වනජීවී නිලධාරීන්ට බැණවැදුණු ඇමැති තෙවරප්පෙරුමට පරිසරවේදීන්ගේ විරෝධය

  👤  590 readers have read this article !
By mawbima 2018-05-28

මනම්පිටිය - නිමල් ජයන්ත

වනජීවී සංරක්ෂණ නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා 26දා පොළොන්නරුව ජල ගැලීම් නිම්න ජාතික වනෝද්‍යානයේ සොරුවිලට පැමිණ රක්ෂිතයේ ඉඩම් අක්කර දෙසීයක් පමණ ගොවීන්ට ලබාදී ප්‍රදේශ භාර වනජීවී නිලධාරීන්ට අශෝභන ලෙස බැන වැදීමේ සිද්ධියට පරිසරවේදීන්ගේ විරෝධය පළ කරන බව ජාතික ජල ගැලීම් නිම්න රක්ෂිත සුරැකීමේ ව්‍යාපාරයේ සභාපති ටී. තීපන් මහතා පවසයි.

වන සතුන්, අලි ඇතුන් සැරිසරන ජල ගැලීම් නිම්න ජාතික උද්‍යානයේ කුඹුක් ගස් කපා, පරිසරය විනාශ කර අනවසර වගාකරුවන් පිරිසක් කුඹුරු අස්වැද්දීමේ සිද්ධියෙන් එහි අලි ඇතුන් ගම්වැදී ජීවිත හා දේපළවලට සිදුකරන හානියන් පිළිබඳව තම පරිසරවේදීන් දිගින් දිගටම මාධ්‍ය මඟින් රටට හෙළිදරව් කිරීමෙන් පසු නියෝජ්‍ය අමාත්‍යවරයා, පැමිණ ගත් තීරණය පිළිබඳව බලවත් කනගාටුව ප්‍රකාශ කරන බවද තීපන්් මහතා සඳහන් කළේය.

පාලිත තෙවරප්පෙරුම මහතා පැමිණ ජනතාව හා ඇතැම් නිලධාරීන් ඉදිරියේ අඩවි සහකාරවරයකුට පරුෂ වචනයෙන් බැන වැදීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන් කනගාටු වන බවත් මීට පෙර පත්වී සිටි කිසිදු වනජීවී අමාත්‍යවරයකු මේ අයුරින් හැසිරී නොමැති අතර රාජකාරි කටයුතුවලට අමාත්‍යවරයාගෙන් වැඩිදුරටත් බලපෑම් එල්ල වුවහොත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සියලු වනජීවී නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බව වනජීවී නිලධාරි පිරිසක් සඳහන් කළහ.

අප ඔවුන් නඟන චෝදනාව සම්බන්ධයෙන් වනජීවී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගෙන් දුරකථනයෙන් කරන ලද විමසීමකට මෙලෙස අදහස් දැක්වීය.
ඒක රක්ෂිතයක් වුණාට ඒ මිනිසුන් පරම්පරා ගණනාවක් කුඹුරු කරලා තියෙන්නේ ඔය සොරුවිල. අක්කර 200කින් වී මිටි 1400ක් ජාතික නිෂ්පාදනයට ඒ මිනිසුන් ලබාදීලා තියෙනවා. මහවැලියේ නිලධාරීන් කරලා තියෙන්නේ මේ මිනිස්සුන්ගේ කුඹුරු අෑත පළාත්වල මිනිසුන්ට දීලා. වනජීවී නිලධාරීන් අලි වැටවල් ගහලා. පස්සේ මම ගිහින් ඒ කුඹුරු කරගන්න ගමේ මිනිස්සුන්ට ඔප්පු තියෙන අයට අවසරය දුන්නා.

මම සරත් ෆොන්සේකා ඇමැතිවරයාට කතා කරලා ඒ භූමියේ මේ කන්නයේ වගා කරන්න අවසර ලබා දුන්නා. ඒ වෙලාවේ එම ස්ථානයට තීපන් කියලා කෙනෙක් ආවා. පස්සේ ප්‍රදේශයේ වගා අඩවි සහකාරවරයා ආවා. ඒ දෙන්නාගේම දුරකථන අරන් මම චෙක් කරා.

තීපන් කියන කෙනා කරුණා අම්මාන් බදාගෙන ගහපු ෆොටෝ එකකුත් තිබුණා. ඒ අය කිරි ගොවීන් එක්ක ලොකු සම්බන්ධයක් තියෙනවා. මේ අය ගොවියෝ අල්ලගන්න කුඹුක් ගස් කපලා. ඔය ගැන මම ලොකු පරීක්ෂණයක් කරනවා. ඕකයි වුණේ. කොහොම වුණත් ඒ අසරණ මිනිසුන් පරම්පරාවෙන් කරපු කුඹුරු වනජීවීයෙන් අල්ලාගෙන වැටවල් ගහලා තියෙන්නේ. මමත් පත්තරේ දැකලා තමා ඔය සිද්ධියට ගියේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon