113 හදලා අය වැය පරාජය කළාම ආණ්ඩුව ඉවරයි

  👤  3412 readers have read this article !
By mawbima 2017-08-13

කොහොමද මන්ත්‍රිතුමා?

හොඳින් ඉන්නවා.

හොඳින් කොහේද? ඇයි විශ්වාසභංගයට දැඟලුවේ?
ඒක සිද්ධ වෙනවා. අපි විශ්වාසභංගය භාරදීලත් ඉවරයි.

කී දෙනෙක් අස්සන් කළාද?

35ක්.

ඒ ගාණ ඇතිද?

ඇති. විශ්වාසභංගය භාර දෙන්න මන්ත්‍රිවරු 20ක් අස්සන් කළත් ඇති. විශ්වාසභංගය විභාගයට අරගෙන ඡන්ද විමසීමේදී තමයි බහුතරය ඕනෑ.

බැඳුම්කර වංචාවේ සුලමුල සොයන කොට හිටපු මුදල් ඇමැති විතරද හසුවුණේ. කෝ අනෙක් අය ගැන කතා?

මේ වංචාවේදී රවි කරුණානායකට විතරක් දෝෂාරෝපණය කරන්න බැහැ. අගමැතිතුමයි, මලික් සමරවික්‍රමයි, තව අයයි ගොඩක් ඉන්නවා. මේ අයටත් ඉදිරියේදී විශ්වාසභංග ගේනවා.

ඒකාබද්ධ විපක්ෂයට වෙන ගැලවීමක් නැතිද? බැඳුම්කරයෙන් ගොඩ යන්නයි හදන්නේ?

අපෝ නැහැ. අපි මේ ආණ්ඩුවේ වැරැදි හැමදේම විවේචනය කරනවා.

ඔබතුමාලගේ කාලයේ හොරකම් වහගන්න දැන් බැඳුම්කරය උපරිම පාවිච්චි කරනවා?

නැහැ. අපි පුළුල් දේශපාලන අරමුණක් ඔස්සේ ගමන් කරන කණ්ඩායමක්. අපි එක්ක පක්ෂ සහ සිවිල් සංවිධාන ගණනාවක් තියෙනවා. මේ එකතුව එක්ක අපි මේ ආණ්ඩුවේ දූෂණ වංචා විතරක් නෙවෙයි ආණ්ඩුවේ වැරැදි තීන්දු තීරණ ගැනත් විවේචනය කරනවා. බැඳුම්කරයේ විතරක් එල්ලිලා අපි දේශපාලනය කරන්නේ නැහැ.

රටට පේන්නේ එහෙමනේ?

අපේ දේශපාලන ගමනේදී බැඳුම්කරය කියන්නේ පසුකළ එක දේශපාලන කඩඉමක් පමණයි. ඒක හරහා අපේ වැරැදි වහගන්න අපි උත්සාහ කරන්නේ නැහැ. මොකද මේ ආණ්ඩුව බලයට එනකොට මොන දේවල් කිව්වද? රාජපක්ෂවරු හොරු කිව්වා. බලයට එනකොට නා නා ප්‍රකාර පොරොන්දු දුන්නා. එහෙම කියලා ජනතාව රැවටුවා. මේ දේවල් ජනතාව හොඳින් තේරුම් අරගෙන. රටක් හැටියට අපි පෙරට යන්නේ කොහොමද? යන විශාල සන්දර්භයට ගෙන යෑම අපේ අරමුණයි. ඒකාබද්ධ විපක්ෂය ලෙසට අපි මේ රට ඉදිරියට ගෙනයෑම සහ මේ ඊනියා යහපාලන ආණ්ඩුව බිඳවට්ටලා රට ගොඩනඟන ඉදිරි ප්‍රතිපත්ති මාලාවක් සැකසීම අපේ අරමුණයි. අපි රට හමුවේ කියන්නේ ඒකයි.
මේ ආණ්ඩුව පෙරළන්න හදන්නේ උපක්‍රමශීලීව කියලයි ඔබතුමන්ලා කියන්නේ. ඒක කොහොමද කරන්නේ?

අපේ පරමාර්ථ සහ අරමුණු ගණනාවක්ම තියෙනවා. එතැනදි ආණ්ඩු පෙරළිය හැකි ක්‍රම ගණනාවක්ම තියෙනවා. අපි වැඩිපුරම උත්සාහ කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදීව මේ වැඩේ කරන්න.

113 හැදුවට කොහොමද කරන්නේ?

ජනාධිපතිතුමානේ එහෙම කියන්නේ. 113 හදලා අයවැය පරාජය කළොත් මේ ආණ්ඩුවට ඉදිරි ගමනක් නැහැ. අයවැය පරාජය වුණාම ආණ්ඩුව ඉවරයි. 113 හැදුවට ආණ්ඩුවක් හදන්න ජනාධිපතිතුමා කැමැති වෙන්න ඕන කියනවා. ඒ එතුමා ශ්‍රී ලනිප ජනතාවට කියන පණිවුඩය. එයා එක්කම ඉන්න කියන එක.

ආණ්ඩුව හොඳ නැත්නම් පෙරළන්න ඕන ඡන්දයකින්. ඇයි මේ කුමන්ත්‍රණ. මේ තියෙන්නේ ජනතාවාදී ආණ්ඩුවක්?

මේ ආණ්ඩුව ජනතාවාදී එකක් නෙවෙයි. ආණ්ඩුවට වසර දෙකහමාරක් ගිහින්. ජනතා අප්‍රසාදයට වැඩියෙන්ම පත්වුණේ මේ අය. ඒක වාර්තාවක්. ආණ්ඩුවක වසර දෙකහමාරක පාලන කාලය කියන්නේ සියයට පනහක් ගිහින්. මේ පාලන කාලය තුළ මොනතරම් ආණ්ඩුව අප්‍රසාදයට පත් වෙලාද කියා ජන සමාජයට බැස්සම අපට තේරෙනවා. පළමු වසර දෙකහමාර තමයි රාජ්‍යයක හොඳම කාලය. මධුසමය. වැඩක් කරන්න පුළුවන් කාලය. ඊළඟ අවුරුදු දෙකහමාර කියන්නේ ආණ්ඩුවක් අප්‍රසාදයට පත්වන කාලය. ජනප්‍රිය වෙන්න ඕන කාලයේ අප්‍රසාදයට ලක්වුණු මේ ආණ්ඩුවට මින් ඉදිරියට පැවැත්මක් නැහැ. ඉතින් එහෙම ආණ්ඩුවකට ඉදිරියට යන්න දෙන එක රටට මෙන්ම ජාතියටත් හානියක්.

වසර දෙකහමාරකින් ආණ්ඩුව අප්‍රසාදයට පත් වුණේ ඇයි? කොහොමද එහෙම කියන්නේ?

වෙනස් පරමාර්ථ අරමුණු සහ ප්‍රතිපත්ති ඔස්සේ දේශපාලන ධාරාවන් ගණනාවක් එක තැනකට ගෙනත් ප්‍රතිපත්තියක්් වැඩපිළිවෙළක් නැතිව යන ගමන අසාර්ථක වෙලා. මේ නිසා ආණ්ඩුව ඇතුළේම ප්‍රශ්න ගොඩගැහිලා. ආර්ථික, සමාජයීය, සංස්කෘතික වශයෙන් ආණ්ඩුව පිරිහිලා. ඒක අද සමාජගත වෙලා. ඒකයි ඇත්ත.

මේ ආණ්ඩුව වැඩක් කරලම නැද්ද එතකොට?

මේ ආණ්ඩුව දූෂණය, වංචාව, හොරකම නැවැත්තුවා. ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කළා. සහජීවනය, නීතිය,සාමය ප්‍රතිෂ්ඨාපනය කිරීම වැනි දේ කළා. එහෙම තමයි ජනාධිපතිතුමයි, අගමැතිතුමයි තොරතෝංචියක් නැතිව කියන්නේ. හැබැයි මේ කරුණු එකින් එක ගෙන විග්‍රහ කරලා බලන කොට අද ප්‍රකාශ කරනවා සහජීවනය ගැන. නමුත් මට හිතෙන්නේ සහජීවනය කියන්නේ නිවටකමට කියන තව අර්ථකථනයක්ද කියන එක. උතුරේ නැවත ප්‍රචණ්ඩත්වය හිස ඔසවමින් තියෙනවා. ඒ සාධක භූමිය තුළ පැතිරෙනවා.

ඔබ කියන්නේ ආවා ගෘෘප් එක ගැනද?

ඔව්.

එහෙත්, ආවා ගෘෘප් එකට සමාන කණ්ඩායම් 2009 සිට ලංකාවට එනවා. ඒ ගැන ඔබතුමන්ලාගේ කාලයේ ඉස්මතු වුණේ නැහැ. දැන් ඉස්මතු වෙනවා. ඒකයි ඇත්ත.
මේ අය සහජීවනය ඇති කරනවා කියා ගොඩක් දේවල් කළා. ගොඩක් දේවල් කිව්වා. වසර 30ක් පැවැති යුද්ධය යළි හිස ඔසවන්න හදනවා කියලා මේ නායකයන්ට අපි දිගටම කිව්වා. නමුත් මේ කිසිම නායකයෙක් ඒක පිළිගත්තේ නැහැ. අපිට ජාතිවාදීන් කියලා ලේබලය ගැහුවා. උතුරේ ආරක්ෂක විධිවිධාන ලිහිල් කළා. හමුදා කඳවුරු ප්‍රමාණය අඩු කළා. භූමිය අඩු කළා. ආරක්ෂක භට පිරිස් කඳවුරුවලට සීමා කළා. පසුගිය සතියේ ගැසට් එකක් ගෙනත් ආරක්ෂක අංශ කඳවුරුවලට ගොනුවිය යුතුයි කිව්වා. මේ නිසා ආරක්ෂාව ලිහිල් වුණා. ඒ නිසා ආවා නමින් කණ්ඩායම ඉස්මතු වුණා. 2009 ඉඳන් මේ අය ආවා ගියා තමයි. නමුත් 2015 ජනවාරි වෙනකම් ත්‍රස්තවාදය ඉස්මතු වුණේ නැහැ. රට තුළ බොහොම නිස්කලංක පරිසරයකුයි නිර්මාණය වුණේ. වත්මන් පාලනය සමඟ ඒ පරිසරය බිඳ වැටිලා. ඒ තත්ත්වය තුළ පොලිස්පතිවරයාත් පිළිගත්තා ආවා කණ්ඩායම තුළ ක්‍රියාත්මක වන්නේ පුනරුත්ථාපනය නොවූ ත්‍රස්තවාදීන් කියලා. ඔහු කිව්වා දැන් ක්‍රියාත්මක වන්නේ 83 වගේ එල්ටීටීඊය බිහිවීමේ මූලික ලක්ෂණයි කියා. ත්‍රස්තවාදයේ අඳුරු සෙවණැලි තියෙනවා කියා.

ආවා කල්ලියේ නායකයා අත්අඩංගුවට ගෙන නීතිය හා සාමය ස්ථාපිත කිරීමට ආණ්ඩුවට හැකිවෙලා තියෙනවා?

ඒක හරි. නමුත් ඊයේ වෙනකොට රජයේ ප්‍රබල ඇමැතිවරයකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් නීති විරෝධී මත්ද්‍රව්‍ය සහ ආයුධ සමඟ පොලිසියට හසු වෙනවා. ඒ ටික හසුවුණාට පස්සේ විශේෂ කාර්ය බළකාය මේ සියල්ලම ලැයිස්තු කර ගිණුම් ගතකොට ඒවා පොලිසියට භාර දෙනවා. සැකකරුවන් පොලිස් ඇප මත මුදා හරිනවා. ලේකම්වරයා නි‍ෙදාස් කොට නිදහස් කරනවා. මේකද මේ රටේ නීතිය. නමුත් අගමැතියි, ජනාධිපතියි රට හමුවේ කියන්නේ හොරකම, දූෂණය, වංචාව නැති කළා කියා. අද ලංකා ඉතිහාසයේ මහ දවල් මහ බැංකුව කොල්ලකනවා. ආසියාවේ පළමු වතාවට තමයි මහ බැංකුව කොල්ලකෑවේ. ඒකට ආණ්ඩුවේ මුදල් ඇමැති චූදිතයෙක් වෙලා.
දැන් ඒ වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට සූදානම් නේ?

තවම නැහැ. විශ්වාසභංගය භාරගන්නත් අදි මදි කළා. එක එක කතා කියනවා. ජනාධිපති කොමිසමට මේකට නඩු දාන්න බැහැ. නීතිපතිවරයායි නඩු දාන්න ඕනෑ. එනිසා බැඳුම්කර වංචාවට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන තුරු අපි මේ සටන අතඅරින්නේ නැහැ. ජනාධිපතිතුමා, අගමැතිතුමා ඉඳන් මේකට වගකියන්න ඕනෑ. මේ ආණ්ඩුව තව දෙයක් කරනවා. හම්බන්තොට වරාය චීනයට බදු දීලා හරි විකුණලා හරි මහ විශාල මූල්‍ය වංචාවක් රටට වෙලා තියෙනවා. ඒකටත් අපි විශ්වාසභංගයක් ගෙන එනවා.

රවි කරුණානායක මහත්තයා ඉල්ලලා අස්වුණාට පස්සේ ඔය කරුණු කාරණා ඔහොමම යට යයි නේද?

නැහැ. අපි එහෙම කරන්නේ නැහැ. රවි කරුණානායකට දැන් චෝදනා එල්ල වෙලා. මේ දැවැන්ත හොරකම කරපු රවිට ඇමැතිකමින් අයින් වෙලා පසුපෙළ ඉඳලා ටික කලෙකින් ආයි ඇමැතිකම් කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ. එයා කරපු මූල්‍ය වංචාවට ඇමැති තනතුර පමණක් අහෝසි කිරීම කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ. එනිසා නීතිය ඉදිරියට ගිහින් උපරිම දඬුවම් දිය යුතුයි.

ඔබතුමන්ලාගේ කාලයෙත් චෝදනා එල්ල වූ අයට අල්ලස් එකට එන්න කියනකොට නයි කෑවා? මේකෙදිත් නයි කයිද දන්නේ නැහැ?

මෙතැනදී මහින්ද මහත්තයාගේ කාලයේ සිදු වෙන්නේ නැහැ. එහෙමයි කට්ටිය කියන්නේ. මේ ආණ්ඩුව පත්වුණේ ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රතිමූර්තියක් හැටියට. එහෙම ආණ්ඩුවක් දින 100 යන්න ඉස්සර මහා භාණ්ඩාගාරය හොරකම් කරනවා. ඒ වෙනුවෙන් මුලින්ම කළුගම්පිටිය කමිටු වාර්තාව එනවා. ඒ වාර්තාව වහනවා. පස්සේ මේක කෝප් එකට එනවා. කෝප් එක පැහැදිලි වාර්තාවක් දුන්නා. ඒ වාර්තාව පාර්ලිමේන්තු ඒම වළක්වන්න රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ උසාවි තහනම් නියෝගයක් ගත්තා. ජනාධිපතිවරයා ආණ්ඩුව බේරගන්න කියලා ආණ්ඩුව විසිරෙව්වා. මේ අය බැඳුම්කර වංචාව වැහුවේ එහෙමයි. නැවත කෝප් කමිටුවට ඉදිරිපත් කළා ඒ වාර්තාව ජනාධිපතිවරයාට. එතුමා ඒ සඳහා කොමිසමක් පත් කරනවා මාස 03න් විසඳන්න. දැන් මාස 6ක් වෙලා. ඊට පස්සේ ඒක 9 වුණා. 9 කොච්චර දික්වෙයිද දන්නේ නැහැ. මේ සිද්ධිය තුළ ආණ්ඩුව හැසිරුණේ එහෙමයි. මේ ගැන සිවිල් සංවිධාන, විපක්ෂය කෙළින් හිටියා. ඒකයි අද බැඳුම්කර තොරතුරු එළියට ආවේ. එහෙම නැත්නම් බැඳුම්කර සිද්ධියේ මේ විදියට තොරතුරු එළියට එන්නේ නැහැ. මහින්ද මහත්තයාගේ කාලයේ, චන්ද්‍රිකා මැතිනියගේ කාලයේ, ජේ. ආර්. මහත්තයාගේ කාලයේ, ප්‍රේමදාස මහත්තයාගේ කාලේ, ඩී. එස්. සහ ඩඩ්ලි මහත්තයාගේ කාලයේ මේ වාගේ මහ බැංකුව හොරකම් කළේ නැහැ. මහින්ද මහත්තයාගේ කාලයේ වුණු දේ හොයන්න නීතිය ක්‍රියාත්මක කරනවනේ. හැබැයි ඒවා ඔප්පු කරන්නත් බැරිවුණා. මේක ඊටත් වඩා භයානක එකක්.

ප්‍රගීත් සම්පත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්