මෙවැන්නකු මුදල් ඇමැති වී විදේශ ඇමැතිද වූ රටකට යා හැකි දුර...

  👤  3542 readers have read this article !
By mawbima 2017-08-13

රවි කරුණානායක ස්වකීය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වුණේය. ඔහුට අනුව ඒ අස්වීම අලුත් දේශපාලන සම්ප්‍රදායක ආරම්භයකි. යහපාලනයේ ආඩම්බරකාර ප්‍රකාශනයකි. පක්ෂය වෙනුවෙන්, පාක්ෂිකයන් වෙනුවෙන් පමණක් නොව මාතෘ භූමිය වෙනුවෙන් අභිමාන සම්ප්‍රයුක්තව තබන ලද උත්තුංග පියවරකි. අගමැතිවරයා කියන්නේත් මේ කතාවය.

කැබිනට් ඇමැතිකමින් ඉල්ලා අස්වීමට සිදුවීමේ සදාචාරයෙහි දිග පළල කුමක් වුවත් හරිහමන් විදියට චෝදනා ගොනුකර නඩුවක් ඇසුවානම් රවි කරුණානායක හිරේ විලංගුවේ වැටෙන්නට නියම වී තිබුණේ යහපාලන ආණ්ඩුවේ මුදල් ඇමැති වන්නටත් පෙරය. ඒ කතාවත් දැන් අපට අමතකය. මහා පරිමාණ මූල්‍ය වංචාවක් කර ඇමෙරිකානු ඩොලර් මිලියන තුනක් ලංකාවට ගෙන්වා ගැනීමෙන් සිදුකළ විනිමය වංචා සිද්ධියක් මීට වසර හත අටකට පෙර මතුවූයේය. ඒ කාලයේ සිටි හොරුන්ගේ හොරකම් අතරදීත් මේ විනිමය වංචා සිද්ධියට රටේ අවධානය යොමුවිය. මෙම මූල්‍ය අපරාධයේ ප්‍රධාන චූදිතයා රවි කරුණානායකය.

උක්ත විනිමය වංචා සිද්ධියට පදනම් වූයේ 2006 දෙසැම්බර් 22 වැනිදා අනේවාසික පදිංචිකරුවකු වන ගැලියන් ඉන්ටර්නැෂනල් හයිඩ් සහ සමාගම විසින් ගැලිසන් ඉන්ටර්නැෂනල් මාස්ටර් ෆන්ඩ් ආයතනය වෙත එවන ලද ඇමෙරිකානු ඩොලර් මිලියන එකක මුදලක් සහ 2007 ජනවාරි 03 වැනිදා අනේවාසික පදිංචිකරුවකු වන රාජ් රාජරත්නම් නමැත්තා විසින් එවන ලද ඇමෙරිකානු ඩොලර් මිලියන 02ක මුදලක් ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරයකින් තොරව පෞද්ගලික බැංකුවක රඳවා තබා ගැනීම, ඊට ආධාර අනුබල දීමය. රවි කරුණානායක ඇතුළු විත්තිකරුවන් දෙදෙනකුට එරෙහිව මේ නඩුව පවරා තිබුණේ නීතිපතිවරයා විසිනි. රවි කරුණානායක, ලින්කන් පියසේන සහ නේක්සියා කෝපරේට් කන්සල්ටන්ස් සමාගම මේ විත්තිකරුවන්ය.

කෙසේ නමුත් මේ විනිමය වංචාවට සම්බන්ධ ඇමෙරිකාවේ ගැලියන් සමූහ ව්‍යාපාරයේ ප්‍රධානි, ශ්‍රී ලංකාවේ උපත ලැබූ දෙමළ ජාතික රාජ් රාජරත්නම්, ව්‍යාපාරික රහස් සාවද්‍ය ලෙසින් භාවිත කොට ධනය රැස් කළ බවට වන චෝදනාවන්ට වරදකරු වී මෑන්හැටන්හි ෆෙඩරල් අධිකරණය දුන් තීන්දුවකට අනුව අවුරුදු එකොළහකට හිරේය.
එහෙත් චෝදනා ඉදිරිපත් කිරීමේදී අදාළ මුදල් මෙරටට ලැබීමේ දින සම්බන්ධයෙන් පැවැති දෝෂයන් සහිතව චෝදනා ගොනු කිරීමේදී සිදුවූ වරද නිසා රවි කරුණානායක ඇතුළු විත්තිකරුවන් අධිකරණයෙන් නිදහස් විය. සිදුකළ වරදෙහි ස්වභාවය එලෙසම පවතින බව කොළඹ මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්. අයිරාංගනී පෙරේරා දුන් තීන්දුවෙන් හෙළි වුණේය. අවශ්‍ය වූයේ නීතිපතිවරයා විසින් අධි චෝදනා පත්‍රය ඉල්ලා අස්කරගෙන නැවත සංශෝධිත අධි චෝදනා පත්‍රයක් ගොනු කිරීමය. එවැන්නක් සිදුවූයේ නැත.
අනතුරුව රවි කරුණානායක මුදල් ඇමැති විය. එවැනි පුද්ගලයෙක් රටේ මුදල් ඇමැතිවරයෙක් වූ විට රටකට යා හැකි දුර සම්බන්ධව ඔහු අපට දැන් පෙන්වා දී ඇත. ඔහුගේ ගමන නැවතී ඇත්තේ යහපාලන ආණ්ඩුවේ සොහොන ළඟය.

ඇලෝසියස් සහ පර්පචුවෙල් ට්‍රෙෂරීස්...
කට්ටාර් අලෝසියස් එක්සත් ජාතික පක්ෂය විසින් නිර්මාණය කළ ව්‍යාපාරිකයෙකි. ඔහු ඉපදුණේ තමිල්නාඩුවේය. තමිල්නාඩුවේ සිට මෙහි පැමිණි දමිළ කතෝලිකයෙක් වූ කට්ටාර් ඇලෝසියස් ජීවිතය ආරම්භ කරනු ලැබුවේ කරවල වෙළෙ¼දාමෙනි. කට්ටාර් ඇලෝසියස් පසුකාලීනව ඇලෝසියස් මුදලාලි යැයි කී විට රටම හඳුනන චරිතයක් වූයේය. ඇලෝසියස් මුදලාලි සිටියේ ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ සමීපතමයෙක් ලෙසය. පසුකලෙක ඔහු සිංගප්පූරුවට ගියේය. ආණ්ඩුව පෙරළා දැමීමට තරම් බලවත්ව මතුව එන, රටේ මහ බැංකු අධිපතිවරයෙක් ඉවත් කළ, හිටපු මුදල් ඇමැතිවරයා කුජීත කිරීමෙන් අනතුරුව ඔහුට තිබුණු කැබිනට් ඇමැතිකමත් අහිමි කළ රට හෙල්ලූ මහ බැංකු බැඳුම්කර වංචාවේ ප්‍රධාන චරිතය වූ අර්ජුන් ඇලෝසියස් මේ කට්ටාර් ඇලෝසියස්ගේ මුනුපුරාය.

අර්ජුන් ඇලෝසියස් පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම හරහා මහ බැංකු බැඳුම්කර ව්‍යාපාරයට සම්බන්ධ වන්නේ පසුගිය රජය සමයේදීය. එවකට මහ බැංකු අධිපතිවරයා අජිත් නිවාඩ් කබ්රාල්ය. මහ බැංකු අධිපතිකමට ඉතිහාසයේ කරන ලද පළමු දේශපාලන පත්වීම අජිත් නිවාඩ් කබ්රාල්ය. ඔහු රාජපක්ෂ පවුලේ ඥාතියෙකි. ආර්ථිකය කඩාවැටෙන වග දැන දැන ගී්‍රසිය සමඟ කළ ආයෝජනයෙන් රුපියල් කෝටි 700ක මුදලක් රටට අහිමි කළ, හෙජින් ගනුදෙනුව හරහා කෝටි 7000ක මුදලක් රටට අහිමිකළ සේවක අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළට දමා රුපියල් කෝටි 2800ක් රටට පාඩු කළ අජිත් නිවාඩ් කබ්රාල් ගැන වෙනම කතා කළ යුතුය. පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම ප්‍රාථමික මූල්‍ය සමාගමක් ලෙස මහ බැංකුවේ ලියාපදිංචි කරවා බැඳුම්කර ගනුදෙනුවලට අවස්ථාව ලබාදෙන්නේ අජිත් නිවාඩ් කබ්රාල්ය. අර්ජුන් ඇලෝසියස් එම අවස්ථාව ලබාගන්නට මහ බැංකු අධිපතිවරයාව සම්බන්ධ කරගන්නේ ඔහුගේ සහෝදරිය වන ශිරෝමි කබ්රාල් මිලියන ගණනක වැටුපකට පර්පචුවෙල් ට්‍රෙෂරීස් ආයතනයේ අධ්‍යක්ෂවරියක් ලෙස පත් කර ගැනීමෙනි.

රවි හා ඇලෝසියස්
රවි කරුණානායක හා අර්ජුන් ඇලෝසියස් අතර අවබෝධාත්මක සම්බන්ධය ඇතිවන්නේ අත්තා මුත්තා කාලයේ සිට නොව, යහපාලන ආණ්ඩුව බලයට පත්කිරීම සඳහා වූ මෙහෙයුමේදී සිදුවන අතයට මූල්‍ය ගනුදෙනුවලදීය. මේ හඳුනාගැනීම ආණ්ඩු පෙරළියෙන් පසු වඩාත් තහවුරු වූයේය. ආණ්ඩු වෙනසත් සමඟ අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකුව හැර ගියේය. යහපාලන ආණ්ඩුවේ ආරම්භක මහ බැංකු අධිපතිවරයා අර්ජුන් ඇලෝසියස්ගේ මාමාය. රවි-අර්ජුන් සම්බන්ධය සමීප මිත්‍රත්වයක් බවට පත්වන්නේ ඉන් අනතුරුවය.

මේ සම්බන්ධය කොතෙක්දුරට ගියේද යත් පසුගිය වකවානුවේ ඔහු රවි සමඟ 11 වතාවකට වැඩි වාර ගණනක් විදේශගත වුණේය. ඒ බව ජනාධිපති විමර්ශන කොමිසමේදී ද කියැවිණි. ඒ අනුව රවි කරුණානායක මුදල් ඇමැති ලෙස තමන්ගේ රාජ්‍ය දූත කණ්ඩායම් නියෝජනයට අර්ජුන් ඇලෝසියස්ව තෝරා ගත්තේය. ජපානයට ගිය නිල ගමනේ රාජ්‍ය දූත පිරිස අතර ඇලෝසියස් විය. රටේ මුදල් ඇමැතිවරයා හරහා රටට ආයෝජන ගෙනෙන්නට රටට පැමිණෙන සමහර ආයෝජකයන් මුදල් ඇමැති වෙනුවෙන් හමුවූයේ අර්ජුන් ඇලෝසියස්ය. මේ මිත්‍රත්වය රවි කරුණානායක කොමිසම හමුවේ කළ ප්‍රකාශයට වඩා දුර ගිය එකක් බව පෙනුණි.

මේ වනවිට අර්ජුන් ඇලෝසියස් ප්‍රකට මත්පැන් සමාගමක හිමිකරුවා වී සිටියේය. ඔහු සිය මත්පැන් වර්ග තුනක් අලුතින් හඳුන්වා දෙන සාදයක් ගෝල් ෆේස් හෝටලයේ සංවිධානය කර තිබිණි. එම උත්සවය සඳහා පැමිණ සිටියේ බලපත්‍ර සහිත මත්පැන් අලෙවිකරුවන්ය. එම උත්සවයට සහභාගි වූ ප්‍රධාන ආරාධිතයා වූයේ රටේ මුදල් ඇමැති රවි කරුණානායකය. අරක්කුකාරයකුගේ බෝතලයක් එළිදක්වන දිනයක ප්‍රධාන ආරාධිතයා රටේ මුදල් ඇමැතිවීමේ ආශ්චර්යය මත්පැන් අලෙවිකාර වයින් ස්ටෝස් හිමියෝ අත්වින්දහ. කුලුපගකම ඒ තරම් දුර ගොස් තිබිණි.

මේ ගජ මිතුරු හවුල බිස්නස් කළේ අහම්බයෙන් නොවේ. යහපාලන ආණ්ඩුවේ පළමු උතුර නැඟෙනහිර කලාපයේ වඩාත් වේගයෙන් අනුමත වුණු ව්‍යාපෘතිය වූයේ මඩකළපුවේ ඉදිකළ සහලින් මද්‍යසාර නිපදවන එතනෝල් ෆැක්ටැරියය. එම ව්‍යාපෘතිය අර්ජුන් ඇලෝසියස්ගේය.

එතනෝල් කොම්පැනිය දමන්නට පෙර සිටම අරක්කු කොම්පැනිකාරයෙක් වූ ඇලෝසියස්ගේ අරක්කුවලට නීති රීති නොතිබිණි. එම අරක්කු කොම්පැනියේ ස්ප්‍රීතු නිෂ්පාදනය කළේ බේරුවලය. බෝතල් කළේ වැලිසරය. බේරුවලට ස්ප්‍රීතු නිෂ්පාදනය සඳහා අවශ්‍ය රා සපයා ගැනීමට බලපත්‍ර ලබා දුන්නේ නාත්තණ්ඩිය, මාරවිල, හලාවත වැනි ප්‍රදේශවලින් රා ගෙනෙන්නටය.

මද්‍යසාර ප්‍රවාහනය කරනුයේ දැඩි නීති රෙගුලාසි සහිත කොන්දේසි මාලාවකට යටත් බලපත්‍රයකිනි. එහෙත් මේ කොන්දේසි අලෝසියස්ගේ රා බවුසරවලට වලංගු නොවුණු බවත්, මේ තරම් රා තොගයක් රටේවත් නොමැති බවත් මේ රැගෙන එන මද්‍යසාර සැක සහිත බවත් කියැවුණේ වරක් දෙවරක් නොවේ.

ඇලෝසියස් අරක්කු විකිණුවේ විශේෂ වරප්‍රසාද පිටය. සුරා බදු ගෙවීමේ ක්‍රමය අනුව බදු ගෙවිය යුත්තේ දින 15න් 15ටය. එම බදු මුදල් එක් දිනක්වත් ප්‍රමාද නොකර ගෙවීම අනිවාර්ය විය. අර්ජුන් ඇලෝසියස් සිය මත්පැන් නිෂ්පාදනාගාරවලින් පසුගිය ජූලි 15දා වනවිට රුපියල් කෝටි 38ක් සුරාබදු ගෙවීම පැහැර හැර තිබිණි. දූෂණ විරෝධී හඬ අනාවරණය කළ ආකාරයට එම පැහැර හැර ඇති බදු මුදල ජූලි 31දා වනවිට රුපියල් කෝටි 60කට ආසන්න විය. ඇලෝසියස් අරක්කු විකුණුවේ එවැනි විශේෂ තත්ත්වයන් යටතේය.

සුරා නිෂ්පාදනයෙන් පසු ඉතිරිවන අපද්‍රව්‍ය බැහැර කිරීමට ක්‍රමවේදයක් තිබේ. එම අපද්‍රව්‍ය පෙරහන් කිරීමේ තාක්ෂණයක් සෑම අරක්කු නිෂ්පාදනාගාරයකම තිබිය යුතුය. එහෙත් ඇලෝසියස්ගේ අරක්කු කොම්පැනියේ අපජලය බවුසර පිටින් මුහුදට දමන අවස්ථා ගණනාවක් වාර්තා විය. ඒ සඳහා වූ නීතිය නිසි ආකාරව ක්‍රියාත්මක නොවුණු බව කියැවිණි.

සාමාන්‍ය පහළම පන්තියේ අරක්කු බෝතලයක මිල රුපියල් එක්දහස් දෙසීයකි. මෙහි නිෂ්පාදන වියදම රුපියල් දෙසීයක්වත් යන්නේ නැත. රුපියල් දහසකට ආසන්න ප්‍රමාණයක් ආණ්ඩුවේ බදුය. එක් බෝතලයකින් බදු ගෙවීම පැහැර හැරියත් ශුද්ධ ලාභය රුපියල් දහසකි. වාර්තාවන ආකාරයට උතුර නැඟෙනහිර පළාත්වල ඇලෝසියස්ගේ අරක්කු විකිණීම සඳහා කිසිම සුරාබදු නීතියක් වලංගු නැත. රවිගේ මහිමය ඇලෝසියස් ප්‍රකට කළේ එසේය. තමන් කරන ව්‍යාපාරය රටේ විනයට යටත්ව කිරීමට අපොහොසත් අශිෂ්ට මනුස්සයෙක් රටේ මහ බැංකුවත් බිඳ තිබේ. ගැටලුව වන්නේ තිස් විය නොපිරුණු මේ අවිනීත මනුස්සයාට කිසිම ඇපයක්, ලියැවිල්ලක් නැතිව ලංකා බැංකුවෙන් රුපියල් බිලියන 10ක් ලබාගන්නට හැකිවූයේ කෙසේද යන්න ගැනය. එය කාගේ නියමයකින් වූවක්ද යන්නය. එහෙත් දැන් මහ බැංකු බැඳුම්කර අපරාධය රවි ළඟ නැවතී ඇත. රවි ඇමැතිකමින් අස්වීම නව දේශපාලන සදාචාරයක් නිර්මාණය කිරීම ලෙස අර්ථ දැක්වීම දක්වා තත්ත්වය බරපතළ වී ඇත. මහ බැංකු බැඳුම්කර අපරාධයටත් වඩා මේ අලජ්ජී දේශපාලන ප්‍රවේශය රටට හානි කර බව වටහාගත යුතුය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon