මෙය මාගේ අවසන් කමිටු රැස්වීම විය හැකියි

  👤  4015 readers have read this article !
By mawbima 2018-06-13

හාලිඇළ - පියල් කිත්සිරි

විපක්ෂයේ මන්ත්‍රිවරයකු ලෙස ක්‍රියා කිරීමට ගත් තීරණය අනුව මෙය තමාගේ අවසන් සම සභාපති ධුරය දරන සංවර්ධන කමිටු රැස්වීම විය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රි ඩිලාන් පෙරේරා මහතා ඊයේ (12දා) පැවැති හාලිඇළ ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමේදී ප්‍රකාශ කළේය.

මේ වසරේ ප්‍රථම ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීම හාලිඇළ ප්‍රාදේශීය සභා කාර්යාල සංකීර්ණයේ ශ්‍රවණාගාරයේදී සම සභාපතිවරුන් වන පාර්ලිමේන්තු මන්ත්‍රි ඩිලාන් පෙරේරා සහ එක්සත් ජාතික පක්ෂ උෟව පළාත් සභා මන්ත්‍රි ජයන්ත කන්නන්ගර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් රැස්විය.

රටේ ඇති වූ දේශපාලන අර්බුදකාරී වාතාවරණය සහ පළාත් පාලන මැතිවරණය නිසා මේ වසරේ ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීම ප්‍රමාද වූ බව මෙහිදී පැවැසූ පාර්ලිමේන්තු මන්ත්‍රි ඩිලාන් පෙරේරා මහතා ආණ්ඩුවෙන් ඉවත් වී විපක්ෂයේ මන්ත්‍රිවරයකු ලෙස ක්‍රියා කිරීමට තමා ගත් තීරණයට අනුව මෙය තමා සම සභාපති ධුරය දරන අවසන් රැස්වීම විය හැකි බවත් තවදුරටත් හාලිඇළ ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සම සභාපති ධුරය දරන්නේද පිළිබඳව මේ සතිය තුළ තීරණය කරන බවත් කීය.

තම තීරණය කෙසේ වෙතත් මීළඟට පත්වෙන සම සභාපතිවරයා සමඟ සහයෝගයෙන් කටයුතු කරන ලෙස සියලු රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද ඩිලාන් පෙරේරා මහතා වැඩිදුරටත් පැවැසීය.

හාලිඇළ ප්‍රාදේශීය ලේකම් නිරෝෂා චාන්දනී හෙන්නායක මහත්මියගේ මෙහෙයවීමෙන් පැවැති මෙම ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමට හාලිඇළ ප්‍රාදේශීය සභාවේ සභාපති නිමල් සේනානායක, උප සභාපති උපාලි කාරියවසම් යන මහත්වරුන් සමඟ ප්‍රාදේශීය සභාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රිවරුන් සහ විවිධ රාජ්‍ය ආයතන නියෝජනය කරමින් නිලධාරීහු විශාල පිරිසක් එක්ව සිටියහ.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon