හික්කඩුවෙන් මුහුදු ගිහින් අනතුරට පත් ධීවරයන් හයදෙනකු නාවික හමුදාව බේරාගෙන

  👤  3911 readers have read this article !
By mawbima 2017-08-11

හම්බන්තොට - රාහුල් සමන්ත හෙට්ටිආරච්චි

ගොඩබිම සිට මුහුදු සැතපුම් 400ක් පමණ අෑතදී යාන්ත්‍රික දෝෂයකට ලක් වූ බහු දින යාත්‍රාවක සිටි ධීවරයන් 6 දෙනකු ආරක්ෂිතව ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදාව කටයුතු කර තිබේ.

මෙසේ අනතුරට ලක්වී ඇත්තේ හික්කඩුව ධීවර වරායෙන් පසුගිය මස 21 වැනිදා මුහුදු ගිය 'මන්දිනු පුතා' නමැති ධීවර බෝට්ටුවකි. පසුගිය මස 21 වැනිදා හික්කඩුව ධීවර වරායෙන් මුහුදු යෑමට කාර්ය මණ්ඩලයේ දෙදෙනකු සමඟ මේ ධීවර බෝට්ටුව පිටත් වී ඇති අතර පසුව එහි කාර්ය මණ්ඩලය අඩු නිසා නැවත එම ධීවර යාත්‍රාව හම්බන්තොට වරායට පැමිණ ධීවර යාත්‍රාවේ හිමිකරු ද සමඟ පිටත් වී තිබේ. විශාල මත්ස්‍ය අස්වැන්නක් නෙළා ගනිමින් තිබූ අතර තවත් කාර්ය මණ්ඩලය අවශ්‍ය වී තිබූ නිසා පසුව හම්බන්තොට ධීවර වරායෙන් මුහුදු ගිය ධීවර යාත්‍රාවක සිටි ධීවරයන් 3 දෙනකු බෝට්ටුවට එක් කරගෙන තිබේ.

පසුගිය මස 24 වැනිදා මෙම ධීවර බෝට්ටුවේ ඇති වූ කාර්මික දෝෂයක් නිසා අනතුරට පත් වී තිබේ. මේ වන විට බෝට්ටුව තුළ ලක්ෂ 30ක පමණ වටිනාකමකින් යුත් නෙළා ගන්නා ලද බල මාළු තොගයක් තිබූ බව එහි හිමිකරු වන පුෂ්පකුමාර සොයිසා පවසා සිටියේය. 'මාළු සමඟ බෝට්ටුව නාවික හමුදාවේ සයුර නෞකාවෙන් ඇදගෙන ආවා. නමුත් ගොඩබිම සිට මුහුදු සැතපුම් 200ක පමණ අෑතදී බෝට්ටුව ගිලුණා.' යැයිද බෝට්ටුවේ වටිනාකම පමණක් රුපියල් ලක්ෂ 130ක් පමණ වන බවත් ඔහු පැවැසීය. බෝට්ටුව අනතුරට පත්වීමෙන් පසු ගිය පළමුවැනිදා නාවික හමුදාවට ඒ බව දැනුම් දී ඇති අතර පසුව නාවික හමුදාව පස්වැනිදා බෝට්ටුව තිබෙන ස්ථානයට ළඟා වීමෙන් අනතුරුව ධීවරයන් හයදෙනාගේ දිවි බේරා ගෙන තිබේ. දිවි බේරාගත් එම ධීවරයන් හය දෙනා පෙරේදා (9දා) දින හම්බන්තොට ධීවර වරායට සයුර නෞකාවෙන් රැගෙන විත් තිබේ. ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වයද යහපත් මට්ටමක පැවැති බව නාවික හමුදාව පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්