විජයදාස සියලු ඇමැතිකම්වලින් ඉවත් කරන්න රනිල් මෛත්‍රිට කිව්වා

  👤  3114 readers have read this article !
By mawbima 2017-08-23

ත්‍යාගා ශ්‍රී මාලි
බණ්ඩාර

එජා පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල තීරණය අනුව කටයුතු කිරීමට විජයදාස රාජපක්ෂ මහතා අපොහොසත් වී ඇති බැවින් සහ තවදුරටත් රජයේ අමාත්‍යවරුන් හා රජයේ ප්‍රතිපත්ති විවේචනය කරමින් කටයුතු සිදුකරන බැවින් පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණය අනුව එතුමා දරන සියලුම කැබිනට් අමාත්‍ය ධුරවලින් ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එජාප නායකත්වය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාව දැනුවත් කළ බව එජාප මහ ලේකම් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා සඳහන් කරයි.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එජාප මහ ලේකම්වරයා පවසන්නේ 'පසුගිය බ්‍රහස්පතින්දා (17දා) දින පැවැත්වූ එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයාට මෑත කාලයේ දිගින් දිගටම පක්ෂයේත් කැබිනට් මණ්ඩලයේත් සාමූහික වගකීම උල්ලංඝනය කිරීමේ චෝදනාව ඉදිරිපත් වූ අතර එම ප්‍රකාශයන් නිවැරැදි කිරීමට පසුගිය සඳුදා (21දා)ට පෙර කාලය ලබාදිය යුතු බවටත් එසේ නොමැති නම් ඔහු කැබිනට් අමාත්‍ය ධුරයෙන් ඉවත් කළ යුතු බවටත් ඒකමතිකව එකඟතාවකට පැමිණි බවයි.

ඒ අනුව කෘත්‍යාධිකාරී මණ්ඩලය මීට අදාළව පක්ෂයේ සභාපති මලික් සමරවික්‍රම මහතා සමඟ සාකච්ඡා කර එම ප්‍රකාශය නිවැරැදි කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙස විජයදාස රාජපක්ෂ මහතාට දැනුම්දුන් අතර එතුමා ඊට එකඟතාව දැක්විය.
නමුත් පසුව එම එකඟතාවන් කඩ කරමින් එවැනි ප්‍රකාශයක් නිකුත් කිරීමට කටයුතු නොකරමින් සති අන්තයේදී පක්ෂයේ අමාත්‍යවරුන් සහ රජයේ ප්‍රතිපත්ති විවේචනය කරමින් කැබිනට් අමාත්‍යවරයකු ලෙස සාමූහික වගකීම කඩ කරමින් කටයුතු කරනු ලැබීය.

මේ තත්ත්වය මත පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල තීරණය අනුව කටයුතු කිරීමට රාජපක්ෂ මහතා අපොහොසත් වී ඇති බැවින් සහ තවදුරටත් රජයේ අමාත්‍යවරුන්, රජයේ ප්‍රතිපත්ති විවේචනය කරමින් කටයුතු කිරීම හේතුවෙන් ඔහු දරන සියලුම කැබිනට් අමාත්‍ය ධුරවලින් ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට ගනු ලැබූ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණය එජාප නායකත්වය විසින් ජනාධිපතිතුමා වෙත දැනුම්දුන් බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්