මහජනයා නොසිතූ දුෂ්කරතාවන්ට ලක් කරන තැපැල් වර්ජනය

  👤  3597 readers have read this article !
By mawbima 2018-06-13

රු කාරියවසම්

ඊයේ සිට ක්‍රියාත්මකව පවතින තැපැල් වර්ජනයත් සමඟ සාමාන්‍ය ජනතාව තම එදිනෙදා කටයුතුවලදී නොසිතූ විරූ කරදරවලට මුහුණපාමින් සිටිති.

මේ වන විට තැපැල් වර්ජනයට හේතු වූ කරුණු විසඳී වර්ජනය අවසන් වනු වෙනුවට එය තව තවත් දිග්ගැස්සෙන ආකාරයක් පෙනෙන්නට ඇති බැවින් හෙට අනිද්දා වන විට ජනතාව මුහුණපාන දුෂ්කරතා තව තවත් වර්ධනය විය හැකිය.

තැපෑලෙන් ලියුම් යැවීම වෙනුවට විද්‍යුත් තැපැල හෙවත් ඊ-මේල් භාවිත කරන, ටෙලිග්‍රෑම් වෙනුවට ඉර්ඉ හෙවත් ජංගම දුරකථනයෙන් කෙටි පණිවුඩ යවන, මුදල් ඇණවුම් වෙනුවට ජංගම දුරකථනය හරහා ඊසි-කෑෂ් යවන මේ යුගයේ වුවත් තැපැල් කන්තෝරුව නැතිවම බැරි අංගයක් බව පෙනී යන්නේ දිනකට හෝ තැපෑල වර්ජනය කළ විටදීය.

කොළඹ හතේ පිහිටි එක් කාර්යාලයක පමණක් තැපැල් වර්ජනය හේතුවෙන් දෙදෙනෙකුට මුහුණපෑමට සිදුවූ දුෂ්කර අවස්ථාවන් දෙකක් බලධාරීන්ගේ අවධානය පිණිස මෙලෙස සටහන් කිරීමට අප උත්සුක වන්නේ මෙවැනි වර්ජනයකින් ජනතාව විඳින පීඩාවේ නොපෙනෙන පැත්ත දක්වාලීමටය.

අපට වාර්තා වූ එක් සිදුවීමක් මෙසේය. ස්ථාවර තැන්පතුවක සහතිකය අස්ථාන ගතවීම හේතුවෙන් අයකුට ඒ සඳහා දිවුරුම් පෙත්සමක් ලබාදීමට සිදුවිය. දිවුරුම් පෙත්සම අදාළ අනෙක් අවශ්‍යතා සියල්ල සම්පූර්ණ කළද අවශ්‍ය රුපියල් 50ක වටිනාකමින් යුත් මුද්දරය සපයා ගැනීමට තැපැල් වර්ජනය හේතුවෙන් නොහැකි විය. සාමාන්‍ය කඩයකින් මුද්දරයක් ලබාගත හැකිදැයි විමසීමට මහ දවල් කඩ කිහිපයකටම ගොස් අවසානයේදී මුද්දර විකිණීමට ඇති බව කියූ කිලෝමීටරයක් පමණ අෑතින් වූ කඩයකටද යමින් ත්‍රීවීල් ගාස්තු ලෙස රුපියල් 200 ගණනක් වියදම් කරගත්තද අවශ්‍ය වූ මුද්දරය නොමැතිව ආපසු ඒමට සිදුවිය. නීතිය අනුව තැපැල් මුද්දර පිටත විකිණීමද තහනම්ය. ඇතිවූ තැපැල් වර්ජනය හමුවේ අත්‍යවශ්‍ය වූ කාරණාවකට මුදල් ලබාගැනීමට නොහැකි වූ එම තැනැත්තා පත්වූයේ මහත් වූ අසීරුතාවකටය.

දෙවැනි සිදුවීම තම යතුරුපැදියෙන් කොළඹ සිට සීදුව දක්වා ගමන් කළ අයකු මුහුණ දුන්නකි. හරිහැටි මාර්ගයේ සලකුණු නොකළ තැනක යතුරුපැදිය නැවතූ බවට චෝදනා නඟමින් පොලිසිය සිදුවීමට මුහුණදුන් තරුණයාට දඩ කොළයක් ලිවීය. දඩ කොළය ගෙවීමට තැපැල් කන්තෝරුවට ගියත් වර්ජනය හේතුවෙන් එය වසා දමා තිබේ. කොළඹ ආවොත් රියැදුරු බලපත්‍රය ලබාගැනීමට නැවත සීදුවට යා යුතුය. එනිසා එතැන සිට හිත මිතුරන්ට කතා කළ තරුණයා වෙනත් මඟක් බැලීය. තැපැල් වර්ජනයක් වූ විට දඩ කොළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගෙවීමේ මඟක් ඇති බව ඔහු දැනගත්තේය. එහෙත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඇමතූ විට එහි නිලධාරීන් කීවේ තමන්ට තවම ඒ සඳහා බලතල ලබාදී නොමැති බවයි. නැවත දිනෙක බලපත්‍රය ලබාගැනීමට රස්තියාදු වීමේ පීඩනය දරාගෙන කොළඹට ඒමට ඔහුට සිදුවිය. ඔහුට දඩ කොළය ගෙවීමට දින 14ක් තිබුණේ වාසනාවටය. එහෙත් දඩ කොළඹ ගෙවීමේ අවසන් දිනය ආසන්නයේ සිටින්නකුට මේ තැපැල් වර්ජනය හේතුවෙන් සිදුවන්නේ අධිකරණයට ඉදිරිපත් වීමටය.

තැපැල් වර්ජනය මෙලෙස නොසිතූ දුෂ්කරතාවන්ට හා පීඩාවන්ට මහජනතාව ලක්කරයි. එහෙයින් වහාම මෙම වර්ජනයට උද්ගතවූ හේතු නිරාවරණය කරමින් තැපැල් සේවය කඩිනමින් ක්‍රියාත්මක කිරීම බලධාරීන්ගේ වගකීමක් බව අවධාරණය කරමු.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon