මණ්ඩලේ 86 ට

  👤  3326 readers have read this article !
By mawbima 2018-06-13

රුචිර දිලාන් මධුශංඛ

නව රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනකු සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් පස්දෙනකු ඊයේ (12දා) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දීමත් සමඟ රජයේ ඇමැති, රාජ්‍ය ඇමැති හා නියෝජ්‍ය ඇමැති සංඛ්‍යාව 86 දක්වා ඉහළ ගියේය.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රිවරුන් පස් දෙනකුට සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පසුපෙළ මන්ත්‍රිවරුන් දෙදෙනකුට මෙසේ නව අමාත්‍ය ධුර හිමිවිය.
මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් අලුවිහාරේ සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත්, මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රි ලකී ජයවර්ධන, කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දුන්හ.

මේ අතර පරිසර නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රි අජිත් මාන්නප්පෙරුමද, අභ්‍යන්තර කටයුතු වයඹ සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස එඩ්වඩ් ගුණසේකර, කෘෂිකර්ම නියෝජ්‍ය ඇමැතිවරයා ලෙස අංගජන් රාමනාදන්, රාජ්‍ය පරිපාලනය හා කළමනාකරණය නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස නලින් බණ්ඩාර ජයමහද, නැවත පදිංචි කිරීමේ පුනරුත්ථාපන, උතුරු සංවර්ධන හා හින්දු ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කාදර් කාදර් මස්තාන්ද ඊයේ ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්හ.

මාතර දිස්ත්‍රික් එජාප මන්ත්‍රි බුද්ධික පතිරණ මහතාද ඊයේ නියෝජ්‍ය අමාත්‍යවරයකු ලෙස දිවුරුම් දීමට නියමිතව තිබුණද ඔහු මේ වන විට විදේශ ගතව සිටී.

යළි දිවයිනට පැමිණීමෙන් පසු බුද්ධික පතිරණද, නියෝජ්‍ය අමාත්‍ය ධුරයක දිවුරුම් දීමට නියමිතය.

ඊයේ දිවුරුම් දුන් පිරිසත් ඇතුළුව දැනට අමාත්‍ය මණ්ඩලයේ කැබිනට් ඇමැතිවරුන් 41ක්, රාජ්‍ය ඇමැතිවරුන් 23ක් හා නියෝජ්‍ය ඇමැතිවරුන් 22 සිටිති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon