උතුරු මැද මැද පළාත් සභාවේදී ගාලගෝට්ටි මැද 20 ආණ්ඩුක්‍රම සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මතයි

  👤  2985 readers have read this article !
By mawbima 2017-08-23

ශ්‍රාවස්තිපුර-ඉඳුනිල් සුලෝචන, අනුරාධපුර-එරන්ද ශෂිප්‍රිය, මිහින්තලේ-ර.මු.සු. රත්නායක, නාච්චාදුව-කිත්සිරි වනසිංහ
සියලුම පළාත් සභාවල මැතිවරණ එකම දිනයක පැවැත්වීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය උතුරුමැද පළාත් සභාවේදී වැඩි ඡන්ද දෙකකින් සම්මත විය. සංශෝධනයට පක්ෂව ඡන්ද 15ක් ලැබුණු අතර විරුද්ධව ලැබුණේ ඡන්ද 13කි.

උතුරුමැද පළාත් සභාව සභාපති වෛද්‍ය ඩී.එම්. අමරතුංග මහතාගේ සභාපතිත්වයෙන් ඊයේ (22දා) රැස් විය.
සංශෝධනයට පළාත් සභාවේ මන්ත්‍රිවරුන්ගේ අදහස් ප්‍රකාශ කරනු පිණිස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් උතුරුමැද ආණ්ඩුකාරවරයා මඟින් යෝජනාව සභාවට ඉදිරිපත් කර තිබිණි.

විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ පනත් කෙටුම්පත සභාපති අමරතුංග මහතා විසින් සභාවට යොමු කළ අවස්ථාවේ එජනිසයේ යහපාලන විරෝධී මන්ත්‍රි කණ්ඩායම සභාවේ ඝෝෂා කරමින් දිගින් දිගටම බාධා කරමින් විරුද්ධව අදහස් දැක්වීමට ක්‍රියා කිරීම නිසා සභාව ගාලගෝට්ටි ස්වරූපයක් ඉසිලීය.
මුලින්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ අදහස් දැක්වූයේ විපක්ෂ නායක අනිල් රත්නායක මහතාය.

මේ යෝජනාවෙන් මේ රටේ ජනතාවගේ පරමාධිපත්‍යය තහවුරු කිරීමට අවශ්‍ය පියවරක් ගැනෙනවා. අද යහපාලන සංකල්පය මත මේ පනත ඉදිරිපත් කරන්නේ සියලු පළාත් සභාවල මහජන පරමාධිපත්‍ය විධිමත්ව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවරක් ගැනීමටයි.
මීට පෙර ඔවැනි පනත් ක්‍රියාත්මක වූ ආකාරය අපට අමතක නැති බවත් පැවැසීය.

ඒ අතර විරෝධාකල්ප කණ්ඩායමේ කේ.එච්. නන්දසේන, ටී.එම්.ආර්. සිරිපාල, එච්.බී. සේමසිංහ, ජී.ජී. චන්ද්‍රසේන, කේ.පී. කුමාරසිරි යන මන්ත්‍රිවරු එකවර අදහස් දක්වමින් කතා කිරීම නිසා විපක්ෂයේ අරුණ බුද්ධික ගුණසේකර, රෝහණ බණ්ඩාර විජේසුන්දර යන මන්ත්‍රිවරුද ඔවුන්ට විරෝධය දැක්වූහ.
කේ.එච්. නන්දසේන මහතා මේ සංශෝධනය අධ්‍යයනය කරන්නට ලබන සභා වාරය දක්වා කල් ඉල්ලීය.
සභාපතිවරයා ඊට කල් දිය නොහැකි බව දැන්වීමත් සමඟ විරුද්ධ මන්ත්‍රිවරු තවදුරටත් විරෝධය පෑහ.
සභාපතිවරයා බෙදීමක් අවශ්‍යදැයි සභාවෙන් විමසූ අවස්ථාවේ ප්‍රධාන අමාත්‍යවරයා ප්‍රමුඛ ඇමැති මණ්ඩලයේ ඇමැතිවරුන් 5ක් සහ ආණ්ඩු පක්ෂ මන්ත්‍රි එන්.වී. සමන්ත මහතාත් එජාපයේ මන්ත්‍රිවරු 9 දෙනකුත් වශයෙන් ඊට පක්ෂව 15 දෙනකු ඡන්දය ප්‍රකාශ කළහ.

විරුද්ධව එජනිස යහපාලන විරෝධී කණ්ඩායමේ මන්ත්‍රිවරු 13ක් ඡන්දය දුන්හ. ඒ අනුව වැඩි ඡන්ද දෙකකින් සංශෝධනය සම්මත කෙරුණු අතර එය උතුරුමැද පළාත් ආණ්ඩුකාරවරයා මඟින් ජනාධිපතිවරයා වෙත යොමු කිරීමට සභා ලේකම්වරයාට නියෝග කරන ලදී.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්