ආපසු ගමනක් නෑ

  👤  3286 readers have read this article !
By mawbima 2017-08-13

'රවි කරුණානායකට එරෙහිව දෝෂාභියෝගයක් ගෙනෙන එකත්, රවි ඇමැතිකමින් ඉල්ලා අස්වෙන්න ඕනෑ කියන එකත් නිසා ජනතාවගේ තියෙන එදිනෙදා ප්‍රශ්න යට ගිහින්' කියා කියන්නේ මධ්‍යස්ථ මිනිසුන්ය. තවත් සමහරුන් කියන්නේ.... 'හොරු ඉන්නව නම්, හොරකම් කරලා කියලා පෙනෙනවා නම් දේශපාලන පළිගැනීම් නොකර නීතිය අනුව ඉක්මනින් නඩු අහලා තීන්දු ගන්න ඕනෑ' කියලාය. කෙසේ වෙතත් රවිලාගේ කෙරුවාව හරිද වැරැදිද යන විනිශ්චය කළ යුත්තේ ආණ්ඩුවෙන්ම වන නිසා ජනතාවට කලින් කියූ පරිදි මේ ගැන විමසන්නට සාධාරණ අයිතියක් තිබෙන්නේය.

ඊට හේතුව නම් මේ වන විටත් ජනතාව ආර්ථික අතින් පමණක් නොව ස්වාභාවික ව්‍යසනයන්ගෙන්, දේශගුණික විපර්යාසයන්ගෙන්ද මහත් සේ පීඩා විඳිමින් සිටීමය. මේ සටහන තබන මොහොත වන විට දිවයිනේ පවතින වියළි කාලගුණය නිසා ලක්ෂ 12ක් දෙනා පීඩාවට පත්ව තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසා ඇත. ඒ අනුව දිස්ත්‍රික්ක 19ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 137ක පවුල් 3,41,891කට අයත් පුද්ගලයන් 1,91,483ක් පීඩාවට පත්ව සිටිති.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ තත්ත්වය දරුණුය. එම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 23ක පවුල් 46,100කට අයත් පුද්ගලයන් 1,51,262ක් පීඩාවට පත්ව සිටිති. ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පවුල් 37,004කට අයත් පුද්ගලයන් 14,09,338ක්, මඩකළපුව දිස්ත්‍රික්කයේ පවුල් 19,685කට අයත් පුද්ගලයන් 65,341ක්, අම්පාර දිස්ත්‍රික්කයේ පවුල් 16,300කට අයත් පුද්ගලයන් 57,248ක් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පවුල් 6,556කට අයත් පුද්ගලයන් 23,919ක්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවුල් 19,668කට අයත් පුද්ගලයෝ 66,309ක් පීඩාවට පත්ව සිටිති. එසේම පුත්තලම, කිලිනොච්චිය, වවුනියාව, මුලතිව්, යාපනය, මන්නාරම, රත්නපුර දිස්ත්‍රික්කද නරක තත්ත්වයකය.

පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙම පිරිස්වලට ජලය සොයා ගැනීම දුෂ්කර වී තිබෙන අතර මේ හේතුවෙන් බවුසර් යොදාගෙන මෙම පිරිස් වෙත ජල සැපයුම් සිදු කිරීමටද සිදුව තිබේ.

පවතින තත්ත්වය නිසා ජලය සොයා ගැනීමට නොහැකිව ජනතාව සැතපුම් ගණන් ඇවිදගෙන යමින් සිටින බවත් ඔවුන්ට ජල මූලාශ්‍ර සොයා ගැනීමට නොහැකි වන තරමටම නියඟය දරුණු බවත් කියැවේ. යහපාලකයන් කියන්නේ ජලය බෙදා හැරීමට ජල බවුසර් 500ක් රට පුරා යොදවා ඇති බව වුවත් ජනතාවට ඒ බවුසර් පිටත්කර හැරීමෙන්ම පමණක් මේ ගැටලුවට විසඳුම් සොයා ගත හැකි දැයි පැනයකි. ජනතාවගේ එදිනෙදා මූලික අවශ්‍යතාවන්ට අත්‍යවශ්‍ය වන ජලය සැපයීමට විධිමත් ලෙස ප්‍රමුඛතාව ලබාදී කටයුතු කිරීම රජයක යුතුකමය.

තත්ත්වයේ බරපතළකම තව තවත් දැනෙන්නේ කුඩා හා මධ්‍යම පරිමාණ වැව් 450ක පමණ ජලය පවතින්නේ 4%ත් 8%ත් අතර ප්‍රමාණයක වීම නිසාය. ඒ නිසාම අලුතින් වගා කිරීම සඳහා ජලය නිකුත් කිරීමද නවතා දමා තිබෙන්නේය. ඊටම අනුව යමින් ජල විදුලිය නිපදවීමද පහත බසින්නේය. අඛණ්ඩව පැය 24 පුරාම විදුලිය සැපයීම වෙනුවෙන් ජල විදුලියෙන් 30%ක් නිපදවෙන බැවින් එය සිදු නොවන තැනට කරුණු යෙදීම තත්ත්වය තවත් නරක අතට ගෙන යන්නකි.
තත්ත්වය මෙසේ පෙළ ගැසෙන ආකාරය දෙස බලද්දී සැප්තැම්බර් මාසය තුළවත් අපේක්ෂිත වර්ෂාව ලැබීම සිදු නොවුණහොත් ජල විදුලිය සැපයීම නොකෙරෙන තරමට පහත වැටෙනු ඇත. මෙය රටේ ආර්ථිකයටත් ජන ජීවිතයටත් දැඩිව බලපාන්නේය.

එහෙත් යහපාලකයන් කියන්නේම ආර්ථිකය දැන් ශක්තිමත් කියලාය. එහි කිසියම් හෝ කඩා වැටීමක් සිදුව නැතැයි කියලාය. එය තවත් තහවුරු කරමින් යහපාලකයන් පම්පෝරි ගසන්නේ.........

'හම්බන්තොට වරාය දියුණු කිරීම චීනයට පැවැරීම වෙනුවෙන් රටට ලැබුණු අති විශාල විදෙස් මුදල් ප්‍රමාණය නිසා ආර්ථිකය දැන් ශක්තිමත් හා ස්ථාවර මට්ටමකට ඇවිත්. විපක්ෂයට ඕනෑ වුණේ ඒ දෙය වළක්වන්නයි' කියලාය.
එහෙත් 'සැබෑවටම මහින්ද හදපු වරාය හොඳ නැතෙයි කියපු යහපාලකයන්ම ඒ වරාය චීනෙට විකුණා ලබාගත්ත හිඟා කෑ මුදල්වලින් ආර්ථිකය යාන්තම් බැලන්ස් කරගත්තා' ය කියා කියන්නට වීමද දෛවෝපගත වූවකි.
හම්බන්තොට වරාය ඉදිකිරීමට ගිය මුදල 2007 වසරේ සිට 2012 එය සම්පූර්ණ කරන තෙක් ඇ. ඩො මිලියන 1,430ක් පමණය. එයින් ඩො.මි. 1,265.8ක් ණයට ගෙන තිබුණු අතර ඉතිරි මුදල යෙදවූයේ වරාය අධිකාරිය ය. එම ඩො.මි. 1,265.8 මුදල ගෙවා අවසන් කරන්නට වසර 25ක් පමණ කාලයක් ගත වන්නේය. එහෙත් ණය ගෙවා අවසන් කරන්නට තියෙන දුෂ්කරතාව නිසා කොළඹ වරායෙන් ලබාගන්නා ආදායම කැප කරන්නට වීම මහා අපරාධයක් බව යහපාලකයෝ කීවේ 'හම්බන්තොට චීනෙට විකුණන්නෙ නැතිව බෑ'යි කියමිනි.

චීනයට වරාය බදු දී ලබාගන්නට වන ඇ.ඩො. මිලියන 1:120ක පමණ මුදලින් වරායට ගත් ණය ගෙවනු ඇතැයි කියන්නේ මොළයේ අමාරුවක් තියෙන කෙනෙකි. හේතුව රජය මේ මුදල්, ණය පියවීමට කිසිසේත්ම නොකරන බැවිනි.

සත්‍ය නම් එය නොවේ. රජය යහපාලනය ගෙනයන්නට ලබා ගෙන ඇති දැවැන්ත ණය කන්ද ඊට නොදෙවැනිය. එහි පොලියද දරුණු ආකාරයට ඉහළට නැඟ ඇත. ඒ නිසා ඒ ණය ගෙවන්නටද වන්නේ මේ ණයවලින් වීම සත්‍යය ය. මධ්‍යස්ථ ආර්ථික විග්‍රහයක යෙදෙන ආර්ථික විද්‍යාඥයන් මීට කියන්නේ......
'වරාය විකුණලා ආණ්ඩුව ලබාගත් ණය මුදල් වියදම් කරන්නේ හරියටම කියනවා නම් පඩි ගත්ත දවසෙ කෙනෙක් පාටියක් දැම්මා වගෙයි' කියලාය.

එක් අතකට වරාය චීනෙට විකුණන්නෙ නැතිව මේ යහපාලකයන්ට සල්ලි හොයන්න වෙනත් මඟක් නැතිය කියා ප්‍රදර්ශනය කිරීමෙන් පෙන්නුම් කරන්නේ ණය දෙන්න තරම් විශ්වාසවන්ත භාවයක් ආණ්ඩුව ගැන විදෙස් රටවලට නැති බවය. විකුණාගෙන කන්න වී ඇත්තේ ඒ නිසාය. එසේ නොකොට කොළඹ වරායේ ආදායමෙන් හා තවත් වෙනත් ආදායම් මාර්ගයන්ගෙන් ලබාගත් මුදල්වලින් හම්බන්තොට වරායේ ණය වසර 25කින් හෝ ගෙවා නිම කළොත් වරාය අතේය. අප රට සතුය. එහෙත් යහපාලන තියරියට අනුව නම් 'වරාය විකුණලා ගත්ත සල්ලිත් නැත. ඒ නිසා තිබ්බ වරායත් අපට නැත' ය කියා කියන්නට සිදුවන්නේය.

මේ සියල්ල යන අතරේ රටේ ආර්ථිකයේ ප්‍රබල කඩා වැටීම යහපාලකයන් දෑතින් වසාගෙන වෙනත් ලෝකයක් මවාපාන්නට අසාර්ථක උත්සාහයක නිරත වී සිටින්නේය.
හම්බන්තොට වරායත්, මත්තල ගුවන්තොටුපොළත් ගැන බෙරිහන් දෙන ආණ්ඩුවට වාසුදේව පසුගියදා මෙහෙම කීවේය.
'මහ බැංකු බැඳුම්කර වංචාව නිසා අප රට මේ වන විට දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව තිබෙනවා. ආර්ථික විශේෂඥයන් කරනු ලබන ප්‍රකාශ සම්බන්ධයෙන් අගමැති උත්තර බැඳිය යුතුයි. ඒවට උත්තර නොදී හම්බන්තොටයි මත්තලයි ගැන නිතර බෙරිහන් දෙනවා.'

අනුර කුමාර දිසානායක යහපාලනය ගෙන එන්න හැංගිමුත්තම් කෙළි, රට පුරා ගොස් වක්‍රව ඡන්දෙ දෙන්නැයි කියූ නායකයෙකි. ඔහු පසුගියදා වලස්මුල්ලට ගොස් කීවේ
'රනිල් - මෛත්‍රි ආණ්ඩුව හරියන දීගයක් නොවේ. ජනතාව බලාපොරොත්තු වූ දේවල් ඉටු කරන්නට මේ ආණ්ඩුව අසමත් වෙලා. මේක පෙරළන්න ලේසියි' කියලාය.
එය තහවුරු කරන්නට මෙන් පෙර මෙහි සඳහන් කළාක් මෙන් 'විකුණගෙන කන - ගොඩ එන යහපාලකයන්ගේ න්‍යාය'ට අනුව මහින්ද හදපු මත්තල ගුවන්තොටුපොළත් ඉන්දියාවට විකුණා දමා ගාණක් සොයාගන්නට යහපාලකයන් දැන් කඩිමුඩියේ වැඩය.

ඉතාමත් කෙටි කාලයක් තුළ රටේ ධනය කොල්ල කෑ බවට ජනතාවට හැඟෙන දැනෙන පරිදි ආණ්ඩුවම කටයුතු කර තිබියදී රවිට එරෙහිව විශ්වාසභංගයක් ගෙන එන ව්‍යායාමයේ දිගුවක් දකිමින් ළඟදීම මලික් සමරවික්‍රමටත්, මංගල සමරවීරටත් එරෙහිව විශ්වාසභංගයක් ගෙන එන බව ඒකාබද්ධ විපක්ෂයේ කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කර තිබුණේ පසුගියදාය.

ආණ්ඩුව ඇතුළෙන්ම රවිට සහ රනිල්ට එරෙහි කැරැල්ල තවමත් අළු යට ගිනි මෙනි. කොයි මොහොතේ මතුවේ දැයි කියන්නට බැරි තැනකය. රවිට එරෙහිව පක්ෂය තුළම මතයක් දරන පිරිසක්ද ඇති බව කියැවෙන කතා බොහෝය.

බැඳුම්කර කොමිසම හමුවේ රවි දුන් සාක්ෂි අනුව ඇති වී තිබෙන පක්ෂයේ අර්බුදය කෙසේ දැයි සිතාගන්නට බැරි තැනකය. සජිත් ප්‍රේමදාසද පසුගියදා අපූරු කතාවක් කියා තිබුණේය. එනම්...
'දූෂිතයන් රැකීමට අත් ඉස්සුවොත් එදාට තනතුරු අත්හැර පාරට බහිනවා' කියලාය.

මේ සියලු කාරණා අතර රට පුරා තැනින් තැන ජනතාව ඉතා අන්ත අසරණ තත්ත්වයට ඇදවැටුණු සිදුවීම් කිහිපයක් පිළිබඳව තොරතුරු ඇසෙන්නේය.
නියඟය ඉතාමත් දරුණු වූ බැවින් කුලී වැඩක්වත් කරගන්නට බැරි තරමට රට පුරා ජනතාව අසරණ වෙලාය. පදවියේ සමහර අෑත පළාත්වල ජනතාවට මේ වෙද්දී සිඟමන් යදින්නට සිදුව ඇත්තේය. වැලිඔය, නාමල්පුර, සම්පත් නුවරට ගොස් විමසා බැලුවොත් තත්ත්වය වටහාගත හැකිය. ප්‍රාදේශීය ලේකම්ලා කර අරිද්දී දේශපාලකයන්ට කියන්නැයි කියද්දී දේශපාලකයන් සොයා ගන්නට බැරිව ජනතාව අසරණ වෙලාය.

තබ්බෝව අභය භූමියේ සත්තු රැසක් මියගොස් සිටින ආකාරය ශෝචනීය ය. ඇතැම් රිළවුන් හාමතේ ගස් උඩ මිය ගොස් සිටින අයුරු මීට පෙර දකින්නට බැරි තරම් වූ තත්ත්වයක් යැයි ප්‍රදේශවාසීහු පවසති.

ස්වාභාවික විපත් ඕනෑම ආණ්ඩු කාලයක් තුළ දැකිය හැකි වුවත් ඒ හැම අවස්ථාවලදීම ඒවාට මුහුණ දීමට විධිමත් සැලසුම් හා ක්‍රියාත්මක වීම් තිබිය යුතුය. රට කරනවාය කියන්නේ ඒ හැම දේටමය. ඒ නිසා යහපාලකයන්ට වන සතුන් ටිකවත් රැකගන්නට ඉතා සුළු පියවරක්වත් ගන්නට බැරි නම් ඒ පාලනයෙන් වැඩක් තියේ දැයි අහන්නට වෙනවාය.

රටේ ඇත්තම තත්ත්වය මෙය ය. යහපාලකයන් කුමක් කීවද සැබෑව විනිවිද දකිමින් බුද්ධිමතුන් පවසන දේ බැහැර කළ නොහැකිය. ජේ‍යෂ්ඨ කථිකාචාර්ය නවරත්න රඹුක්වැල්ල පසුගියදා සති අන්ත පුවත්පතකට කියූවක් මෙහි දැක්වීම වටනේය.

'ආණ්ඩුවට ලැබුණු ජනවරම අහෝසි වෙලා ඉවරයි. නැවත ඡන්දයක් දිනන්න තියා හිතන්නවත් බෑ. ඉතින් 20 වැනි සංශෝධනය ගෙනත් ඡන්ද කල් දාන්නයි ආණ්ඩුවේ සූදානම. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන සියලු දෙන ආණ්ඩුවෙන් මැතිවරණ උදුරා ගැනීමට අරගල කළ යුතුයි. ඒ නිසා මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ආණ්ඩුවට ආපසු ගමනක් නෑ. එය වහාම පරාජයට පත් කළ යුතුයි.'

මේ ජනතාවගේද හද ගැහෙන හඬ බව තවත් කිව යුතුද?

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්