දරූ බර කඳුළක් නොවෙයි පුතේ නුඹ මගෙ ප්‍රාණයයි

  👤  3402 readers have read this article !
By mawbima 2017-08-13

ශ්‍රී ලංකාවේ වැඩිම බරින් යුත් දරු උපත පසුගිය 08දා දහවල් බළපිටිය මූලික රෝහලේදී සිදුවිය. මෙය පිරිමි දරු උපතකි. මෙසේ උපත ලද දරුවාගේ බර කිලෝග්‍රෑම් 5යි ග්‍රෑම් 980ක් විය. සාමාන්‍යයෙන් දරු උපත් බර සඳහන් කරනු ලබන්නේ රාත්තල්වලිනි. ඒ අනුව මෙම බිලි¼දාගේ බර රාත්තල් 13.1ක් විය. බිලි¼දා සහ බිලි¼දාගේ මව ඉතා හොඳ ශරීර සෞඛ්‍යයෙන් යුතුව සිටින බව බළපිටිය මූලික රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය කපිල විතානාච්චි සඳහන් කළේය.

මෙම දරු උපත සිදුකර ඇත්තේ සිසේරියන් සැත්කමක් මඟිනි. සිසේරියන් සැත්කම, විශේෂඥ වෛද්‍ය කපිල විතානාච්චි, වෛද්‍ය දමිත නලින් ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් විසින් සිදුකර තිබේ. සාමාන්‍ය නිරෝගී දරු උපතක, උපත් බර රාත්තල් 3.2ත් 5.5ත් අතර වේ. රාත්තල් 5ට වඩා වැඩි බර දරු උපත් සිදු වන්නේ කලාතුරකිනි. රාත්තල් 5ට වඩා වැඩි දරු උපතක් සිදු වුවත් ඒවා බොහෝ විට රාත්තල් 7.5ට වඩා අඩු ඒවාය. ශ්‍රී ලංකාවේ විශාල වශයෙන් අඩුබර දරු උපත්ද සිදුවේ. අඩුබර දරු උපතක් ලෙස හඳුන්වන්නේ රාත්තල් 3.2ට වඩා අඩුබර දරු උපත්ය.

සිසේරියන් සැත්කම සිදුකිරීමෙන් පසුව ශ්‍රී ලංකාවේ සහ ලෝකයේ වැඩිබර දරු උපත් සම්බන්ධයෙන්ද විශේෂඥ වෛද්‍ය කපිල විතානාච්චි විසින් කරුණු සොයා බලා තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ රාත්තල් 13කට වඩා වැඩි දරු උපතක් මෙතෙක් සිදුව නොමැති බව ඔහු විසින් තහවුරු කරගෙන තිබේ. ලෝකයේ රාත්තල් 13.1ට වඩා වැඩි දරු උපත් 03ක් සිදුව තිබෙන බවත් එයින් රාත්තල් 15කින් යුත් දරු උපතක් වාර්තා වන බවත් විශේෂඥ වෛද්‍ය කපිල විතානාච්චි පැවසුවේය. ඒ අනුව මෙම දරු උපත ලෝකයේ සිවුවැනි වැඩි බර දරු උපත බව පැවසූ ඔහු මෙය ශ්‍රී ලංකාවේ වැඩිම බර දරු උපත බවද ප්‍රකාශ කළේය.

මෙම බිලි¼දාගේ මව හොරවල, හඹුරුගල ලිපිනයේ පදිංචි නදීෂා නිල්මිණිය. 28 හැවිරිදි ඇයගේ පළමු දරු උපත මෙයයි. "මෙතරම් බර දරුවෙක් මට ලැබෙන්න ඉන්නවා කියලා මම හිතුවේ නැහැ. ඒ වගේම මගේ දරුවා ලංකාවේ බර වැඩියෙන්ම ඉපදුණු දරුවා බවත් මම දැනගෙන හිටියේ නැහැ." ඇය කියන්නීය.

"මම දරුවා ලැබෙන්න බළපිටිය රෝහලට ආවේ දැඩි විශ්වාසයකින්. මගේ ඒ බලාපොරොත්තුව ඉටුවුණා. මට දැන් හරි සතුටුයි" නදීෂා අප සමඟ පැවසුවේ සතුටු කඳුළු වගුරුවමින්ය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ බළපිටිය මූලික රෝහලේ ප්‍රසව හා නාරිරෝග විශේෂඥ වෛද්‍ය කපිල විතානාච්චි
"මේ අම්මා අපේ වෛද්‍ය සායනයට නොවරදවාම පැමිණියා. අපි මුල ඉඳන්ම දැන සිටියා මේ දරුවාගේ බර ටිකක් වැඩියි කියලා. නමුත් මේ තරම් බර වැඩිවේවි යැයි අපි මුලදී විශ්වාස කළේ නැහැ. ඒත් සති ගණන් පිරෙද්දී අපිට එය හොඳින් තේරුණා. දරුවාට මාස 07ක් පිරෙද්දී අපි නිශ්චිතවම තීන්දු කළා දරුවා අසාමාන්‍ය ලෙස බරින් වැඩි බව. ඒ නිසා අපි අම්මාත් දරුවාත් පිළිබඳව වැඩි සැලකිල්ලක් දැක්වූවා. ඒ නිසාම දරුවාට සති 38ක් පිරෙද්දී සිසේරියන් සැත්කමකින් අපි දරුවා එළියට ගන්න තීන්දු කළා. ඒ සියලු කාරණා මේ වනවිට ඉතාම සාර්ථක වෙලා තිබෙනවා. එය මටත් හොඳ අත්දැකීමක්. මමත් සමඟ එයට සම්බන්ධ වූ වෛද්‍ය කාර්ය මණ්ඩලයත් මෙයින් සතුටක් ලබනවා. වෛද්‍ය දමිත නලින්ටත් මේ කාර්යයේදී කෘතවේදී විය යුතුයි. ඔහු විශේෂ කාර්යභාරයක් ඉටු කළා.

ලෝකයේ හා ලංකාවේ දරු උපත් බර සම්බන්ධයෙනුත් මම සොයා බැලුවා. මෙය ලංකාවේ වැඩිම බර දරු උපතයි. ඒ අනුව බළපිටිය රෝහල ඉතිහාසයට එකතු වෙනවා. දරුවාත් අම්මාත් හොඳ නිරෝගී තත්ත්වයෙන් ඉන්නවා. සැත්කම සාර්ථකයි. ඒ ගැන අපිට පුදුම සතුටක් තිබෙන්නේ." කපිල විතානාච්චි ඉතා හැඟුම්බරව ප්‍රකාශ කළේය.
ඕනෑම කාර්යයක් සාර්ථක වූ විට එය කළ පුද්ගලයා ලබන සතුට අපි වෛද්‍ය විතානාච්චිගෙන්ද දුටුවෙමු. නමුත් මෙය ජීවිතත් සමඟ කරන ගනුදෙනුවක් නිසා මෙම වෛද්‍ය කණ්ඩායමට ජාතියේ ගෞරවයද හිමිවිය යුතුය.

බළපිටිය _ දම්සරී ලියනගේ, අහුන්ගල්ල _ ඒ. සිවනෙත්ති

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්