උඩපළාත ප්‍රා.සභාවේ ගෝරියක්

  👤  3493 readers have read this article !
By mawbima 2018-06-13

ගම්පොළ - මාධව බණ්ඩාර, කුරුඳුවත්ත _ ජගත් විජේසිංහ

ගම්පොළ උඩපළාත ප්‍රාදේශීය සභා රැස්වීමේදී ඇති වූ ගැටුමකින් තුවාල ලැබූ එහි සභාපතිවරයාත් ගැටුම අතරතුර පපුවේ හටගත් වේදනාවක් හේතුකොට ගෙන විපක්ෂ නායකත් ගම්පොළ ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇත.

ගම්පොළ උඩපළාත ප්‍රාදේශීය සභා පිහිටු වීමේදී එහි බහුතර බලය කිසිවකුටත් නොලැබුණු අතර මේ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව සභාව පිහිටුවීමට කටයුතු යොදා තිබිණි.

හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයාද පොහොට්ටුවෙන් ඉල්ලා ජයග්‍රහණය කර තිබුණද, ඔහුට මෙවර සභාපති ධුරය අහිමි වන බව දැන එක්සත් ජාතික පක්‍ෂය සමඟ එකතු වී සභාව පිහිටුවා තිබිණි.

සභාවේ උප සභාපති ධුරය අසේල අමරසේන මහතාට හිමි වී තිබිණි.

මේ තත්ත්වය හේතු කොටගෙන සභාව පිහිටු වූ දිනයේ සිට දිනෙන් දිනම සභාව තුළ ගැටුම් ඇති විය.

විපක්ෂයේ මන්ත්‍රිවරුන් හට සභාව මඟින් ප්‍රතිපාදන ලබා නොදෙනවා යැයි විරෝධය දක්වා ඊයේ (12දා) උදෑසන උඩපළාත සභාව ඉදිරිපිට විපක්ෂයේ මන්ත්‍රිවරු 15 දෙනකු සමඟ ප්‍රදේශවාසීන් එක්ව උද්ඝෝෂණයක්ද පවත්වනු ලැබුවේ මෙහි ප්‍රතිඵලයක් වශයෙනි.
මෙදිනට සභා රැස්වීමද පැවැති නිසා උද්ඝෝෂණයෙන් අනතුරුව මන්ත්‍රිවරුන් ඒ සඳහා සහභාගි වීමට ගියද විපක්ෂයේ මන්ත්‍රිවරුන්ගේ ආසන වෙනස් කර තැබීමේ සිද්ධියක් මුල්කරගනිමින් සභාව තුළ උණුසුම් තත්ත්වයක් හට ගත් අතර එහිදී කිසියම් මන්ත්‍රිවරයකු සභාපතිවරයාට එල්ල කළ බෝතල් පහරක් වැදී ඔහු මෙසේ රෝහල් ගත කරනු ලැබිණි.
සභාවේ ඇති වූ උණුසුම්කාරී තත්ත්වය සමඟ පොලිසියද සභාව තුළට පැමිණි අතර ගම්පොළ මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ආර්. ජයන්ත මහතා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා සභාපතිවරයා ආරක්ෂා සහිතව සභාවෙන් ඉවතට ගෙන යන ලදී.

විපක්ෂයේ සමහර මන්ත්‍රිවරුන් විසින් සභාවේ මේස, පුටු පෙරළා අසැබි වදනින් බැන වැදී කෑකෝ ගැසීමත් සමඟ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන්ද ඒ සඳහා ප්‍රතිචාර දැක්වීමත් සමඟ සභාව තුළ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය.

සභාපතිවරයාගේ ඇසකට හානි සිදු වී ඇතැයි පවසා ගම්පොළ රෝහලේ වාට්ටුවකට ඇතුළත් කොට ඇති අතර විපක්ෂ නායක ධර්මසිරි අගලවත්ත මහතාට ඇති වූ හදිසි අසනීප තත්ත්වය සමඟ ඔහුද වෛද්‍ය පරීක්ෂණ ගණනාවකට යොමුකොට ඇත.
උද්ඝෝෂණය මර්දනය කිරීමට ගම්පොළ අවට පොලිස් ස්ථාන ගණනාවකින් නිලධාරීන් කැඳවා තිබූ අතර, සභාව අවටද ආරක්ෂාව දැඩිකොට තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon