හැටන් ඇබොර්ස්ලි වතුයායේ මත්පැන් වටලන්න ගිය සුරාබදු නිලධාරීන් කම්කරුවන්ගේ අඩස්සියට

  👤  3981 readers have read this article !
By mawbima 2017-08-11

නෝර්වුඩ් - රිද්මි මිලින්දිකා

හැටන් සුරාබදු කාර්යාලයේ නිලධාරීන් පිරිසක් හැටන් ඇබෝර්ස්ලි වතුයායේ සිදුකෙරනවා යැයි කියන නීති විරෝධී මත්පැන් සහ මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය අවස්ථාවේ වතු කම්කරුවන් හා සුරාබදු නිලධාරීන් අතර ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයකින් පසු එම වැටලීමට ගිය සුරාබදු නිලධාරීන් පැය තුනකට ආසන්න කාලයක් වතු කම්කරුවන්ගේ අඩස්සියට පත්වී ඇත.

පෙරේදා (09දා) පස්වරු 2.00ට පමණ එම නිලධාරීන් එම වතුයායේ මොන්ටිෆෙයාර් කොටසට ගිය අවස්ථාවේ සැකපිට තරුණයන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමේදී වතු කම්කරුවන් එයට විරෝධය පා සුරාබදු නිලධාරීන් පැමිණි වාහනය සහ නිලධාරීන්ව ඔවුන්ගේ භාරයට ගෙන හැටන් - ඇබෝර්ස්ලි ප්‍රධාන මාර්ගය අවහිර කරමින් නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිකර ඇත.

පසුව හැටන් පොලිසියේ නිලධාරීන් එම ස්ථානයට ගොස් සුරාබදු නිලධාරීන් මුදා ගැනීමට උත්සාහ කිරීමේදී වතු කම්කරුවන් පවසා ඇත්තේ තම වතුයායේ තරුණයන් තිදෙනකුට පහරදුන් සුරාබදු නිලධාරීන් සියලු දෙනාගෙන්ම සමාව ගත යුතු බවයි. පසුව සුරාබදු නිලධාරීන් විසින් වතු කම්කරුවන්ගෙන් සමාව අයැද සිටීමෙන් පසු එම පිරිස වතු කම්කරුවන් විසින් මුදාහැර එම මාර්ගයේ ගමනාගමන කටයුතු යළි යථා තත්ත්වයට පත්කර තිබිණි.

සුරාබදු නිලධාරීන් පහර දුන්නේ යැයි කියන තරුණයන් තිදෙනකු දික්ඔය මූලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි. මේ සිද්ධිය සම්බන්ධයෙන් හැටන් සුරාබදු කාර්යාලයේ ස්ථාන භාර නිලධාරි තිලකරත්න මහතාගෙන් අප කළ විමසුමකට ඔහු පවසා සිටියේ වතු ආශි්‍රතව වැටලීම්වලට යන අවස්ථාවේ මෙවැනි බාධාවන් ඇතිවන බවත් කිසිදු අවස්ථාවක සැකපිට අත්අඩංගුවට ගත් එම වතුයායේ තරුණයන්ට පහරදීමක් සිදු නොකළ බවත්ය. සිද්ධිය මේ වනවිට සමථයකට පත්කර ඇති බවද ස්ථාන භාර නිලධාරිවරයා පවසා සිටියේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්