ලංකාවේ ඡන්ද තියන දවස ගැන දන්න කෙනෙක් මේ විශ්වය ඇතුලේ නෑ

  👤  3476 readers have read this article !
By mawbima 2017-08-13

වසර කිහිපයකින් මැතිවරණයකුත් නැති එකේ මේ දවස්වල මොනවද කරන්නෙ?

මැතිවරණ නැති නිසා අපි නයා මැරිච්ච අහිකුණ්ඨිකයා වගේ නිකං ඉන්නව කියලද හිතන්නෙ? එහෙම එකක් නෑ. පළමු කොටම අපි වාර්ෂිකව ඡන්ද හිමි නාම ලේඛන සකස් කරනවා. ඒ වගේම මේ වසරේ සිට ප්‍රජාතන්ත්‍රවාදය, සර්වජන ඡන්ද බලය සහ ජනතා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ දිස්ත්‍රික් මට්ටමින් ජනතාව දැනුවත් කරගෙන යනවා. ගිය මාර්තුවල සිට මේ වනතුරු සාකච්ඡා දහසකට වඩා පවත්වා තිබෙනවා. ශිෂ්‍යයන්, තරුණයන්, වැඩිහිටියන්, ගොවීන්, ධීවරයන්, කම්කරුවන්, වෘත්තීයවේදීන් ආදී සියලු දෙනා දැනුවත් කරනවා. ප්‍රජාතන්ත්‍රවාදය මූලික කාරණය බවත් ප්‍රජාතන්ත්‍රවාදය නැත්නම් කිසි දෙයක් නෑ කියන එක ගැන එම දැනුවත් කිරීම් සිදු කරනවා. සර්වජන ඡන්ද බලය සුරකින දේශය ගොඩනැඟීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ දැනුමෙන් සන්නද්ධ, ඡන්දපොළේදී පැන්සල භාවිත කළ යුතු බව සිතන සේනාංකයක් අපි ගොඩනඟනවා.
පළාත් සභා මැතිවරණ සියල්ල එකවර පැවැත්වීමට අදාළ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අධ්‍යයනය කරන්න ලැබුණාද?
අපොයි ඔව්. වාක්‍ය දෙකයිනෙ.

පළාත් සභා විසුරුවා හැරීමේ දිනය පාර්ලිමේන්තුව නිශ්චය කරන බව එහි සඳහන්. මේක මැතිවරණ කොමිසමේ බලය උදුරා ගැනීමක්?
පාර්ලිමේන්තුවෙන් ඉදිරිපත් කරන පනත් සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව අදහස් දක්වන්නෙ නැහැ. එහෙම කළොත් ඒක ඉදිරිපත් කළ පක්ෂයට එරෙහිව අදහස් දැක්වීමක් වෙනවනෙ. අපි යම් දේශපාලන පක්ෂයක්, ආණ්ඩුව හෝ විපක්ෂය අගතියට පත්වෙන කරුණු ප්‍රකාශ කරන්නෙ නැහැ. නමුත් ප්‍රසිද්ධියේ අපේ මතය කියලා තියෙනවා. මහජන නියෝජිත ආයතනයක් නිසි ජනතා එකඟතාවක් නැතිව කාලය දීර්ඝ කිරීම ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්මවලට හානියක් බව කියල තියෙනවා. ඒක විතරයි කියන්න තියෙන්නෙ. එහෙම නැතිව මැතිවරණ කොමිසමේ බලය අල්ලනවද කියල අහන විට ඔව්, කියල උත්තරයක් දෙන්න තරම් මැතිවරණ කොමිසම අඳබාල නැහැ.
එහෙනම් මේකට උත්තරයක් දෙන්නකො. ඔබ හිතන්නෙ පළාත් සභාව විසුරුවන දිනය ප්‍රකාශයට පත් කළ යුත්තේ පාර්ලිමේන්තුවද? මැතිවරණ කොමිසමද?

කොමිසම තීරණය කරන්න ඕන නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ කියල තියෙන්නෙ අවුරුදු පහක් ගියාම ඉබේම විසිරෙනව කියලනෙ. විසුරුවා හැරුණම නාම යෝජනා කැඳවීම තමයි කොමිසම කළ යුත්තේ.

ඇයි ඒක පළාත් පාලන මැතිවරණයට අදාළ කරගන්න බැරි වුණේ?

පළාත් පාලන ක්‍ෂේත්‍රයටත් අදාළයි. නිල කාලය අවසන් වීමට පෙර බලය තියෙනවා. නමුත් පාර්ලිමේන්තුව නව පනතක් ගෙනත් ඡන්ද ක්‍රමය වෙනස් කළාම, ඡන්ද ක්‍රමය දන්නෙ නැතිව ඡන්දයක් තියන්නෙ කොහොමද? ඒ නීති පාර්ලිමේන්තුවෙන් පැනෙව්වෙ නැත්නම් ඡන්ද තියන්න බැහැ. ඒක හින්ද තමයි තියන්න බැරි වෙලා තියෙන්නෙ. මැච් එක ගහන්න කලින් කඳන් කැච් ඔට්ටුද, ගස් කැච් ඔට්ටුද කියල තීරණය කළ යුතුයි. මැච් එක ගහන කොට කඳන් කැච් ඔට්ටුයි කියල පිහි පහරවල් ඇන ගන්නවට වැඩිය නීතිය හදාගෙන මැච් එක ගහන එක හොඳයි.

කල් පිරීමට නියමිත ආසන්නතම පළාත් සභා මැතිවරණය පැවැත්වූ දිනට ප්‍රථම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට නොහැකි වුව හොත් මැතිවරණය ප්‍රකාශයට පත් කළ හැකිද?
පනත් සම්මත නොවුණොත් ඔක්තෝබර් 02 ඡන්දය තියනවා. ඔක්තෝබර් 02ට කලින් මේ පනත සම්මත වුණොත් මැතිවරණ කොමිසමට කළ හැකි දෙයක් නෑ නොවැ.
රටේ මහජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය සුරැකීමේ වගකීම තියෙන්නෙ මැතිවරණ කොමිසමට විතරද?

ගෙදරකට ඇවිත් අපරාධයක් කළොත් අපි සිල් ගන්න උපාසක කියල පොලිසිය ඇවිත් ඒක බේරනකං ඉන්නවද? පොල්ලකින් ගහනව මිසක්. අයිතීන් වෙනුවෙන් උද්ඝෝෂණ කළත් ජනතාවගෙන් කවුද මේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය වෙනුවෙන් කතා කරන්නෙ? පළාත් පාලන මැතිවරණ ප්‍රමාදය ගැන මැතිවරණ දෙපාර්තමේන්තුව දැක්වූ උන්දුවට අමතරව ටී. වී. එකට, පත්තරවලට ප්‍රකාශ දීමට අමතරව මොන දේශපාලන පක්ෂයද ඒ ගැන උනන්දුවෙන් වැඩ කළේ?.

ඔබ හිතන විධියට දේශපාලන පක්ෂ කළ යුතුව තිබුණේ කුමක්ද?

ඒක මට කියන්න බැහැ. මම විපක්ෂයේ ක්‍රියාකාරිකයෙක් හෝ සිවිල් පුරවැසියෙක් වෙලා හිටිය නම් හෝ මම ක්‍රියා කරන හැටි මැතිවරණ කොමිසමේ සභාපති හැටියට උපදෙස් දෙන්න බැහැ. පළාත් පාලන මැතිවරණ කල් යෑම සම්බන්ධයෙන් ආණ්ඩුවත් විපක්ෂයත් සියලුම දේශපාලන පක්ෂත් වග කියන්න ඕනෑ. මේක කල් යන්න පටන් ගත්තෙ අද ඊයේ නොවෙයි 2012 අංක 22 දරන පළාත් පාලන මැතිවරණ පනත සංශෝධනය කළ නිසයි. ඡන්ද එපා කියල ඡන්දෙ දීපු රටවල් හතරක් පහක් විතරයි ලෝකෙ තියෙන්නෙ. ලංකාව ඒකෙන් ප්‍රමුඛ රටක්. 1982දී උතුරු පළාතත් තවත් ප්‍රදේශ කිහිපයකුත් හැරෙන්න ඡන්ද එපා කියලා ඡන්දය දුන්නා. අපේ රටේ ජනතාව ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ උනන්දුව මොකද්ද කියල දන්නෙ නැහැ. ඡන්ද ක්‍රමය ගැන උනන්දුවක් නැහැ. හැබැයි විරුද්ධ පාක්ෂිකයන්ට පහර දෙන්න නම් කැමැතියි.

මැතිවරණයකට තිබෙන සූදානම කෙබඳුද?

මැතිවරණ කොමිෂන් සභාවට ඡන්ද හිමි නාම ලේඛනය සහතික කරන්න මාස 7-10 අතර කාලයක් ගත වෙනවා. මේ වසරේ ඔක්තෝබර් 31 වන විට එය සිදු කිරීමට බලාපොරොත්තු වුණා. ඒත් පසුගිය කාලයේ ඇතිවූ ගංවතුර, නායයෑම් නිසා දෙසැම්බර් 31 සිදු කිරීමට යෝජනා වුණා. ඒත් වසරකට ඡන්ද දායකයන් ලක්ෂ 4ක් විතර අලුතින් එකතු වෙනවා. ඒ නිසා ඔක්තෝබර් 02 නාම යෝජනා කැඳවීමට බලාගෙන අපි නාම යෝජනා සැප්තැම්බර් 30 වනවිට සහතික කරනවා.
කඩිනමින් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සිදු කළොත් පළාත් සභා මැතිවරණය පවත්වන්න සිදුවන්නේ කිනම් කාලයකද?

ලංකාවේ ඡන්ද තියන දවස ගැන දන්න කිසි කෙනෙක් ලංකාවේ තියා මේ විශ්වය තුළවත් නැහැ. ඒක තමයි කියන්න තියෙන්නේ. මේ පනතේ හැටියට ඡන්ද විමසීමක් කැඳවීමට හැකි වන්නේ 2019 ඔක්තෝබර්වලයි. ඒ අවසන් වරට ඡන්දය පැවැත්වූ උෟව පළාත් සභාවේ කල් අවසන් වනතුරුයි. ජනතා පරමාධිපත්‍යය පාර්ලිමේන්තුවට දී තිබෙනවා නම්,

ශේ‍ර්ෂ්ඨාධිකරණය තීන්දු කරනවා නම් මැතිවරණ කොමිසමට වෙනත් මොකුත් කරන්න බැහැ.
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ කටයුතු සියල්ල සිදුකොට ඇති බව පළාත් පාලන මැතිවරණය සඳහන් කොට තිබෙනවා. එම මැතිවරණය පැවැත්වීමට මේ මොහොතේ තිබෙන බාධාව කුමක්ද?

පාර්ලිමේන්තුවෙන් ඊට අදාළ නීතිය සම්මත කර ගත යුතුයි. නීති සම්මත වනතුරු අපට ඡන්ද පවත්වන්න බැහැ. ඊළඟට සභික සංඛ්‍යාව ගැසට් කිරීම ඔක්තෝබර් 02ට කල් දමා තිබෙනවා. නීති පැනවීමේ බලය මැතිවරණ කොමිසමට නැහැ. මැතිවරණ කොමිසමටත්, අපේ පරම්පරාවට බැන්නට වැඩක් නැහැ. නීති සම්මත කරන්නේ නැතිව මට ඡන්දය පවත්වන්න බැහැ.

ලියාපදිංචිය සඳහා නව දේශපාලන පක්ෂ 92ක් ඉල්ලුම් කොට ඇතත් පිළිගෙන තිබෙන්නේ 6ක් පමණයි. නව දේශපාලන පක්ෂ පිළිගැනීමට මැතිවරණ කොමිසම විරුද්ධව කටයුතු කළ බවට එම
පක්ෂවලින් චෝදනාවක් නැඟෙනවා?

මැතිවරණ කොමිෂන් සභාවට 1980 අංක 1 දරන පනතෙන් මඟපෙන්වීම් දී තිබෙනවා. දේශපාලන පක්ෂයක් අවුරුදු 4ක් ක්‍රියාකාරීවීම, විගණනය කරන ලද ගිණුම් වාර්තාවක් තිබීම ආදී කරුණු රැසක් සම්පූර්ණ වී තිබිය යුතුයි. රැකියාවට සුදුසුකම් නැතිව ඉල්ලුම් කළාම සම්මුඛ පරීක්ෂණවලටත් කැඳවන්නෙ නැහැ. ඒත් අඩු ගාණේ අපි සියලු පක්ෂ සම්මුඛ
පරීක්ෂණවලට කැඳෙව්වා.

දැනටත් ලියාපදිංචිය සඳහා දේශපාලන
පක්ෂවලින් ඉල්ලීම් කෙරෙනවද?

එනව ඇති ඉතිං. ඒ ඕනෑම එකකට උත්තර යවනවා.
මන්ත්‍රිවරුන් වත්කම් හෙළි නොකිරීමට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීම විහිළුවක් බවට පත්වී ඇති බව කියැවෙනවා නේද?
කොහේද විහිළුවක් වෙලා තියෙන්නේ.

දැනට පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රිවරුන් වත්කම් ප්‍රකාශ දී තිබෙනවාද?

දීල තිබෙනවා.

මන්ත්‍රිවරුන්ගේ ද්විත්ව පුරවැසි බව සම්බන්ධව ගැටලු මතුවී තිබෙනවා. මේකට මැතිවරණ කොමිසමට මැදිහත්විය නොහැකිද?
ඇයි කොමිසම මැදිහත් වෙන්නෙ. ද්විත්ව පුරවැසි බව සොයා බලන්න තේරීම් භාර නිලධාරි හෝ මැතිවරණ කොමිසම අධිකරණයක් නොවෙයි. පරීක්ෂණ කරන්න බලයක් තේරීම් භාර නිලධාරිට නැහැ. නාම යෝජනා ප්‍රතික්ෂේප කළ හැක්කේ සීමිත හේතු කිහිපයක් මත පමණයි. පැයක් ඇතුළත මේ කරුණු විභාග කරන්න බැහැ. ඔය ද්විත්ව පුරවැසි බව පිළිබඳ තිබෙන නඩුවට අදාළ පැමිණිල්ලක් ඒ වෙලාවේ ඇවිත් නැහැ. විරෝධතාවක් ආවත් කරන්න දෙයක් නැහැ.
විද්‍යුත් ඡන්ද ක්‍රමයක් හඳුන්වා දෙන බව කාලයක සිට ප්‍රකාශ වුණා. මොකද්ද ඒකට වෙලා තියෙන්නෙ?

මොන දෙයක් කරන්න වුණත් ඡන්දයක් පවත්වන්න එපායැ. පැන්සලෙන් ලකුණු කරන එකත් කල් දමා තියෙන රටේ මොන විද්‍යුත් ඡන්ද ක්‍රමයක්ද? බුලත් පයියට හෙණ ගැහුවම කිල්ලෝටෙ හුනු ගැන හොයල වැඩක් නැහැ. අපේ ගමේ නම් ඕකට යස උත්තරයක් දෙන්න තිබුණා. පත්තරේ හින්ද කියන්න බැහැ.
විදේශගත ශ්‍රී ලාංකික පුරවැසියන්ට ඡන්ද අයිතිය දීම ගැන සිදුවූ කතාබහේ ප්‍රගතිය කෙබඳුද?
පුරවැසි බව තිබෙන ශ්‍රී ලාංකිකයන්ට වුවත් ඡන්දහිමි නාම ලේඛනයේ නම තියෙන්න ඕනෑ. දැනට නම් නීතිය අනුව ඡන්ද හිමියා ඡන්දය දමන්න ඡන්ද පොළට යා යුතුයි. විදේශගතව ඉන්න ශ්‍රී ලාංකිකයන්ට ඡන්දය දිය හැකිද පිළිබඳ සොයා බැලීමට පාර්ලිමේන්තුවෙන් තේරීම් කාරක සභාවක් පත් කරල තියෙනවා. සියලු ඡන්ද හිමියන්ට ඡන්දය දීම සඳහා ඉඩ ප්‍රස්තාව දිය යුතුයි කියන ප්‍රතිපත්තිමය කාරණයට මැතිවරණ කොමිසම එකඟ වී තිබෙනවා. අපේ යෝජනා අපි තේරීම් කාරක සභාවට භාර දුන්නා. එකක් තමයි ලංකාවට ඇවිත් ඡන්දය ප්‍රකාශ කිරීම, තානාපති කාර්යාලයට ගිහින් ඡන්දය දීම, නියෝජිතයකු මඟින්, ෆැක්ස් මඟින්, අන්තර්ජාලය, තැපෑලෙන් සහ ප්‍රතියුක්තිකයකු මඟින් ඡන්දය දීම එම යෝජනා වනවා. ඒත් ප්‍රතියුක්තිකයකු මඟින්, අන්තර්ජාලය මඟින්, ෆැක්ස්වලින් ඡන්දය දීම විශ්වාස කටයුතු දෙයක් නොවෙයි. වඩාත් පහසුම එක තානාපති කාර්යාලවලට ගොස් ඡන්දය දීමයි. හැබැයි තානාපති කාර්යාලයට යෑමට පුළුවන්ද, තානාපති නිලධාරීන් ස්වාධීනද ආදී ප්‍රශ්න තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය නීති හැදීම නීති සම්පාදනය කරන අයගේ වැඩක්.

මැතිවරණ පවත්වන පෙ.ව. 7 _ ප.ව. 4 වෙලාව වෙනස් කිරීමට තීරණය කර තිබේද?

ඡන්දෙ නැත්නම් වෙලාව දිගු කළත් අඩු කළත් මොකටද අපට ඡන්දයක් නැත්නම්, ඡන්ද දීම කාලය අඩු කරන්න අපි කැමැතියි. හැබැයි 7 ඉඳල ඡන්දය භාවිත කරන විට පුද්ගලයකුට රැකියාවකට යන්න වුණත් කාලය තියෙනවා. ඒත් දැන් වැඩියෙන් කාන්තා නිලධාරීන් වැඩි නිසා උදේ 7ට ඡන්දපොළට ඒමේ අවස්ථාව ඔවුන්ට තියෙනවා. ඡන්දපොළේදීම ගණනය කරනවා නම් සවස 3ට අවසන් කරන්න පුළුවන්ද කියලත් සොයා බලනවා.

මැතිවරණ කාලෙදි රාජ්‍ය මාධ්‍යවලට, දේශපාලන පක්ෂවලට දෙන නියෝග නොපිළිගන්නා බවට සමාජයේ අදහසක් තියෙනවා?

පෝස්ටර්, බැනර්, කටවුට් ක්‍රමයෙන් අපි ඉවත් කරනවා. ඒවා ක්‍රමයෙන් අඩු කරමින් යනවා. දේශපාලන පක්ෂ විතරද වැරැදි කරන්නෙ. ඒ ගොල්ලන්ට සහාය දක්වන්නෙ මහජනතාව නොවේද? දේශපාලනඥයන්ගෙ පවුලෙ අය ගිහින්ද පෝස්ටර් ගහන්නෙ. නීති කැඩීමට දේශපාලනඥයා මෙන්ම මහජනයාත් වග කියන්න ඕනෑ. ඒ කාලෙට දැන්වීම් අරගෙන වැඩියෙන් ප්‍රචාරය කරන එක මධ්‍යයත් වග කියන්න ඕනෑ. නිලධාරීන් ඇතුළු සියලු දෙනා වගකියන්න ඕනෑ. ඒක වෙනස් කරගන්න හැමෝම වගකියන්න ඕනෑ.

මැතිවරණ අපේක්ෂයන්ගේ වියදම් සීමා කිරීමට ඉදිරිපත් වූ යෝජනාවට මොකද වී තිබෙන්නෙ?

අල්ලස් කොමිසමේදීත් මේ ගැන සාකච්ඡා කළා. දේශපාලන පක්ෂත් සාකච්ඡා කළා. ජනාධිපතිතුමා, කතානායක ඇතුළු පිරිසක් ඒවට සහභාගි වුණා. අඩුම ගානෙ මැතිවරණ වියදම් පාලනයට පෙර මැතිවරණ වියදම් වාර්තා ලබා ගැනීම පිළිබඳව නීති සකස් කරන්න, සකස් කිරීමට ඉල්ලීම් සිදුවී තිබෙනවා. අපි ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරන ලෙස අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා තිබෙනවා. මේ සම්බන්ධයෙන් රටේ මොකක්වත් කතාබහක් ඇතිවන්නේ නැහැ. අඩුම ගානේ හරක් මැරීමට, බල්ලන් මැරීමට විරුද්ධව තිබෙන උනන්දුව තරම්වත් උනන්දුවක් මැතිවරණවලදී සිදුවන වියදම් සම්බන්ධයෙන් නැහැ. මේ සම්බන්ධයෙන් ජනමතයක් ඇති කරන්න පුළුවන්. ආයතන සහ පුද්ගලයන් ඒක කරන්නෙ නැත්නම් වැඩක් නැහැ. අපි ලංකාව පුරාම ගිහින් ඔය ගැන කතා කරන විට ඡන්ද නැත්නම් ඕව මොනවටද කියල මිනිස්සු අහනවා. අපි මොනවද එතැනින් එහාට කතා කරන්නෙ. සූරිය මල් ව්‍යාපාරාය ඇරැඹුණේ ඩොරින් යං පත්තරයට ලියූ ලිපියකින්. මේ ලිපියවත් ඒ සඳහා දැනුවත් කිරීමක් වෙයි කියල අපි විශ්වාස කරනවා. රටක සර්වජන ඡන්ද බලය, ප්‍රජාතන්ත්‍රවාදය, ජනතා පරමාධිපත්‍යය, නීතියේ ආධිපත්‍ය සුරැකීම සඳහා සක්‍රිය දායකත්වයක් නොදක්වන කිසි කෙනෙක් රටේ සැබෑ පුරවැසියෙක් නොවෙයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon