබූ වලසකු සහ කොටියකු 
ජාතික සත්ත්ව උද්‍යාන දෙපාර්තමේන්තුවට
සපුමල් ජයසේන

වනජීවී දෙපාර්තමේන්තුවට අයත් ගිරිතලේ පශු වෛද්‍ය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි වලසකු හා කොටියකුව රැකබලා ගැනීමේ දුෂ්කරතාව හේතුවෙන් ජාතික සත්ත්ව උද්‍යාන දෙපාර්තමේන්තුවට ඊයේ (27දා) භාරදී තිබේ.

ගිරිතලේ පශු රෝහලේ සිටි වලසකු සහ කොටියකු ඊයේ (27දා) සත්ත්ව උද්‍යාන දෙපාර්තමේන්තු භාරයට භාරගත් බවත් එම සතුන් දෙදෙනාව හම්බන්තොට රිදියගම සෆාරි වන උද්‍යානයට මුදාහැරීමට අපේක්‍ෂා කරන බවත් සත්ව උද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ධම්මික මල්සිංහ මහත්මිය අප කළ විමසීමකදී පැවැසුවාය.
සාධාරණ පරීක්‍ෂණයක් කරන්න:
නැත්නම් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළැඹෙනවා
හම්බන්තොට - රාහුල් සමන්ත හෙට්ටිආරච්චි, හඟුරක්ගොඩ - ප්‍රියා

ගිරිතලේ පශු වෛද්‍ය රෝහලේ සිට පැනගොස් එම ප්‍රදේශයේ ගම්වාසියකු හට පහර දෙමින් සිටියදී ඔහුගේ ජීවිතය බේරා ගැනීම සඳහා වලසාට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් එදින රාජකාරියෙහි නියැළුණු පශු වෛද්‍යවරියකගේ හා අඩවි ආරක්‍ෂකවරයකුගේ ඇතුළු ක්‍ෂේත්‍ර සහායකයන් දෙදෙනකුගේ වැඩ තහනම් කිරීමට විරෝධය පාමීන් පසුගිය 25 සිට වන වනජීවී පශු වෛද්‍යවරුන්ගේ සංගමය, වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹී සිටී. ඒ සම්බන්ධයෙන් සාධාරණ පරීක්‍ෂණයක් නොකළහොත් ඉදිරියේදී දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹෙන බව වනජීවී පශු වෛද්‍යවරුන්ගේ සංගමයේ ලේකම් මාලක අබේවර්ධන මහතා කියා සිටියේය.

මේ වෘත්තීය ක්‍රියාමාර්ගය සඳහා රජයේ පශු වෛද්‍යවරුන්ගේ සංගමය, අඩවි ආරක්‍ෂකවරුන්ගේ සංගමය මෙන්ම අනෙකුත් වනජීවී නිලධාරීන්ගේ සංගම්ද එක් කර ගැනීමට සාකච්ඡා කරගෙන යන බවද අබේවර්ධන මහතා කියා සිටියේය.

පසුගිය 24 වැනිදා අලුයම ගම්වැසියකුට පහර දීම නිසා වනජීවී නිලධාරීන් විසින් එම පුද්ගලයාගේ ජීවිතය බේරා ගැනීම සඳහා වලසාට වෙඩි තබා මරා දැමූ බව ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය රෝහලේ නිලධාරියෙක් කියා සිටියේය. 'ඉල්ලූ පහසුකම් දුන්නේ නෑ.

වනජීවී නිලධාරීන්ගේ රාජකාරිය ඉටු වෙලා නෑ කිව්වට මෙහිදී එය හරියටම වෙලා තියෙනවා. නමුත් පශු වෛද්‍ය රෝහල්වල තියෙන්නේ අවම පහසුකම්. ඒ පහසුකම් වැඩි කරන්න සතුන් හට හොඳ කූඩු හදලා දෙන්න කියලා අපි ඉල්ලීම් කරලා වෘත්තීය ක්‍රියාමාර්ගවල පවා නියැළී සිටිනවා. නමුත් ඒ අඩුපාඩුකම් නිසා සතුන් පැනලා ගිහින්. මෙවැනි කරදරයක් වුණාම පශු වෛද්‍යවරුන්ගෙන්ම වැරැද්ද පිරිමැසීමට යෑම කිසිසේත් සාධාරණ ක්‍රියාමාර්ගයක් නොවන බව අබේවර්ධන මහතා කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් එම්.ජී.සී. සූරියබණ්ඩාර මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පැවැත්වීමට කමිටුවක් පත් කර ඇති නිසා පරීක්‍ෂණ කටයුතු සඳහා බාධා ඇතිවන බැවින් එම සිදුවීමට අදාළ කිසිදු ප්‍රකාශයක් කළ නොහැකි බවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon