කෝකටත් ස්වීප් කරන්න ගිහින් ක්‍රිකට්වලට ඇදුණු ස්වීප්

  👤  3201 readers have read this article !
By mawbima 2017-08-13

ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායම යනු වර්තමානයේදී ලොව අංක එක ස්ථානයේ ඉන්න ක්‍රිකට් කණ්ඩායමය. එවන් කණ්ඩායමකට එරෙහිව ප්‍රතිවාදීන් සැලසුම් සකස් කිරීමේදී ඔවුන්ට අවාසි සහගත පරිසරයක් ගොඩනැඟීම එක් උපක්‍රමයක් වෙනවා. නමුත් අද සිදුවී ඇත්තේ ශ්‍රී ලංකා පිල යොදාගන්නා කුමන උපක්‍රමය වුවද ප්‍රතිවාදී ඉන්දියාවටද එය වාසි සහගත තත්ත්වයක් බවට හරවා ගැනීමට හැකියාව තිබීමයි.

වෙනදා ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකාවේ තරග පැවැත්වීමේදී දඟපන්දු යැවීම ශ්‍රී ලංකා පිලේ ශක්තිය යැයි සලකා ඊට උචිත වන පරිදි තණතීරු සකස් කළද, ඉන්දීය පිලට එරෙහිව එම සාධකය වලංගු නැත. හේතුව ඔවුන් සතුව වේගපන්දුවටත් දඟ පන්දුවටත් එක ආකාරයෙන්ම දස්කම් දක්වන ක්‍රීඩකයන් සිටින බැවිනි. ඒ අනුව පන්දු යැවීමේ අංශයෙන් ගත්තද පිතිකරණය පැත්තෙන් ගත්තද ශ්‍රී ලංකාවට අපහසු දේ ශ්‍රී ලංකාවේදීම ඔවුන් පහසුවෙන් කර පෙන්වයි. එහි ප්‍රතිඵල දැනටමත් මෙම සංචාරයේදී අත්දැක ඇත. එම නිසා ගොඩ එන්නට බැරි තැන දැන් ශ්‍රී ලංකාවේ බොහෝ පිතිකරුවන් ස්විප් පහරට හා රිවර්ස් ස්විප් පහරට දක්වන කැමැත්ත වැඩි බව පෙනේ. එවිට ප්‍රතිවාදියාද බලන්නෙ කැමැති පහරට පොලඹවා ගනිමින් කඩුල්ල දවා ගැනීමයි. එම තියරිය පසුගිය ටෙස්ට් තරග දෙකේදීම ඉන්දීය පන්දු යවන්නන් හොඳහැටි යොදා ගත්තේය.

හරිහැටි පිත්තට පන්දුව නොගතහොත් ස්විප් පහර හා රිවර්ස් ස්විප් පහර යන දෙකම අවදානම් පහරවල්ය. ඒ අතරිනුත් රිවර්ස් ස්විප් (අඥමඥපඵඥ ඉඹඥඥන) පහර වඩාත් අවදානම්ය. රිවර්ස් ස්විප් පහරට ගොස් සියදිවි (ක්‍රිකට් දිවිය) නසාගත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයෝ බොහෝ ඇත. ඉන් වඩාත්ම කතාබහට ලක්වූ ක්‍රීඩකයා එංගලන්ත කණ්ඩායමේ හිටපු නායක මයික් ගැටිංය. 1987 වසරේ නොවැම්බර් 8 වැනිදා ඉන්දියාවේ ඊඩ්න් ගාඩ්න්හිදී පැවැති ලෝක කුසලාන ක්‍රිකට් අවසාන මහ තරගයේදී ඕස්ට්‍රේලියාවට එරෙහිව ජයගන්නට තිබූ තරගය එංගලන්තය පරාජයට පත්වූයේ මයික් ගැටිංගේ රිවර්ස් ස්විප් පහර නිසාය. එංගලන්තයෙන් පිටත රටකදී ප්‍රථම වරට ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක් පැවැත්වූ එම වසරේදී එංගලන්තය ඕස්ට්‍රේලියාව සමඟ අවසාන මහ තරගය ඉන්දියාවේ පැවැති අතර පළමුව පන්දුවට පහරදී ඕස්ට්‍රේලියාව ලබාගත් ලකුණු 253 හඹාගිය එංගලන්තය එක් අවස්ථාවක කඩුලු 3කට ලකුණු 135ක් ලෙසද සටහන් වුවත් පන්දුවාර 50 අවසානයේ ලකුණු 7කින් පරාජයට පත් විය.

ඊට ප්‍රධානම හේතුව වූයේ දකුණත් පිතිකරු නායක ගැටිං පන්දු 45කින් ලකුණු 41ක් ලබා ගනිමින් බිල් ඇතී සමඟ 3 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 69ක සබඳතාවක් ගොඩනඟා සිටි මොහොතේ අනවශ්‍ය රිවර්ස් ස්විප් පහරකට යෑමයි. එවකට ඕස්ට්‍රේලියානු පිලේ නායකයාව සිටි ඇලන් බෝඩර්ගේ පළමු පන්දු වාරයේ වමත් දඟ පන්දුව පා ඉන්න දෙසින් වැටෙනවාත් සමඟ එංගලන්ත නායක ගැටිං රිවර්ස් ස්විප් පහරකට ගියා. ගැටිංගේ වම් බාහුවේ වැදුණු පන්දුව පසුපසින් ඉහළ නඟිනවාත් සමඟ කඩුලු රකින්නා වූ ගේ‍රග් ඩයර් උඩපන්දුවක් ලෙස අපහසුවෙන් නමුත් රැක ගත්තා. 80 දශකයේ ක්‍රිකට් ක්‍රීඩාවට හඳුන්වාදුන් නැවුම් පහරක් ලෙස යොදාගෙන එංගලන්ත නායකයා වූ ගැටිංගේ එම ක්‍රියාව එදා මාධ්‍ය විසින් 'මෝඩ පහරක්' සේ දැඩි විවේචනයකට ලක් කළා. ඒ මෝඩ පහර නිසා සිදුවුණේ එංගලන්තයට දිනා ගැනීමට තිබූ මංගල ලෝක කුසලාන ක්‍රිකට් කිරුළ අහිමි කිරීමයි. ඒ වරද නිසා සිදුවූ පාඩුව කොතෙක්ද කිවතොත් අද වනතුරුත් එංගලන්තයට ලෝක කුසලාන ක්‍රිකට් කිරුළක් දිනා ගැනීමට හැකියාව ලැබී නැහැ.

එම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගයේදී ඉන්දියාව පරදා එංගලන්තය ජය ගත්තද අවසන් පූර්ව තරගයේදී මයික් ගැටිං එම වරදම කර දැවී ගොස් තිබුණා. වමත් දඟ පන්දු යවන්නකු ඉදිරියේ තවත් වරක් (ඇලන් බෝඩර් ඉදිරියේ) එම වරදම කළ එම එංගලන්ත නායකයා නිසා අවසානයේ එංගලන්තයට ඉතිරි වුණේ අපකීර්තියක් පමණයි. එදා ගැටිං ඉන්දියාවට කරපු දේම මේ දවස්වල අපේ කට්ටිය ඉන්දියාවට කරමින් ඉන්නවා. ඒකෙ ප්‍රතිඵල විදියට පසුගිය ටෙස්ට් තරග දෙකේම නිසි විපාක ලැබුණා.

මතකනේ ටෙස්ට් ශේ්‍රණිගත ලැයිස්තුවේ ලංකාවට පහළින් ඉන්න සිම්බාබ්වේ පිලත් එක්ක ක්‍රීඩා කරපු එකම ටෙස්ට් තරගය බේරගත්තෙ කොහොමද කියලා. අවසානයේ අසේල ගුණරත්න නොසිටින්න ඒකත් පරාදයි. එම තරගයේ දෙවැනි ඉනිමේදී ලංකාව පරාජයෙන් බේරෙන්න දඟලද්දී අසේල වගේම ශ්‍රී ලංකාවට ශක්තියක් වුණේ ලකුණු 81ක් ලබාගත් නිරෝෂන් දික්වැල්ලගේ ඉනිමයි. එහෙත් ඔහු දැවී ගියේ ෂෝන් විලියම්ස්ට් රිවර්ස් ස්විප් පහරක් එල්ල කිරීම නිසයි. ඒ වැරැද්දම පසුගිය ගාල්ල ටෙස්ට් තරගයට නායකත්වය දුන් රංගන හේරත් කළා. වගකීමෙන් ක්‍රීඩා කරලා තරගය බේරගත යුතු නායකයා ඒ මොහොතේ ක්‍රීඩා කළේ ජයග්‍රහණයට තවත් ඉක්මන් ලකුණු කිහිපයක් අවශ්‍ය ලීලාවක් පෙන්නුම් කරමින්. අවසානයේ සිදුවුණේ තරගයත් පරාදයි. හේරත්ගේ ඇඟිල්ලත් තුවාල වෙලා 2 වැනි ඉනිමටත් ලකුණු රැස් කරන්න එන්න බැරිවුණා විතරක් නොවෙයි අනෙක් පැත්තෙ නොදැවී ලකුණු 92ක් අරගෙන හිටපු දිල්රුවන්ට ඔහුගේ පළමු ටෙස්ට් ශතකයටත් යන්න සහායට කෙනෙක් නැතිවීමයි.

ඊට පසුව පසුගිය සතියේ ඓතිහාසික පරාජයත් ඉන්දියාව ඉදිරියේ ලැබූ එස්.එස්.සී 2 වැනි ටෙස්ට් තරගයේදී ඉනිමක පරාජයෙන් බේරීමට ශ්‍රී ලංකා පිල දෙවැනි ඉනිමේදී සටන් කරන වෙලාවෙ ඉනිමේ 73 වැනි පන්දු වාරය යැවූ අෂ්වින්ට මලින්ද පුෂ්පකුමාර ගහපු පහර අමුතු රිවර්ස් එකක්. ඔහුට හුරු අතට හොඳින් පන්දුවට පහර දෙමින් සිටි මලින්ද එල්ල කළේ රිවර්ස් ස්විප් නොවෙයි රිවර්ස් ස්ලෝග් පහරක් විදියටයි විචාරකයෝ හැදින්වූවේ. ඒ විතරක් නොවෙයි ඒ වෙලාවේ සමහර විචාරකයෝ කිව්වේ මොකක්ද එකක බැඳලා කොහාටදෝ දක්කන්න ඕන කියලයි. මේ කීව සියදිවි නසා ගැනීමේ පහරට ගිහිල්ල හිටපු නායක මැතිව්ස්ද දැවී ගිය අවස්ථා මෑතකදී පවා දුටුවා. කරන්නම දෙයක් නැති කමට මේ ස්විප් ගහනවද නැත්නම් කණ්ඩායමම අතු ගෑවිලා යන්න මේ අතුගාන පහර ගහනවද කියලා හිතා ගන්න බැහැ. කොහොම කොහොම හරි ලංකාව මේ අවුරුද්දෙ ක්‍රීඩා කරපු ටෙස්ට් තරග 7න් 5ක්ම පරාදයි. ඒකට ලංකාවට ඇවිල්ලා ගහල ගිය බංග්ලාදේශ පරාජයත් අයත්. ඒ වගේ මේ වසරේ එක්දින තරග 16න් 11ක්ම ලංකාව පරාදයි. මෙහෙම ගියොත් 2019 ලෝක කුසලානයට යන්න කලින් රටේම ක්‍රිකට්වලට ස්වීප් එකක් ඇදේවි.

සිරිනාම රාජපක්ෂ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්