ඩෙංගු හැදුණු දරුවාට ශිෂ්‍යත්වය ලියන්න ගුරු දෙවියෙක් පිහිට වෙයි

  👤  3009 readers have read this article !
By mawbima 2017-08-23

නාරම්මල - ඩී.පී. හර්ෂණ

ඩෙංගු රෝගය වැලඳීමෙන් රෝහල්ගතව සිටි ශිෂ්‍යාවකට ශිෂ්‍යත්ව විභාගය ලිවීමට ඇයගේ පන්ති භාර ගුරුවරයාගේ මැදිහත්වීමෙන් අවස්ථාව උදා වූ
පුවතක් පසුගියදා අලව්ව ශ්‍රී රාහුල ජාතික පාසලෙන් වාර්තා විය.

එම පාසලේ 5 ශේ‍ර්ණියේ ඉගෙනුම ලැබූ අමායා නුවන්ති අරලිය පන්තියේ දීප්තිමත් ශිෂ්‍යාවක වූ අතර ශිෂ්‍යත්ව විභාගයට පෙර ඩෙංගු රෝගය වැලඳී වරකාපොළ මූලික රෝහලට ඇතුළත් කොට තිබේ.

ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන දිනයේ උදෑසන වන විටත් ඇය එම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා ඇත. ශිෂ්‍යත්ව විභාගය ගැන මතක් කරමින් විභාගයට පෙනී සිටීමට නොහැකි වීම පිළිබඳව දැඩි කනස්සල්ලෙන් යුතුව පුංචි අමායා රෝහලේ සිටි බව ඇයගේ මව පවසන්නීය.
සිය දියණිය විභාගයට යැවීමට නොහැකිව තමාද දැඩි වේදනාවකින් පසු වූ බව ඇය පැවැසුවාය.

අමායාගේ පන්තිය භාරව සිටි චමින්ද ඉලංගසේකර ගුරු මහතා වහා ක්‍රියාත්මක වී වරකාපොළ මූලික රෝහලට ගොස් රෝහල් බලධාරීන්ගේ නීත්‍යනුකූල අවසරය සහිතව ඇය පැය දෙකකට රෝහලෙන් රැගෙන අලව්ව ශ්‍රී රාහුල ජාතික පාසලට කැඳවාගෙන විත් තිබේ.
විභාගය ආරම්භ වීමට විනාඩි විස්සක් පමණ ඉතිරිව තිබියදී පාසල වෙත පැමිණි පුංචි අමායාට ඒ ගුරු භවතා විභාගයට පෙනී සිටීමට වරම් උදාකර දී ඇත.
එම විදුහලේ විදුහල්පති සංජීව ධර්මසේන මේ පිළිබඳව දැක්වූයේ මෙවන් අදහසකි.

'මේ පුවත දැනගත්තහම ඇත්තටම විදුහල්පතිවරයෙක් විදියට නෙවෙයි පියෙක් විදියට මා හුඟක් සංවේදී වුණා. අපට දරුවන්ගේ මවුපියන්ගේ තරාතිරම අවශ්‍ය නැහැ. වත්පොහොසත්කම් අවශ්‍ය නැහැ. අවශ්‍ය වන්නේ දරුවන්ට නිවැරැදි මඟ පෙන්වීම පමණයි.
මේ සෑම දරුවෙක්ම අපේ. නමුත් මේ පිළිබඳ අවබෝධයෙන් නැති මවුපියන් සිටිනවා. එය කනගාටුවට කරුණක්. පාසලේ දීප්තිමත් ගුරුවරයෙක් වුණු චමින්ද ඉලංගසේකරට සමස්ත විදුහල වෙනුවෙන්ම ස්තුතිය පළකරනවා."

මවුවරු පියවරු හා සමානවම ගුරුවරුද දරුවන් වෙනුවෙන් සිය මවුපිය යුතුකම් පළ කළ පූර්වාදර්ශ අතරට, ගුරු වෘත්තියට අභිමානයක් ගෙන එමින්, එය ගුරු සේවයද ඉක්ම වූ ගුරු පියවරුන් ගුරු මවුවරුන්ගේ තෝතැන්නක් බව ප්‍රකට කළ අවස්ථාවක් ලෙස මේ කතා පුවත හඳුන්වා දිය හැකිය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්