ශිෂ්‍යත්වය සමත් දරුවකුට හය ශේ්‍රණිය නැති පාසලක් දීලා

  👤  2932 readers have read this article !
By mawbima 2017-08-23

අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ අතින් සිදුවූ තාක්ෂණික වැරැද්දකින් නවය වසරේ සිට පන්ති ආරම්භ වන පාසලකට දරුවා යොමුකිරීමෙන් ශිෂ්‍යත්ව ලාභී පාසල් අධ්‍යාපන වරම් අහිමිවීමේ දැඩි මානසික වේදනාවකට තම දරුවා පත් වි ඇතැයි මාතලේ අකුරම්බොඩ පදිංචි එන්. ජී. කේ. එල්. වර්ණකුමාර සිසුවාගේ මවුපියෝ පවසති.
2016 වර්ෂයේ අගෝස්තු මාසයේ පැවැති ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි තම දරුවා ලකුණු එකසිය හැටක් (160) ලබා ගනිමින් ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වූ පසු අධ්‍යාපන අමාත්‍යාංශය තම දරුවාව මාතලේ රජයේ විද්‍යා විද්‍යාලයට යොමුකර ඇති බවත් එම විද්‍යාලයේ නවය වසර සිට පමණක් අධ්‍යාපන කටයුතු ආරම්භ වන බැවින් දරුවා පාසලට ඇතුළත් කර ගැනීම ප්‍රතික්ෂේප කරන බැව් එම සිසුවාගේ පියා වන එන්. ජී. ආර්. වර්ණකුමාර මහතා පවසයි.

ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත අධ්‍යාපන අමාත්‍යාංශ වෙත තම දරුවා ඇතුළත් කිරීමට බලාපොරොත්තු වන පාසල් දහයක් (10) නම් කර යැවූ බවත් 2017 ජනවාරි මස අනෙක් දරුවන් තෝරාගත් පාසල ලිඛිතව නිවෙසට දන්වා එවා තිබුණද එම ලිපිය තමන්ට නොලැබීම හේතුව මාස තුනකට පසු අධ්‍යාපන අමාත්‍යාංශයට ගොස් විමසීමේදී දරුවා මාතලේ රජයේ විද්‍යා විද්‍යාලය වෙත යොමුකර ඇති බව දැනගන්නට ලැබුණ බවත් ඒ ගැන විද්‍යා විද්‍යාලයේ විදුහල්පතිවරයාගෙන් ගොස් විමසීමේදී එම පාසලට නවය (09) වසරේ සිට සිසුන් අතුළත් කර ගන්නා බැව් දැනගන්නට ලැබුණ බවත් වර්ණකුමාර මහතා පවසයි.

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ශිෂ්‍යත්වධාරීන් යොමු කිරීමේදී පරිගණක අංශයෙන් අත්වැරැද්දක් වී ඇති බැව් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා පාසල් කටයුතු ශාඛා මාගේ අංක ඡ්ච්/01/12/12/10/08 යටතේ 2017/01/17 දිනැති ලිපියෙන් පිළිගෙන තම දරුවා වෙනුවෙන් බලාපොරොත්තු නොවූ වෙනත් පාසලක් ප්‍රමාද වී නම් කර එවා ඇති බැව්ද වර්ණකුමාර මහතා පවසයි.

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් සිදුවූ වැරැද්දෙන් තම දරුවා අත්විඳිමින් සිටින වේදනාව තේරුම්ගෙන ශිෂ්‍යත්වලාභී පාසල් නාම ලේඛනයේ අංක එක යටතේ ඉල්ලා ඇති පාසල හෝ එම පාසල ලබාදීමට නොහැකි නම් අධ්‍යාපන අමාත්‍යාංශය ලබාදුන් රජයේ විද්‍යා පාසලට ඇතුළත් කරගෙන හෝ අධ්‍යාපන කටයුතු කරගෙන යෑමට අවස්ථාව සලසා දෙනමෙන් ඉල්ලා සිටින බැව්ද දරුවාගේ පියා වන වර්ණකුමාර මහතා කියයි.

තම දරුවාට ශිෂ්‍යත්ව පාසලක් නොලැබීම හේතුවෙන් මුහුණ දී සිටින මානසික වේදනාව ගැන එම සිසුවාගේ මව වන පී. ජී. එන්. රමණි දිනදාස හඬා වැටෙමින් මෙසේ පැවැසුවාය.

"අපි දුප්පත් මිනිස්සු. මගේ පුතා ඉගෙනගන්න දක්ෂයි. සල්ලි නැති හින්දා පුතා ගෙදර පාඩම් කරලා උත්සාහයෙන් ශිෂ්‍යත්ව විභාගය පාස් වුණේ. පුතා එක්ක එයාගේ යාළුවෝ 26ක් ශිෂ්‍යත්ව විභාගය පාස් වුණා. මගේ පුතා හිටියේ 06 වැනි තැනට. දැන් ඒ අය පිට පාසල්වලට යනවා. මේ ළඟදී ඉස්කෝලේ උත්සවයක් තිබුණා. ඒ දරුවෝ ඒ ඉස්කෝලේ ඇඳුම ඇඳගෙන ආඩම්බරෙන් ඇවිල්ලා හිටියා. ඒක දැකලා පුතා දුක්වුණා. මගේ ඇස් දෙකට කඳුළු ආවා. පුතාට පාසලක් ඉල්ලන්න ගිහිල්ලා අපේ කාලයෙන් වැඩි හරියක් අධ්‍යාපන අමාත්‍යාංශයේම ගෙවුණා. අනුන්ගේ දරුවෝ ඔබේ දරුවා කියලා හිතන්න කියලා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලියලා තියෙනවා. මගේ දරුවා ගැනත් එහෙම හිතලා පාසලක් දෙන්න ඉල්ලා සිටිනවා."

ඉනාමළුව - තිලක විජයසූරිය

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්