ජනතාවට ද්‍රෝහී වන සියල්ලන්ට අපේ ආණ්ඩුවක් යටතේ දඬුවම් දෙනවා

  👤  3751 readers have read this article !
By mawbima 2018-06-13

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය
ඡායා - අනුරුද්ධ මැදවත්තේගෙදර

පසුගිය මැයි 18 වැනිදා සම්පාදිත සාපරාධී කාරණාවලදී අනේ‍යාන්‍ය සහයෝගිතා දැක්වීමේ පනත් කෙටුම්පත, සංශෝධිත පනත් කෙටුම්පතක් ලෙස හැඳින්වුවද එය නව පනතක් හඳුන්වා දීමක් බව නීතිඥ තුෂාර දිසානායක ප්‍රකාශ කරයි.

ඒ මහතා මෙසේ පැවැසුවේ ඊයේ (12දා) කොළඹදී පැවැති 'එළිය' සංවිධානයේ මාධ්‍ය හමුවකදීය.

ඒ මහතා මෙසේද පැවැසීය.

''මෙම පනත් කෙටුම්පත 2002 අංක 25 දරන පනතට සංශෝධනයක් ලෙසයි දක්වා තිබෙන්නේ. නමුත් මුල් පනතේ වගන්තීන් 21ක් ප්‍රතියෝජනය කරමින් නව වගන්ති 21ක් මෙම පනතට ඇතුළු වී තිබෙනවා. ලංකාවේ පාර්ලිමේන්තුවේ තිබෙන පරිචය අනුව මෙම සංශෝධිත පනත ඉදිරිපත් කළාට පස්සේ පාර්ලිමේන්තුව ඇතුළට එන සංශෝධන, කාරක සභා අවස්ථාවේදී මොන වගේ වෙයිද කියලා කියන්න අමාරුයි. ඒ නිසා සංශෝධිත පනතක් ලෙස තිබෙන මෙම පනත් කෙටුම්පතේ විනාශකාරී තත්ත්වයන් පිළිබඳව අප අවාධානය යොමු කළ යුතුයි.

මෙම පනතේ දක්වනවා ලෝකයේ ඕනෑම රටකට සහ ඕනෑම සංවිධානයකට ලංකාවේ සිදුවූවා යැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් මැදිහත් විය හැකි යැයි දක්වන වගන්තියක්. ජාත්‍යන්තර හා කලාපීය ගිවිසුම් මත පාර්ශ්වකරුවන් වූ රටවල්, ශ්‍රී ලංකාව සමඟ යම් ගිවිසුමකට ඇතුළත් වූ රටවල්, අමාත්‍යවරයාගේ කැමැත්ත මත ජාත්‍යන්තර හෝ කලාපීය සම්මුතීන්වලට ගිවිසුම්වලට ඇතුළත් නොවූ රටවල්, ශ්‍රී ලංකාව සමඟ ගිවිසුම්වලට ඇතුළත් නොවූ රටවල් මේ සම්බන්ධයෙන් පාර්ශ්වකරුවන් විය හැකියි.

පෙර ගිවිසුම් ගත නොවූ රටවලට පෙර සම්මුතීන්වලට එළැඹිලා නැති රටවලට සාපරාධී කාරණාවලදී සහයෝගය දක්වන්නැයි ඉල්ලා සිටියොත් ඊට මැදිහත් වීමේ අවස්ථාව මෙම පනත් කෙටුම්පත මඟින් ලබාදීලා තිබෙනවා.

ඒ වගේම ජාත්‍යන්තර සාපරාධී කාරණාවලදී ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වන සංවිධානවලට පුළුල් මැදිහත් වීමක් මින් ලැබිලා තිබෙනවා.

පසුගිය වකවානුව තුළ සාපරාධී ක්‍රියාවන් සම්බන්ධයෙන් කටයුතු කරනවා යැයි කියූ ඊනියා සංවිධානවල ක්‍රියාකාරීත්වය අපි දැක්කා. ඔවුන් රුදුරු ත්‍රස්තවාදීන්ව හැඳින්වූයේ විමුක්තිකාමීන් විදියටයි. මේ රට ත්‍රස්තවාදීන්ගෙන් මුදා ගත්තු හමුදාවට යුද අපරාධ ලේබලය ඇලෙව්වා. ජාත්‍යන්තර රටවලට සහ සංවිධානවලට මේ විදිහේ මැදිහත් වීමක් සිදු කරන්නට ඉඩහරිනවා කියන්නේ පනින රිළවුන්ට ඉණිමං බඳිනවා වගේ වැඩක්.

නමුත් ජනාධිපතිතුමා නම් වේදිකාවල කිව්වේ විදේශ රටවලට අපේ රටට මැදිහත් වීමට අවස්ථාව ලබා දෙන්නේ නැහැයි කියලායි. නමුත් මෙම පනතේ 3/2 වගන්තිය අනුව විදේශීය විනිසුරුවරුන්ට පවා අපේ රටේ කටයුතුවලට මැදිහත් විය හැකියි. විදේශ විමර්ශකයන්ටත් මැදිහත් විය හැකියි. යුද අපරාධ අධිකරණයක් තිබෙනවා නම් එම අධිකරණය මාරු කිරීමට පවා හැකියාවක් මෙම පනතේ තිබෙනවා.

ජාතික ආරක්‍ෂාව, මහජන සුබසාධනය, රාජ්‍ය රහස්, රටේ ස්වෛරීත්වය යන සියල්ලම මේ පනත් කෙටුම්පත මඟින් උකස් කරලා තිබෙනවා. මෙහි ඇති භයානකම වගන්තිය 5/1/3 වගන්තිය. මේ වගන්තිය මඟින් මධ්‍යම ආණ්ඩුවේ නිලධාරීන් අතහැර පර්යන්තයේ නිලධාරීන්ගෙන් තොරතුරු ලබා ගැනීමට විදේශීය රාජ්‍යයන්වලට හැකියාව ලැබෙනවා.

ඉතිහාසයේ විවිධ පාවාදීම් සිදුවෙලා තිබෙනවා. නමුත් ඒ පාවාදීම් සියල්ලම පරයමින් මෙම පනත මතුවී තිබෙනවා. මෙම පනත් කෙටුම්පත අකුළා දාන්න කියලා පාර්ලිමේන්තුවේ ඉන්න 225 දෙනාගෙන් අපි ඉල්ලා සිටිනවා.''

රියර් අද්මිරාල් සරත් වීරසේකර,

''වර්තමාන ආණ්ඩුව බලයට පත්වූ දා සිටම කළේ ත්‍රස්තවාදය පරාජය කිරීමට කැපවුණු යුද හා දේශපාලන නායකත්වය කොන් කිරීමයි.

දෙලක්‍ෂ අනූපන්දාහක ජනතාවක් බේරා ගෙනයි අපි යුද්ධය කළේ. විග්නේශ්වරන් අද දෙමළ ජනතාව වෙනුවෙන් කිඹුල් කඳුළු හෙළුවාට අවතැන් වෙලා හිටපු දෙමළ ජනතාව වෙනුවෙන් එක යෝගට් කෝප්පයක් දීලා නැහැ. එක උළු කැටයක් දීලා නැහැ. කර්නල් රත්නප්‍රියට දෙමළ ජනතාව සලකපු විදිහ කවුරුත් දැක්කා. විග්නේශ්වරන් ධුරයෙන් ඉල්ලා අස්විය යුතුයි. මේ රටේ ඉන්නේ නිවට පාලකයෝ. මේ රට පියවරෙන් පියවරට වෙනම රාජ්‍යයක් කරා ගෙන යනවා මේ පාලකයෝ.

රනිල් වික්‍රමසිංහගේ කොන්ත්‍රාත්තුවක් මත ජනතා විමුක්ති පෙරමුණ 20 වැනි සංශෝධනය ගෙනැල්ලා කරන්න හදන්නේ 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කරන්න තිබෙන බාධක ඉවත් කිරීමටයි.

විග්නේශ්වරන් උතුරු පළාත් සභාවේ යෝජනා 21ක් පමණ සම්මත කරගෙන තිබෙනවා. එකක් තමයි ඔවුන්ව යුද සමයේදී සමූල ඝාතනය කළා කියන චෝදනාව. ඒ වගේම දෙමළ කාන්තාවන් වඳභාවයට පත් කරන්න සැලසුම් කළා වැනි යෝජනා සම්මත කරගෙන තිබෙනවා. මෙම යෝජනා වර්තමාන රජය ප්‍රතික්‍ෂේප කරලා නැහැ. මෙම පනත්වලට සහයෝගය දෙන අයට දේශප්‍රේමී ආණ්ඩුවක් යටතේ නඩු දමා වැරැදිකරුවන්ට උපරිම නීතිය ක්‍රියාත්මක කරනවා.''

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon