25 ලේලියට ලිංගික අතවර කළේ යැයි රක්ෂිතයේ සිටි 57 හැවිරිදි මාමාට ඇප

  👤  3700 readers have read this article !
By mawbima 2018-06-13

අමිල අබේරත්න

තරුණියක් බිය ගන්වා ලිංගික අතවර කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පුද්ගලයකු රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කළාය.

සැකකරුට පෙර වැරැදි තිබීම මත සෑම මසකම දෙවැනි සහ අවසන් ඉරු දින කොම්පඤ්ඤවීදිය පොලිසියට වාර්තා කළ යුතු බවද මහෙස්ත්‍රාත්වරිය විත්තිකරුට දැනුම් දුන්නාය. සිද්ධියට අදාළ විමර්ශනවලට සහාය දිය යුතු බවටත් පැමිණිලිකාර තරුණියට, ඇයගේ මවුපියන්ට, ඥාතීන් ඇතුළු දරුවන්ට නඩුව සම්බන්ධයෙන් හානි නොකළ යුතු බවද දැනුම් දුන්නාය.

එසේ සිදුකර තිබුණහොත් නියම කළ ඇප අවලංගු කිරීමට හේතුවක් වන බවද මහෙස්ත්‍රාත්වරිය දන්වා සිටියාය.

පැමිණිලිකාර තැනැත්තිය කැමැත්තෙන් විත්තිකාර තැනැත්තා සමඟ ලිංගිකව එකතු වී ඇති බවට සහ ඇය අවුරුදු 25ක තැනැත්තියක් වීම මත එය කිසිදු ආකාරයකින් ලිංගික අතවරයක් නොවන බවට විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරිය විත්තිකරුට ඇප නියම කළාය.

කොම්පඤ්ඤවීදිය පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති නාලක ගුණසේකර මහතා ඉකුත් නඩු දිනයේදී අධිකරණයට දන්වා සිටියේ අදාළ තරුණියගේ ස්වාමිපුරුෂයාට යම් පුද්ගලයකු හූනියමක් කර ඇති බවත් එම හූනියම නැති කිරීම සඳහා උදරය ඇතුළුව ඇඟ පුරා තෙල් ගැල්විය යුතු බව කට්ට¾ඩියකු පැවැසූ බවත් තරුණිය නිරුවත් කර උදරය ඇතුළු ඇඟ පුරා තෙල් ගල්වා ඉන් පසු ඇගේ නිරුවත් ඡායාරූපයක් ගෙන එය මුහුණුපොත ඔස්සේ ප්‍රචාරය කරන බවට සහ ඇයගේ මවුපියන්ට සහ ඥාතීන්ට පෙන්වන බවට එම තරුණිය බිය ගන්වා ඇයට අවස්ථා කිහිපයකදී ලිංගික අතවර සිදුකර ඇති බවය.

විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ තරුණියගේ කැමැත්තෙන් ලිංගිකව එකතු වීම සිදු වී ඇති බව හා තරුණියගේ කැමැත්ත ඇතිව මරදාන ප්‍රදේශයේ ලැගුම්හලකට පස් වතාවක් පමණ ගොස් ලිංගිකව එකතු වී ඇති බවය.

තරුණිය ලක්ෂ 5ක පමණ මුදලක් විත්තිකරුගෙන් ඉල්ලා ඇති බවත් විත්තිකාර පුද්ගලයා එය දීමට අපොහොසත් වූ නිසා තරුණිය අදාළ පැමිණිල්ල කර ඇති බවත් එම නීතිඥවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියේය. විත්තිකාර පුද්ගලයා තරුණියගේ මාමා වන අතර තරුණිය විත්තිකාර පුද්ගලයාගේ ලේලිය වේ.

විත්තිකාර පුද්ගලයා කොළඹ 2 කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ පදිංචි 57 වැනි වියේ පසුවන්නෙකි. තරුණිය එම ප්‍රදේශයේම පදිංචි 25 හැවිරිදි තැනැත්තියකි.

තරුණිය විසින් කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානාධිපතිවරයාට කළ පැමිණිල්ලකට අනුව විත්තිකරුට එරෙහිව කොම්පඤ්ඤවීදිය පොලිසිය නඩු පවරා තිබිණි.

නීතිඥ සුදර්ශන වික්‍රමරත්න මහතා විත්තිකරු වෙනුවෙන් පෙනී සිටියේය.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon