සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම අපේ ආර්ථිකයට අහිතකරයි

  👤  3887 readers have read this article !
By mawbima 2018-06-13

අනුරාධා හේරත්

සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම රටේ සියලුම ආර්ථික ක්‍ෂේත්‍රයන්ට බලපෑම් කළ හැකි නීති විරෝධී කරුණු සහිත ගිවිසුමක් බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කමිටු සාමාජික වසන්ත සමරසිංහ පවසයි.

මෙම ගිවිසුම පිළිබඳ තමන් නොදන්නා බව ජනපතිට හෝ අගමැතිට පැවැසිය නොහැකි බව පවසන ඒ මහතා ප්‍රකාශ කළේ මීට නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබීමටත් පෙර අස්සන් කළා දැයි ප්‍රබල සැකයක් පවතින බවයි.

ඔහු වැඩිදුරටත් පැවසුවේ අදාළ ගිවිසුමේ රටට වන හානිය වළක්වා ගැනීමට ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා අතර ඉන් බලපෑමට ලක්වෙන සියලු ක්‍ෂේත්‍රවල නියෝජිතයන් සමඟ සාකච්ඡාවක් පැවැත්වීමටද සූදානම් බවය.

එක් පැත්තකින් රටේ මෙවැනි ගිවිසුම් ගහනවා, රට ආර්ථික අර්බුදයක ඉද්දි තව පැත්තකින් ඇමැතිකම් දෙනවා. බැඳුම්කර සුනාමියත් ඇවිත් තියෙද්දී 20 සංශෝධනය ගෙන සාකච්ජා සිදු වෙද්දි එජාප නායකය ඇමැති තනතුරු දීලා බලව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා යැයි වසන්ත සමරසිංහ මහතා පැවැසුවේ ඊයේ (12දා) පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදීය. වැඩිදුරටත් ඒ මහතා මෙසේද කීය.

මේ ගිවිසුම අස්සන් කරලා තියෙන්නේ 2018 ජනාවාරි 23 පිටු 1083ක් සහිත ගිවිසුමක් මාසයක් ඇතුළත පරිශීලනය කරලා. ලංකාවට තිබෙන වාසි අවාසි සාකච්ඡා කරන්න කැබිනට් ඇමැතිවරුන්ට පුළුවන් වුණාද? එම නිසාම මෙම ගිවිසුමේ නීත්‍යනුකූල නොවන දේවල් තියෙනවා. 2017.12.22 තමයි මෙම ගිවිසුම පිළිබඳ පළමු කැබිනට් සංදේශය එන්නේ. පසුව 2018 ජනවාරි 02 සහ 09 සාකච්ඡා කොට මෙම ගිවිසුම නීතිපතිට යොමු කරලා නීතිපති දෙපාර්තමේන්තුවේ සංශෝධනවලට යටත්ව අස්සන් කිරීමට තීරණය කරනවා. ඒ අනුව 2018 ජනවාරි 16 වැනිදා ඊළඟ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාදී 23 වැනිදා ගිවිසුම් අස්සන් කරනවා. අපි අභියෝග කරනවා කැබිනට් මණ්ඩලයේ එක්කෙනෙක්වත් මේ ගිවිසුම කියවලා නැහැ කියලා. අමාත්‍යාංශයේ නිලධාරීන්වත් මෙය පරිශීලනය කරලා නැහැ. එනිසා තමයි නීති විරෝධී කරුණු ගිවිසුමේ ඇතුළත් වෙන්නේ. මෙම ගිවිසුමේ සඳහන් වෙනවා. 'ප්‍රපාතන විරෝධී ප්‍රතිතෝලන බදු පනත සහ ආරක්ෂණ පියවර බදු පනත්වල කරුණු ගිවිසුමේ කරුණුවලට අනුගත කර ගන්නවා. කියලා. නමුත් බරපතළම කාරණය වෙන්නේ 2018 ජනවාරි 23 වැනි විට එම පනත් දෙක සම්මත වී නොතිබීමයි.

සම්මත වී නොතිබෙන පනත් දෙකක් පවා ගිවිසුමට ඇතුළත් කර තිබෙන්නේ කොහොමද? අනෙක් අතට 1994 සිට සම්මත කරගන්න බැරිවුණු මෙම පනත් 2018 මාර්තු මාසයේ සම්මත වෙන විට විරුද්ධ වුණේ ජනතා විමුක්ති පෙරමුණ පමණයි. මෙම පනත් කඩිනමින් සම්මත කරගත්තේ සිංගප්පුරු ගිවිසුම බලාත්මක කරගන්නයි. දැන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය සිංගප්පුරුවට හිරකරලා ඉවරයි. ඒ වගේම මෙම ගිවිසුම විශ්වාස කරන්න බැරි ගිවිසුමක්.

මෙම ගිවිසුමේ අවාසි ගණනාවක් තිබෙනවා. ආණ්ඩුව රටට කියන්නේ මෙම ගිවිසුම මඟින් අපේ රටේ භාණ්ඩ අපනයනයට අවස්ථාවක් ලැබෙනවා කියලා. නමුත් 2017දී සිංගප්පූරුවට අපනයනය කර තිබෙන්නේ ඩොලර් මිලියන 133ක භාණ්ඩ පමණයි. එම වසරේම අපි ඩොලර් මිලියන 1350 භාණ්ඩ ආනයනය කොට තිබෙනවා. ඒ වගේම ආණ්ඩුව යෝජනා කරනවා වසර 12ක් ගතවන විට අප විසින් ආනයනය කරන බදුවලින් 80%ක් නිදහස් කරන්න. එමඟින් අපේ රටට විශාල බදු ප්‍රමාණයක් අහිමි වෙනවා. අපේ රටේ භාණ්ඩ හා සේවා වෙළෙඳපොළ නිදහස් කිරීමෙන් රටේ ආර්ථිකයට විශාල බලපෑමක් එල්ල වෙනවා. දැනට තිබෙන නීති අනුව විදේශිකයන්ට අපේ රටේ සමාගම්වල කොටස් 40%කට වඩා මිලදී ගන්න බැහැ. නමුත් මෙම ගිවිසුම මඟින් විදේශීය ආයෝජකයන්ට විශාල අවස්ථාවක් උදා වෙනවා. මෑන් පවර් සමාගම් මඟින් වඩු බාස්ලා, මේසන් බාස්ලා පවා මේ රටේ සේවයට යොදවන්න පුළුවන්. ඒ අනුව ගත්තාම සිංගප්පූරුවේ වෙළෙඳ අමාත්‍යාංශය හදපු ගිවිසුමකටයි ලංකාවේ ආණ්ඩුව අස්සන් කොට තිබෙන්නේ. සිංගප්පූරුව කියන්නේ ලෝක වෙළෙඳ සංවිධානයේ ප්‍රබල සාමාජිකයෙක්.

රටක් විදියට අපි රටේ ආර්ථිකය සම්බන්ධයෙන් ආරක්ෂාව තහවුරු කරගත යුතුව තිබෙනවා. නමුත් ආණ්ඩුව ඊට අසමත් වෙලා තිබෙනවා. ලෝක වෙළෙඳ සංවිධානය සමඟ සම්මුතීන් ක්‍රියාත්මක කිරීමට ගිවිසුම් අස්සන් කොට තිබෙනවා. එනිසාම මෙම සිංගප්පූරු වෙළෙඳ ගිවිසුමේ මුල් කොටසේම සඳහන් කරලා තිබෙනවා. ලෝක වෙළෙඳ සංවිධානයේ මුල් සම්මුතීන්ට අනුර මෙම ගිවිසුම ක්‍රියාත්මක කරනවා කියලා. එම ගිවිසුම අස්සන් කොට තිබෙන්නේ අපේ රටට ලැබෙන බදු ආදායම් අහිමි කරගෙනයි. නමුත් ආණඩුව රටට ලැබෙන වාසිය මොකක්ද කියලා ගණන් බලලා නැහැ. ආණ්ඩුවවත් ඇමැතිවරයාවත් අමාත්‍යාංශ ලේකම්වරයාවත් රටට සිදුවෙන හානිය තක්සේරු කරලා නැහැ.

අඩුම තරමේ ගිවිසුමේ පිටු පෙරළලාවත් බලන්න ඇමැතිවරු කටයුතු කරලා නැහැ. ලොකයේ වේගවත්ම ක්‍රීඩකයා සමඟ දුවන්න අපේ අටේ පුංචි බණ්ඩයියා තරඟෙට දානවා වගේ ලෝකයේ වෙළෙඳපොළ වන සිංගප්පූරුව සමඟ ශ්‍රී ලංකාව ගිවිසුමක් අස්සන් කොට තිබෙනවා. සිංගප්පූරුව සමඟ අස්සන් කළ ගිවිසුම ක්‍රියාත්මක වීමත් සමඟ ලෝකයේ අනෙකුත් සියලු රටවල්වලට අපේ රට සමඟ වෙළෙඳ ගිවිසුම් අස්සන් කරන්න අවස්ථාව උදා වෙනවා. අපේ රටේ වෙළෙ¼දාම සිංගප්පූරුවට නිදහස් කරනවා නම් ඉන්දියාවටත් නිදහස් කරන්න වෙනවා. ඒ අනුව ඉන්දියාව සමඟ එට්කා ගිවිසුම අස්සන් කරන්නම සිදුවෙනවා. අකැමැති වුවහොත් ඉන්දියාවට ජාත්‍යන්තර වෙළෙඳ නීතිවලට අනුව ක්‍රියාමාර්ග ගන්න හැකියාව තිබෙනවා.

මෙම ගිවිසුම මඟින් ඉදිකිරීම් ක්‍ෂේත්‍රයෙ. බලශක්ති ක්‍ෂේත්‍රය, පරිසර ක්‍ෂේත්‍රය, මූල්‍ය ක්‍ෂේත්‍රය, බුද්ධිමය දේපළ වෙළෙඳ ප්‍රචාරණය, නිෂ්පාදන ක්‍ෂේත්‍රය, විද්‍යා හා තාක්‍ෂණ, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත, ප්‍රවාහන හා යටිතල පහසුකම් ඇතුළු ක්‍ෂේත්‍ර ගණනාවක් ආවරණය වෙනවා. ඒ අනුව සිංගප්පූරුවට අපේ රටේ සියලුම ආර්ථික ක්‍ෂේත්‍රයන්වලට මැදිහත්වීමට අවස්ථාව ලැබෙනවා. අපේ රටේ කුණු ටික දාන්න තැනක් නැතිව මුතුරාජවෙලට, පුත්තලමේ අරුවක්කාරුවට, කුණු දාන්න කටයුතු කරන ආණ්ඩුව ගිවිසුම අනුව අපද්‍රව්‍ය වර්ග 64ක් ලංකාවට ගෙන ඒමේදී බදු නිදහස් කොට තිබෙනවා. ඇතැම් අපද්‍රව්‍ය පරිසරයට මුදා හරින්න බැහැ. ලෝකයේ අපද්‍රව්‍ය බැහැර කිරීම් පිළිබඳ සීමා තිබෙනවා.

එසේ තිබියදී මෙම ගිවිසුම මඟින් ලංකාව ආසියාවේ කුණු වළ බවට පත්කරන්න අවස්ථාව හදලා දීලා තිබෙනවා. කොණ්ඩය කැපීමෙන් ඉවතලන ද්‍රව්‍යවල සිට නාගරික අපද්‍රව්‍ය. වැසිකිළි අපද්‍රව්‍ය, රෝහල් අපද්‍රව්‍ය වැනි සියලුම අපද්‍රව්‍ය සඳහා බදු නිදහස් කොට තිබෙනවා. ගිවිසුම මඟින් අපේ රට සිංගප්පූරුවේ කුණු වළ බවට පත්කරන්න හදන්නේ චීනය වැනි රටවල් මෙවැනි අපද්‍රව්‍ය බැහැර කිරීම තහනම් කරන තත්ත්වයක් යටතේදීය.
ආණ්ඩුව කියන්නේ මෙම ගිවිසුම මඟින් සිංගප්පූරු වෙළෙඳපොළට ඇතුළු වෙන්න අපට හැකියාව ලැබෙනවා කියලා. එහෙම කියන ආණ්ඩුව වීවලට, රා සක්කරවලට තිබෙන බදු ඉවත් කරනනේ ඇයි? සිංගප්පූරුවේ වී වගා කරන්නේ නැහැ. සක්කර හදන්නේ නැහැ. රා මදින්නේ නැහැ. නමුත් බදු ඉවත් කිරීම මඟින් සිංගප්පූරුවේ ආයෝජකයන්ට වෙනත් රටවල්වලින් ගෙන්වා අපේ රටට සහල් අපනයනය කරන්න අවස්ථාව ලැබෙනවා. දැන් වී කිලෝවක් සඳහා රුපියල් 50ක බද්දකුත් 7.5%ක රේගු බද්දකුත් අය කරනවා. එමඟින් ලංකාවට සහල් ආනයනය පාලනය කොට අපේ රටේ ගොවියා ආරක්ෂා කොට තිබෙනවා. නමුත් මෙම ගිවිසුම මඟින් හාන්සි වෙලා ඉන්න ගොවියා කුඹුරේදීම මැරෙන්න කටයුතු සලස්වා තිබෙනවා.

මෙම ගිවිසුම කාල සීමාවක් නොමැතිව ක්‍රියාත්මක වීමට නියමිතව තිබෙනවා. ලංකාව විසින් මෙම ගිවිසුම අවසන් කිරීමට තීරණය කළහොත් සිංගප්පූරුවට ආර්ථිකය සම්බන්ධයෙන් ඇති ආරවුල් බේරුම්කරණ අධිකරණයට ගොස් වන්දි ලබා ගත හැකියි. ඒ අනුව සිංගප්පූරුව තීරණය කරන අලාභයත් ලංකාව විසින් ගෙවීමට සිදුවෙනවා. අසීමිත කාල සීමාවකට සිංගප්පූරුව ලබන පාඩුව අපි වැනි රටක් ගෙවන්නේ කොහොමද? ඒ අනුව අකැමැත්තෙන් හෝ ගිවිසුම පවත්වා ගෙන යෑමට සිදුවෙනවා. විවිධ සම්මුතීන් හරහා මෙම ගිවිසුමට අපේ රට හිර කරලා තිබෙනවා. එම නිසා මෙම ගිවිසුමේ කරුණු වෙනස් කළ යුතුව තිබෙනවා. මෙම ගිවිසුම පාර්ලිමේන්තුවේ සාකච්ඡාවට බඳුන් කළ යුතුව තිබෙනවා. ඒ වගේම මෙම ගිවිසුමට එරෙහිව නඩු ගොනුකොට තිබෙනවා. එම නිසා ගිවිසුමේ කරුණු සමාලෝචනය කර වෙනස් කළ යුතුව තිබෙනවා.

වසර 10-12ක් ගත වන විට අපේ රටේ ආර්ථික ක්‍ෂේත්‍රයේ ඉතිරිවන දෙයක් නැති වෙනවා.
මේ ආණ්ඩුව කටයුතු කරමින් තිබෙන්නේ ඉතාමත් වගකීම් විරහිතවයි. මෑතකදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ණය පිළිබඳව වාර්තාවක් එළිදක්වලා තිබෙනවා. 2017 මහ බැංකු වාර්තාව අනුව අපේ රටේ ණය ප්‍රමාණය රුපියල් බිලියන 10,313යි. විගණකාධිපති වාර්තාව අනුව එම වර්ෂයේම ණය එකතුව රුපියල් බිලියන 10,701ක් වෙනවා. එය ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ 81%ක් නමුත් මහ බැංකු වාර්තාවට අනුව එය 77.6%ක් වෙනස 3.4%ක් වන අතර එය රුපියල් බිලියන 400ක් පමණ වෙනවා. එතරම් ණය ප්‍රමාණයකට මොකද වුණේ? අපේ රටේ ණය ප්‍රමාණය නිවැරැදිව ගණනය කරගන්න බැරි පාලකයන් අස්සන් කරන ගිවිසුම අප විශ්වාස කරන්නේ කොහොමද?

මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට
පිළිතුරු දෙමින්

හොරුන්ගෙන් සල්ලි අරගෙන සුජීව සේනසිංහලා ලැජ්ජා නැතිව තවදුරටත් ඇමැති තනතුරුවල ඉන්නවා. සුජීව සේනසිංහ කියන්නේ තමන්ගේ නමට චෙක්පත් ලැබුණේ නැහැ කියලා. ඒක වෙන්න පුළුවන්. නමුත් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට අනුබද්ධ සමාගමක් විසින් නිකුත් කර තිබෙන චෙක්පත් 166ක් තිබෙනවා. ඒවා බොහොමයක් කෑෂ් චෙක් විදිහටයි නිකුත් කොට තිබෙන්නේ. ඒවා ඕනෑම කෙනකුට මාරු කරගන්න පුළුවන්. ඇමැතිකමින් ඉවත් කරලා හිරේ දාන්න ඕන මෙවැනි පුද්ගලයන්. අද මාධ්‍ය සාකච්ඡා පවත්වමින් ඉන්නවා. රවි කරුණානායක ඇමැතිවරයා මේ චෝදනාවට ලක්වෙලා ඇමැතිකමින් ඉල්ලා අස්වෙන්න සිදුවුණත් ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග නැහැ. පුහුල් හොරා කරෙන් දැනේ කියලා කතාවක් තිබෙනවා. ඒ නිසා දැන් හොරු අහුවෙලා ඉවරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon