අවුරුදු 67ක් තිස්සේ බැළමෙහෙවර කළ නිවෙසේ දර මඩුවට දමා අපා දුක් විඳිමින් සිටි 75 හැවිරිදි කත බේරාගෙන

  👤  3767 readers have read this article !
By mawbima 2018-06-13

මාවනැල්ල - කේ.වී. බණ්ඩාර

මාවනැල්ල, මොල්ලිගොඩ ප්‍රදේශයේදී අවුරුදු 67ක් තිස්සේ ගෙදරක බැළමෙහෙවරකම් කොට වයෝවෘද්ධ වූ පසු නිවෙසේ දර මඩුවට දමා හරි හමන් කෑමක් බීමක් ලබා නොදී අඩන්තේට්ටම්වලට බඳුන්ව සිටි කාන්තාවක් ගැන පෙරේදා (11දා) සවස මාවනැල්ල පොලිසියේ මොල්ලිගොඩ වසම භාරව සිටි ප්‍රජා පොලිස් ඒකකයේ සැ. රණසිංහ (26725) නිලධාරියාට ලැබුණු තොරතුරකට අනුව සොයා ගත් බව මාවනැල්ල පොලිසිය පවසයි.
මෙම වයෝවෘද්ධ කාන්තාව පොලිසිය එහි යන විටත් සිහිසුන්ව සිටි නිසා රෝහල් ගත කොට අදාළ සැකකරුවන් පිළිබඳ පරීක්‍ෂණ මේ වන විට සිදු කර ඇත. වැරැදිකරුවන්ට නීතියෙන් දඬුවම් ලබාදීමට කටයුතු කර ඇති බවද පොලිසිය පවසයි.

මෙලෙස නිවෙසට යාබදව පිහිටි දර මඩුවක දමා සිටියේ අබේසුන්දර වාසල මුදියන්සේලාගේ මුතුමැණිකේ නම් වයස අවුරුදු 75ක පමණ වයෝවෘද්ධ අවිවාහක කාන්තාවකි. මාවනැල්ල, මොල්ලිගොඩ ප්‍රදේශයේ වත් පොහොසත්කම් ඇති නිවෙසකට වයස අවුරුදු 7දී පමණ මෙම කාන්තාව වෙනත් ප්‍රදේශයක සිට කැඳවා ගෙන පදිංචිකරවා ගෙන ඇත්තේ එම මවුපියන්ට පොරොන්දු රැසක් ලබාදීමෙන් පසුව වන අතර එම කාන්තාවට මෙම පවුලට දුරින් ඥාතිකමක්ද තිබේ. ඇය විවාහ නොවී මෙම නිවෙසේ වැඩපල කරමින් ජීවත්ව තිබේ.

මොල්ලිගොඩ, හිඟුල, මාවනැල්ල ලිපිනයේ පිහිටි නිවෙසේ අයිතිකරු ඉඩම් හිමි වැවිලිකරුවකු වන අර අවුරුදු 62ක් වයසැති බව පොලිසිය පවසයි.

නමුත් කිසිදු අධ්‍යාපනයක් ලබා නොදී ගැහැනු ළමයකුට ලැබිය යුතු වරප්‍රසාද කිසිවක් ලබා නොදී කුඩා කාලයේ දැරියක්ව සිටි වයසේ පටන් මෙම නිවෙසේ හැදී වැඩී ඇති මුතුමැණිකේට ගැහැනු දරුවෙක්ට ලෙස සිටීමට අවශ්‍ය කාමරයක් හෝ වෙනම ස්ථානයක්වත් ලබාදී නැති බවත් හෙළි වී තිබේ. දැනට රෝහලේ ප්‍රතිකාර ලබන ඇය ඇඳක් මත අද නිදාගෙන සිටියද නිවෙසේ සිටියදී ඇයට ඉරුණු පැදුරුවල නිදාගනිමින් අපා දුක් විඳ ගනිමින් ජීවිකාව ගෙන යෑමට සිදුවූ බවද හෙළිදරව් වී ඇත.

දැනට එම නිවෙසේ පදිංචිව සිටින අයගේ දරුවන් තිදෙනකු වන අතර නිවෙස අයිතිකරුගේ බිරියගේ මව වන පාසල් ගුරුවරියද වයෝවෘද්ධව සිටියි.

ඇයට හොඳින් සැලකුවද පොලිසියෙන් එහි යන විට මෙම සිද්ධියට මුහුණ පෑ කාන්තාව සිට ඇත්තේ දර මඩුවේ ඉරුණු පැදුරක් මත ගුළි වී ජරාවාස වූ ස්ථානයකය. ඒ අසල කෝප්පයක් හා පරණ පිඟානක් තිබී පොලිසිය විසින් සොයා ගෙන තිබූ අතර පොලිස් කාන්තා කාර්යාංශයේ නිලධාරීන් සහ ප්‍රජා පොලිස් ඒකකයේ නිලධාරියා එහි යන විටත් හරි හමන් කෑමක් නොමැති කමින් මෙම කාන්තාව මලානික වී සිට ඇත්තේ නැඟිට ගැනීමටවත් වාරු නොමැතිවයි.

එහිදී පොලිසියට කාන්තාවගෙන් නිවැරැදි කටඋත්තරයක් ලබා ගැනීමද අපහසු වී ඇත. පසුව අදාළ නිවෙසේ අයිතිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවද පොලිසිය පවසයි. එම මඩුවේ දර සහ නිවෙසේ ඉවත දමන සියලු දෑ එහි ගොඩ ගසා තිබිණි.

මෙම කාන්තාවද ඊයේ (12දා) රෝහලේ ප්‍රතිකාර ලබා ගනිමින් සිටියදී පොලිසියට පවසා ඇත්තේ තමන්ට නිවෙසේ අයිතිකරුවා විසින් පහර දී තුවාල පවා සිදුකර ඇති බවයි.
මොල්ලිගොඩ ප්‍රදේශයෙන් අනාවරණය වූ මෙම සිද්ධිය ගැන ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම පුද්ගලයා ඉඩකඩම්, දේපොළ සතුව ගමේ වැදගත් ලෙස ජීවත් වෙමින් නිවෙස ඉදිරිපිට විශාල බුද්ධ ප්‍රතිමාවක්ද සාදා ගමේ යහපත් බෞද්ධයන් ලෙසත් වලව් පැලැන්තියෙන් පැවැත එන්නකු බවත් පෙන්නීමට උත්සාහ දරන අයකු බවද කියැවේ. නිවෙසේ අයිතිකරුගේ එක පුතකු බෞද්ධාගමික රූපවාහිනි නාළිකාවක සේවය කරන අතර ඔහුද පැමිණි පසු මෙම කාන්තාව සම්බන්ධයෙන් අවධානය යොමු නොකිරීම ගැටලුවක් වන බවද ප්‍රදේශවාසීහු පවසන අතර මෙවැනි මිනිසුන් නිසා මූලික හිමිකම් පවා අහිමිව අහිංසක ජීවිතයට වී ඇති මේ අවාසනාවන්ත ඉරණම සම්බන්ධයෙන් නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කරන ලෙස ප්‍රදේශවාසීහු පොලිසියෙන් ඉල්ලා ඇත.

කෑගල්ල ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි චාමික පී. වික්‍රමසිංහ සහ කෑගල්ල දිස්ත්‍රික් සහකාර පොලිස් අධිකාරි ගාමිණි තෙන්නකෝන් යන මහත්වරුන්ගේ උපදෙස් මත මාවනැල්ල පොලිසියේ කාන්තා පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක දමිත් නිලංග, මාවනැල්ල පොලිසියේ කාන්තා පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක නිල්මිණි, ඉසංකා (8738), කා.පො.සැ. වසන්ති (336), මොල්ලිගොඩ වසම භාරව සිටි ප්‍රජා පොලිස් ඒකකයේ පො.සැ. රණසිංහ (226725) යන නිලධාරීහු වැඩිදුර පරීක්‍ෂණ සිදු කරති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon