හීන පිරුණු ජීවන බර කඳුළින් ලියැවුණාවේ දුවේ උඹට වරදින් නෑ හිටපන් හුදකලාවේ

  👤  3532 readers have read this article !
By mawbima 2017-08-13

සිහින කියන්නේ මහ පුදුම දේවල්ය. සිහින හත අටක්වත් නඩත්තු නොකරන මිනිසෙක් මේ මිහිපිට සොයා ගන්නට නොහැකිය. ඒ තරමටම 'සිහින' මනුස්ස ජීවිතය පුරා නඩත්තු වෙමින් තිබේ.

අම්මා හෝ තාත්තා නැතිව හුදකලාවේ ජීවිතය හොයන දරුවන් ගැන කතන්දර අප ඕනෑ තරම් අසා තිබේ. බොහෝ කතා 'එකමත් එක කාලෙක' පැලැන්තියේ කතන්දර පමණක්මය. එහෙත් අහම්බෙන් එහෙම ඇත්ත කතා අසන්නට සහ දකින්නට ලැබෙන විට කකියන්නේ හදවතය. මේ කතාවේ මුල මැද සියල්ල වේදනාබරය. අග කෙසේ වේවිදැයි දන්නේ 'ඇය' විතරක්මය.

සහමුලින්ම පොල්අතු හෙවිල්ලා, පොල් අතුම වටකොට අටවාගත් ගෙපැලක හුදකලාවේ යුවතියක හිඳී. සාමාන්‍ය පෙළ අති විශිෂ්ට ලෙස සමත් අෑ දැන් සිහින දකින්නේ උසස් පෙළ කඩඉම දිනා සරසවි යන්නටය.

තාමත් සොළොස් වියවත් නොඉක්මවූ යුවතියක් තට්ට තනියම පැල්පතක දිවිගෙවන කතාවම අරුමයකි. එහෙත් එය සත්‍යයකි.
යුවතියගේ තනියට, හුදකලාවට සිටින්නේ අෑ විසින් ගෙපල වටා ඉන්දවා තිබෙන 'දහස්පෙති' මල් යායය. ඒ මල් මැද යුවතිය තනිවමය. වසර හතරක් පමණ අෑ එහි තනිව වසන්නීය. එහෙම බැලුවම දැරිය ‍ෙදාළොස් වියේ පමණ සිටම ඉන්නේ මේ ගෙපැලේ තනිවමය.

'අම්මයි, තාත්තය මායි අපි හරි ආදරෙන් හිටියා. ඒත් තාත්තා හිටිගමන් නැති වුණා. එතකොට මම හරිම පුංචියි.'
අෑ කතාව පටන් ගත්තේ 'කඳුළු පිපෙන්නට' නොදෙන්නෙමයි කියා හිතාගෙන වාගේය. එහෙත් ඒ දෑස් දිදුලයි.
ගැහැනියක් කියන්නේ අහස පොළව තරම් දේ දරාගෙන උහුලාගෙන හිඳින්නියකි. මේ නොදරු යුවතිය ඊටත් වඩා බරක් දරාගෙන ඉන්නේ වසර ගාණක් තිස්සේය.
'තාත්තා නැති වුණාම අම්මා වෙන කෙනෙක් එක්ක විවාහ වුණා'

යුවතියගේ ජීවිතය 'හුදකලාව' තෝරා ගන්නේ ඊට පස්සේය. ඉගෙන ගැනීම ජීවිතය දිනන මාවත වග දන්නා අෑ ඒ උදෙසා අනන්තවත් වෙහෙසුණාය. නිරන්තර එන වේදනාබර අත්දැකීම් සහ ආගන්තුක බලපෑම් මත අෑ තීරණය කළේ නිවෙසෙන් අත්මිදී හුදකලා වන්නටය.
'මම හීන ගොඩක් දකින කෙනෙක් නෙවේ. එහෙම ලොකු හීන දකින්න වාසනාවක් තියෙනවා කියලා මම හිතන්නේ නෑ. ඒත් එකම එක හීනයක් තියෙනවා'
අෑ කියන්නේ 'දුප්පතුන් නැති ලෝකය' පොත අතේ තියාගෙනය. එය උසස් පෙළට නිර්මිත කෘතියක්ය.

'මොකක්ද ඒ හීනේ?'
'ගුරුවරියක් වෙන එක'
අෑ බලාපොරොත්තුවේ දෑස් අහස දෙසට හරවාගෙන කියන්නීය.
'ගෙදර ප්‍රශ්න දවසින් දවස වැඩිවුණා. ඒ ප්‍රශ්නත් එක්ක මගේ බලාපොරොත්තුවලට යන්න අමාරු බව මට තේරුණා. ඊට පස්සේ මම තීරණයක් ගත්තා'
අෑ කියන්නේ උපන් නිවෙසින් පිටත්වීමට හේතු වූ කාරණාය. වෙච්ච වේදනාකාරී අත්දැකීම් පිළිබඳ කිසිවකු කෙරෙහි 'අහිතක්' නැතිව යුවතිය උපේක්‍ෂාවෙන් දරා සිටින්නීය.
'ඊට පස්සේ මම මේ පැලට ආවා'
'එතකොට ඔයා හරිම පොඩි දරුවෙක්නේ?'

'ඔව්'
මන්දාරම් අහසින් එන විදුලි එළිය අද්දරත් ගැහැනු දරුවෝ භීතියෙන් ඇලළී මවු තුරුලට ගාල් වන්නීය. එහෙත් මේ යුවතිය ඊට වරම් නැත. අෑ නොදරු වියේදීම හුදකලා පැල්පතක හිඳ ජීවිතය ඇහිඳින්නට පටන් ගන්නීය.

අෑ අහිංසක ආඩම්බරයකින් කියන පුංචි ගෙපැල සත්තකින්ම පැල් කොටයක්ය. එහෙත් අෑ එය විසිතුරු කර ගන්නට වෑයම් දරා සිටින්නීය. වඩු කුරුල්ලා තම කූඩුව එළිය කරන්නට කණාමැදිරියන් ගෙනැවිත් තියා ගන්නා බව කීවේය. යුවතියද මේ පුංචි පැල්පත විසිතුරු කරන්නට වෑයම් දරා තිබේ. කුප්පි ලාම්පුව ඇයගේ ලෝකයේ කළුවර මකන්නට උදව් කරයි. කටුමැටි බිත්තියේ ඇඳුම් කිහිපයක් එල්ලා තිබේ. බුදුන්ගේ සහ සරස්වතියගේ කුඩා පින්තූර දෙකක් බිත්තියේ කෙළවරක වෙයි. හිත පුදසුනක් කොටගෙන අෑ ඒවාට නමස්කාර කරයි.

'අම්මා ගාව නංගිලා දෙන්නා ඉන්නවා. මම මෙතැන ජීවත් වෙනවා. එයාලට වදයක් වෙන්න මම ආස නෑ'
'කොහොමද කෑම බීම හොයා ගන්නේ?'

'ඉස්කෝලේ ගිහින් ඇවිත් කුලී වැඩ කරනවා. නිවාඩු දවසටත් කුලී වැඩට යනවා'
අෑ කියන්නේ ආයාසයෙන් නඟාගත් මන්දස්මිතියක් ඇතිවය. 'මව ස්මාට් දුරකතනයක් අරන් දුන්නේ නැතැයි කියා දියණිය නිදි පෙති බීලා' කියා පුවතක් තිබුණේ ගිය සතියේය. අෑ තාමත් පාසල් ගෙනියන්නේ හෝඩියේ පන්තියේ දරුවන් පොත් ගෙනියන පන්නයේ බෑගයකය.

'මොනවද කරන කුලී වැඩ?'
'නිවාඩු දවස්වලට උදලු ගාන්න, ලූනු ගලවන්න, වල් ගලවන්න යනවා. මෙහේ එහෙම වැඩ තියෙනවා. ඒකෙන් හම්බ වෙන සල්ලි ඉගෙන ගන්නයි කෑමටයි වියදම් කරනවා'
විශ්වාස කරන්නට අපහසුය. ඒත් සත්‍යය ඒකය. අෑ පුදුමාකර දියණියක්ය.

'මහන්සි වෙලා වැඩ කරලා ඇවිත් කොහොමද පාඩම් කරන්නේ?
'දැන් ඒක ගාණක් නෑ. හුරු වෙලා'
දුක ජීවිතයට කඩා වැදී ජීවිතයේම කොටසක් වූ විට ජීවිතය ඊට පත්තියම් වෙතැයි කියමනක් තිබේ. දුක තුළම ගිලී එහි කිමිදී සිටින යුවතියට එය අමුතු නැත.
'කාගෙන්වත් කරදරයක් නැද්ද?'

'නෑ. මම අසරණ වෙලා ඉන්නේ. එහෙව් මට කරදර කරන්න සතෙක්වත් එන්නේ නෑ. මම කාටවත් වරදක් කරලත් නෑ.'
අෑ කියන්නේ එහෙමය.
'උයන්නත් පුළුවන්ද?'

'ඔව්. ඒත් හැමදාම උයන්නේ නෑ. එක වේලක් උයපුවහම තුන් වේලටම ඇති'
අෑ කියන්නේ කෑම කියන එක ලොකු දෙයක් නොවේ කියාය. තුන් වේලම තියා බොහෝ විට එක වේලක්වත් නොකන දවස් ඇයට හමුවේ.
'බඩගිනි දරන්න බැරි වෙලාවට බිස්කට් එකක් කාලා තේ එකක් හදාගෙන බීලා පාඩම් කරනවා'

'ජීවිත සිහිනයක් වෙනුවෙන්, නපුරු දුෂ්කරතා විඳින්නේ කොහොමද කියා යමකුට දකින්නට ඇවැසි නම් අෑ විඳින දුක් වේදනාව දැකිය යුතුය. දුෂ්කර ක්‍රියා කියන්නේ මේවාටය. කුස ගින්නට කුස පොත්ත පිට පොත්තට හැරී වේදනා දෙද්දීත් අෑ සිහිනයක් දකින්නීය. ඒ ගුරුවරියක වීමේ සිහිනයය.

අම්මා එක්ක එන්න පුළුවන් නේද? එක්කෝ ගෙදරට යන්න පුළුවන් නේද?'
අෑ ඊට අකැමැතිය.
'එයාලට දුක් දෙන්න බෑ'
කුමක් නමුත් හේතුවකට අෑ ගෙදර නොයන්නීය. එහෙත් අෑ සිහිනයක් වෙනුවෙන් අනවරතව වෙහෙසෙන්නීය.
'මේ ඉන්න ඉඩම බාප්පා උකස් කරලා තියෙන්නේ. තව ටික දවසකින් සින්න වෙයි. එතකොට මට මහ පාරට යන්න වෙයි. ඒත් මම කොහොම හරි ගුරුවරියක් වෙනවා.'
දෙපා පණ නැතිව පෝලියෝ රෝගියෙක් ලෙස උපන් විලමා ඔලිම්පික් රන් පදක්කම් දිනන්නීය. දෙසවන් බිහිරි බීතෝවන් ලොව අග්‍රගණ්‍යම සිම්පනිය නිර්මාණය කරන්නේය. මිනිසකුට වුවමනාව තිබේ නම් 'ජීවිත සිහින' දිනන එක ඒකාන්තය.

අෑ පුදුම දැරියකැයි ඔබට සිතෙන්නට පිළිවන. එහෙත් අෑ සතු සිහිනය අතිශය පවිත්‍රය.

'කවදා හරි ගුරුවරියක් වෙලා අසරණ දරුවන්ට උගන්වනවා.'
අෑ කියන්නේ තෙත් වූ නෙත්වලින් යුතුවය. ජීවිතය හීනයක් පස්සේ දුවන විට කවුරුවත් මල් පාවඩ එළන්නේ නැත. හැබැයි සිහිනය දිනූ දාට රතු පලස් සූදානම්ය. දුක් විඳින දා දුක බෙදා ගන්න වචනයක් නොකියන අය දුක දිනුව දා එන්නේ මල්මාලා දමා පිළිගන්නටය.
අප කියන්නේ මේ යුවතිය එක් සිහිනයක් වෙනුවෙන් 'දුප්පත් මල් පෙරහරක යමින් සිටී. හැකි නම් ජීවිත පෙරහරට 'මල් ටිකක්' දෙන්න... මක්නිසාද අෑ ඔබ වෙනුවෙන් දිනක 'රන්දෝලි' පෙරහරක් යන්නට සිහින දකින්නියකි.

රංජිත් කුමාර සමරකෝන්

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්