කතරගම අලුයම පූජාව නැවතුණේ ඇයි?

  👤  3272 readers have read this article !
By mawbima 2017-08-23

සොමිපාල කපු මහතා

රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයා වන ඩී.පී. කුමාරගේ මහතා දේවාලයේ යතුර කපු මහතාගෙන් රැගෙන යෑමක් මුල්කරගෙන ඊයේ (22දා) දින දේවාලයේ අලුයම 4.30ට සාම්ප්‍රදායිකව පැවැත්වෙන පූජාව පැවැත්වූයේ නැත.

රුහුණු මහා කතරගම දේවාලයේ කපු මහතුන් හා බස්නායක නිලමේවරයා අතර ඇති වූ අර්බුදයක් උදෑසන පූජාව නොපැවැත්වීමට ප්‍රධාන හේතුවයි.

කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩී.පී. කුමාරගේ මහතා පැවසුවේ, තමන් ඊයේ උදෑසන දේවාලය විවෘත කිරීමට දේවාලයට ගිය අවස්ථාවේදී දේවාලයේ යතුරු තිබුණේ නැහැ. පසුව මම යතුරක් ගෙන දේවාලය විවෘත කරන්න ගියා. ඒ අවස්ථාවේදී ලාල් කියන කපු මහතා පැමිණ ඔයාට තියෙන අයිතිය මොකක්ද දේවාලය අරින්න කියලා බැන්නා. පසුව කපු මහතුන් දේවාලයේ ප්‍රධාන ‍ෙදාරටු වසා තැබුවා. පසුව මම මගේ නිල නිවෙසට ආවා යැයි බස්නායක නිලමේ කුමාරගේ මහතා පැවසීය.
මේ සම්බන්ධව කතරගම දේවාලයේ කපු මහතකු වන ලාල් අරාපක්ෂ මහතා පැවසුවේ, ඊයේ උදෑසන 4.30 පූජාව සඳහා තමා දේවාලය අරින්න සොමිපාල ටී. රත්නායක කපු මහතා සමඟ ආවා. ඒ එනකොට බස්නායක නිලමේ කුමාරගේ මැර පිරිසක් හා ඔහුගේ පුතා පැමිණ බලහත්කාරයෙන් යතුරු පැහැරගෙන ගියා. ඉතිහාසයේ ප්‍රථම වතාවට තමයි කතරගම දේවාලයේ උදෑසන පූජාව පැවැත්වූයේ නැත්තේ. මේක රටට හොඳ නැහැ. බැතිමතුන් ගොඩක් පූජාව තැබීමට ඇවිත් හිටියා. නියමිත පූජාව තැබීමට නොහැකි වීමෙන් ඔවුන් දැඩි පීඩාවකට පත්වුණා. මේ වගේ බස්නායක නිලමේවරයෙක් අපි ජීවිතේට දැකලා නැහැ.

මේ සම්බන්ධ අදහස් දැක්වූ කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතා වන සොමිපාල ටී. රත්නායක මහතා පැවසුවේ, කතරගම දේවාල ඉතිහාසයේ කිසිදු දිනයක නොවූ සිදුවීමක් වුණේ. මගේ තේවා මාසය අදින් අවසන්. අද අද දහවල් 12ට තමයි මම මාසය භාර දෙන්න හිටියේ. නමුත් බස්නායක නිලමේ කුමාරගේ මහතා පිස්තෝල අරන් ඇවිත් බලහත්කාරයෙන් දේවාලයේ යතුර පැහැර ගත්තා. කතරගම දේවාලයේ මාසයක් කපු මහතකුට දෙනකොට සම්ප්‍රදාය තමයි දේවාලයේ යතුර දේවාලයේදී භාර දෙන එක. මේ යතුර දුටුගැමුණු රජුගේ දවසේ සිට පැවත එන වස්තුවක්. ඒක තැන් තැන්වලට අරගෙන යන්න හොඳ නැහැ. නමුත් බස්නායක නිලමේට දෙවියන්ගේ හාල් කැවිලා පිස්සු හැදිලා අපේ අයිතීන් උල්ලංඝනය කරලා දෙවියන්ගේ ශාපයට ලක් වෙලා. මම ජනාධිපතිතුමාගෙන් හා අගමැතිතුමාගෙන් ඉල්ලනවා මේ වැනි නිලමේවරුන් ගැන තීරණයක් ගන්න කියලා. ගමේ පන්සල් එක්ක රණ්ඩු වෙනවා. ගමේ ජනයා එක්ක රණ්ඩුවෙනවා. කපු මහතුන් එක්ක රණ්ඩු වෙනවා. මේවා මඟින් දේව ශාපයට රටම ලක් වෙනවා.

පැමිණ සිටි බැතිමතුන් විශාල ලෙස බැන වදිමින් තමන්ගේ පූජාව තැබීමට නොහැකි වීම සම්බන්ධව දෙස් දෙවොල් තබනු දක්නට ලැබිණි.
ඇතැම් පිරිස් පැවසුවේ බස්නායක නිලමේවරයා සහ කපු මහතුන් අතර අර්බුදයකට බැතිමතුන් පලිහක් කර ගැනීම හොඳ නොවන බවයි. රජයේ නායක ජනාධිපති කතරගම පවතින අර්බුදය පිළිබඳව සොයා බලා තීරණ ගතයුතු බවත් දෙවියන් ගේ පූජාව නොපැවැත්වීම රටට ශාපයක් වන බවත් ඔවුහු පැවැසූහ.

දේවාල පූජාව නොපැවැත්වීම නිසා ගමේ ජනයාද කතරගම දේවාල භූමියට උදෑසන පැමිණ සිටි අතර පසුව උරණ වූ එම ජනතාව හා කපු මහතුන්ගේ පවුලේ පිරිස් විසින් බස්නායක නිලමේ මැඳුරට ගොස් බස්නායක නිලමේවරයාට පහර දීමට තැත් කර යතුර ලබාගෙන කපු මහතුන් දේවාලයේ පූජාව පැවැත්වීමට ක්‍රියා කරනු ලැබීය.
ගම්මුන් පහර දීම නිසා බස්නායක කාර්යාලයේ සේවකයන් දෙදෙනකු ද තිස්සමහාරාම දිසා රෝහලට ඇතුළත් කර තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්