පළාත් සංචිත අඩපණ වෙයි

  👤  3303 readers have read this article !
By mawbima 2018-06-13

විචිත්‍ර වීරසිංහ

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය විසින් පළාත් සංචිත පුහුණුකරුවන්ට පොරොන්දු වූ පරිදි අදාළ වැටුප් ගෙවීම පැහැර හැරීම හේතුවෙන් එම සංචිත සියල්ල මේ වනවිට අඩපණ වී ඇතැයි "මව්බිම"ට වාර්තා වේ.

ඒ අනුව උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ, වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ, දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ හා මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කය ආශි්‍රතව මෙම පළාත් සංචිත ස්ථානගත කර තිබූ අතර, ඒ අතුරින් මධ්‍යම පළාත හැර අනෙකුත් පළාත්වල සේවය කරනු ලබන පුහුණුකරුවන්ට මාස හතරකින් පමණ අදාළ වැටුප් ගෙවා නැති බවද පැවැසේ.

එම පළාත්වල පුහුණුව සඳහා සපයනු ලබන බැඩ්මින්ටන් ෂැට්ල් කොක් (ඵඩභබබතඥජධජඬ) පවා අදාළ පුහුණුකරුවන්ට ලබා නොදීම හේතුවෙන් එම පුහුණුකරුවන් දැඩි අපහසුවට ලක්ව ඇති බව පැවැසෙන අතර, මේ හේතුවෙන් එම සංචිතවලට පැමිණෙන ක්‍රීඩක-ක්‍රීඩිකාවන්ගේ ප්‍රමාණයද සීග්‍රයෙන් අඩු වී ඇතැයි දැනගන්නට ඇත.
කෙසේ වෙතත් මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ මෙම පළාත් සංචිත පුහුණුව මෙයට මාසයකට පෙර ආරම්භ කර ඇති අතර, ඔවුන්ට ලැබෙන වැටුප පිළිබඳව හෝ මේ දක්වා කතා බහ කර නොමැති බවද වාර්තා වේ.

මේ අතර මේ වනවිට බැඩ්මින්ටන් සංගමයේ ප්‍රධාන පුහුණුකරුවාට (ඉන්දුනීසියානු ජාතික) මාසයකට ඩොලර් 4000ක (රුපියල් ලක්‍ෂ 6කට අධික) මුදලක් ගෙවූවද ඔහුගෙන් හරිහැටි සේවාවක් ලබාගැනීමට බැඩ්මින්ටන් බලධාරීන් උත්සාහ නොගැනීම හේතුවෙන් ඒ සම්බන්ධව බොහෝ දෙනකුගේ දැඩි අප්‍රසාදය පළ වී ඇත.

දැනගන්නට ඇති පරිදි මේ වනවිට ජේ‍යෂ්ඨ බැඩ්මින්ටන් ජාතික සංචිතය සඳහා ක්‍රීඩකයන් 8 දෙනකු හා ක්‍රීඩිකාවන් 8 දෙනකු ඇති නමුත් පුහුණුව සඳහා පැමිණෙන්නේ ක්‍රීඩකයන් 6 දෙනකු හා ක්‍රීඩිකාවන් 4 දෙනකු පමණක් බවද පැවැසෙන අතර, කනිෂ්ඨ බැඩ්මින්ටන් ජාතික සංචිතය සඳහා ඉතාමත් අඩු පිරිසක් සහභාගි වන බවද දැනගන්නට තිබේ. තවද මෙම ප්‍රධාන පුහුණුකරුවාට අමතරව තවත් අතිරේක පුහුණුකරුවන් දෙදෙනකු වෙනුවෙන් තවත් රුපියල් 80,000ක (හතළිස් දහස බැගින්) පමණ විශාල මුදල් ප්‍රමාණයක් ගෙවූවද ඔවුන්ගෙන් ජේ‍යෂ්ඨ හා කනිෂ්ඨ ක්‍රීඩක-ක්‍රීඩිකාවන්ට පුහුණුවක් ලබාගැනීමට හැකි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට බැඩ්මින්ටන් සංගමය අපොහොසත් වීම ජාතියේම අවාසනාව බවද බොහෝ දෙනකුගේ අදහස වී ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon