මහින්ද ගිය ප්‍රගතිශීලි ගමන ආපසු හැරෙව්වේ ජනවාරි අටෙන්

  👤  2965 readers have read this article !
By mawbima 2017-08-23

මේ ආණ්ඩුව බලයට පත්වෙලා වසර දෙකක් අවසන්. ඒ අවුරුදු දෙක ගැන ඔබගේ අදහස?

මහින්ද රාජපක්ෂ යුගයේ ත්‍රස්තවාදය පරාජය කරලා ආර්ථික සහ දේශපාලන වශයෙන් ස්වාධීන ගමනක් යන්න උත්සාහා කළ බව දකින්නට ලැබුණා. ඒ තුළ යම් යම් අඩුපාඩු පෙන්වන්න පුළුවන්. ඒත් අසූව දශකයේ සිට ලංකාව ආපු ගමනත් එක්ක බලනවිට විජාතිකයන්ගේ උවමනාවන් ඉෂ්ට කරන ආණ්ඩු වෙනුවට ඊට එරෙහිව අපේ රටේ උවමනාවන් මත තීන්දු තීරණ ගත් බවක් දැක්කා. එහිදී ත්‍රස්තවාදය සහමුලින්ම පරාජය කිරීමට ගත් තීරණය විශේෂයි. රාජ්‍ය ආයතන සම්පත් විකුණමින් හා චන්ද්‍රිකා රනිල් ආණ්ඩුවලට විකල්පව රාජ්‍ය ආයතන ආරක්ෂා කිරීමේ හා නව වටිනාකම් එකතු කර ගැනීමේ අභිලාෂ අපට දක්නට ලැබුණා. නොරොච්චෝලේ බලාගාරය, අධිවේගී මහා මාර්ග, හම්බන්තොට වරාය මීට උදාහරණ.

ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසුව අපට අවස්ථාව ලැබුණා උතුරේත් දකුණේත් සමඟිය ගොඩනඟා ගන්න. උතුරට විශේෂ සංවර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාවට නැගීම, ඒ සඳහා මාර්ග පද්ධති නවීකරණය, නැවත උතුරට දුම්රිය යෑමට කටයුතු ආරම්භ කිරීම, ත්‍රස්තවාදයට ගොදුරුවූ තරුණ තරුණියන් දහ දාහකට අධික පිරිසක් පුනරුත්ථාපනය කිරීම, දෙමළ තරුණ තරුණියන් ශ්‍රී ලංකාවේ හමුදාවට එකතු වීමට පටන් ගැනීම වැනි ධනාත්මක ලක්ෂණ ඒ කාලයේ දක්නට ලැබුණා.

ඒ ගමන ආපස්සට හැරවීමක් තමයි ජනවාරි 8 වැනිදා සිදු කෙරුණේ. මේ අවුරුදු දෙක තුළ මේ ආණ්ඩුව පත් කිරීමට ක්‍රියාකළ විදේශීය බලවේගයන්ගේ අවශ්‍යතාවන් ඉෂ්ට කරමින් තිබෙනවා. නැවතත් විජාතික බලවේගවල යටත් විජිතයක් හා සමාන මට්ටමකට අප රට පත් කර තිබෙනවා. අපේ රණවිරුවන් හා රටේ ස්වාධීනත්වය පාවා දෙමින් අස්සන් කෙරුණු ජීනිවා සම්මුති වගේම ඉන්දීය අගමැතිවරයා ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථා දෙකේදීම කටයුතු කළ ආකාරයත් මේ බව කියාපානවා.
පහුගිය ආණ්ඩු සමය වගේ නෙවෙයි, අද ප්‍රජාතන්ත්‍රවාදය හා නිදහස පවතින බව ඇතැමකුගේ මතය.

පළාත් පාලන ආයතන විසුරුවා හැරලා ඡන්ද නොපවත්වා අවුරුදු දෙකකට වැඩි කාලයක් ගතවෙලා. පළාත් සභා ඡන්ද කල්දමා ගැනීම සඳහා මේ ව්‍යවස්ථා වෙනස්කම් කිරීමේ යෝජනාවක් කැබිනට් මණ්ඩලය අනුමත කරලා තිබුණා. ඡන්ද කල් දැමීමක් නෙවෙයි, එක දවසක සියලු ඡන්ද පැවැත්වීමේ ප්‍රයත්නයක් ලෙස ආණ්ඩුව පෙන්වන්න උත්සාහ කරනවා. පළත් සභා ඡන්ද එක දවසක තියන්න ඕනෑ නම්, දැන් මේ අය පත්වෙලා අවුරුදු දෙකකට වැඩිනේ. ආණ්ඩුව හදපු වෙලාවෙ ඒකට අවශ්‍ය පියවර ගන්න තිබුණා. මේ ජනතාවට තම මතය ප්‍රකාශ කරන්න තිබෙන ප්‍රජාත්‍රන්තවාදී නිදහස අහෝසි කිරීම හැර වෙන මොකක්ද?

ජනවාරි 08 වෙනස සඳහා ජනාධිපතිවරණයත් එක්කම පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරු හතළිස් ගණනක්, සිටින පක්ෂයක මන්ත්‍රිවරයකු පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ගැන කිසිදු ගරුත්වයකින් තොරව අගමැතිවරයා ලෙස පත් කළා. මහ බැංකු මංකොල්ලය සිදුවන විට මුදල් ඇමැතිවරයාගේ අමාත්‍යාංශයේ විෂයක් වියයුතු මහ බැංකුව ඉන් ඉවත්කොට අගමැතිවරයා යටතට රැගෙන තිබුණා. මේ මහා මංකොල්ලය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට කෝප් වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා. ඊට පෙර දවසේ පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ. ඒ වනවිට මේ රටේ අගමැතිවරයාට එරෙහිව බැඳුම්කර හොරකම සම්බන්ධයෙන් විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තිබුණා. එවැනි අවස්ථාවක පාර්ලිමේන්තුව විසුරුවා හැරීම මොනම ආකාරයෙන්වත් ප්‍රජාතන්ත්‍රවාදී නැහැ.

ජනාධිපතිතුමා පත්කිරීම සඳහා එක පෙරමුණක කටයුතු කරපු, පසුව පැවැති දින 100 ආණ්ඩුව මෙහෙයවීම සඳහා ගොඩනඟාගෙන තිබූ නීත්‍යනුකූල නොවන විධායක සභාවේ කටයුතු කළ අයවැයට පක්ෂව ඡන්දය දෙන, ටී එන් ඒ සංවිධානයේ සම්පන්දන් මහතා විපක්ෂ නායක හැටියට පත් කරගෙන ඉන්නවා. ඔවුන්ට ලැබුණේ ඡන්ද ලක්ෂ පහක් හෝ හයක්. මේක ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් වෙන්නේ කොහොමද? ඒ වගේම විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය මේ රජය පත් කිරීමට උදවු කළ ජ.වි.පෙට දීම. ඔවුන්ට ලැබුණෙත් ඡන්ද ලක්ෂ පහයි.
ජනාධිපතිවරණයේදී මෛත්‍රිපාල සිරිසේන මහතාට විරුද්ධව ඡන්දය දුන් 57 ලක්ෂය නියෝජනය වෙන්නේ කොහේද? මහ මැතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණ ඉදිරිපත් කරපු වැඩපිළිවෙළට එරෙහිව පැහැදිලිවම හතළිස් හත් ලක්ෂයක් ඡන්දය දුන්නා. ඔවුන්ට පාර්ලිමේන්තුවේ ලබා දී තිබෙන තැන මොකක්ද? විපක්ෂ නායකකම ලැබිය යුත්තේ ඔවුන්ට. විපක්ෂයේ ප්‍රධාන සංවිධායකකම ලැබෙන්න ඕන ඔවුන්ට. ඒ හතළිස් හත් ලක්ෂය සම්පූර්ණයෙන්ම පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයෙන් ඉවත් කරලා තිබෙන්නේ.
සැබෑ ලෙසම ප්‍රජාතන්ත්‍රවාදය අහිමි වූ රටක් බවට ලංකාව පත්වෙලා.
එහෙත් අපට අමතක කරන්න බැහැ නේද පහුගිය ආණ්ඩු සමයේ රතුපස්වල උද්ඝෝෂකයන්ට වෙඩි තැබීම්, බන්ධනාගාර රැඳවූවන් මරා දැමීම ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීම වැනි කාරණා?
ඔය සිදුවීම් එකක්වත් අපට හරියි කියන්න බැහැ. මහින්ද රාජපක්ෂ මහත්මයා ආණ්ඩුව බලයට පත්වන තැන හා එතුමා බලයෙන් පහවන තැන පිළිබඳ අප බලන්න ඕන පහුගිය වසර 20 ඇතුළත සිදු වූ සිදුවීම් එක්කනේ. ප්‍රගීත් ගැන කතා කරනවා, රිචර්ඩ් ද සොයිසා ඝාතනය කරපු අයට දඬුවම් ලැබිලා තියෙනවාද?
එහෙම කියලා මේ ඝාතන සිද්ධි සාධාරණය කරන්න පුළුවන්ද?
සාධාරණීයකරණය කරන්න බැහැ. හැබැයි මේ ඉල්ලීම් පිටුපස ඇති යථාර්ථය අවබෝධ කරන්න පුළුවන්. බලන්න රෝහණ කුමාර ඝාතනය කළාට දඬුවම් ලැබිලා තිබෙනවාද? කුමාර් පොන්නම්බලම් ඝාතනය කළාට දඬුවම් ලැබිලා තිබෙනවාද? ඒවා ගැන උද්ඝෝෂණයක්වත් තිබෙනවාද? ඒ ගැන ජනමාධ්‍යවත් කතා කරනවාද?
වික්ටර් අයිවන් ලියපු චෞර රැජින හා චෞර රාජ්‍ය පොත්වල පැහැදිලිව සඳහන් කරලා තිබෙනවා හිටපු රාජ්‍ය නායකයන් මර්දනය භාවිත කළේ කොයි ආකාරයටද කියලා. ස්ත්‍රී දූෂණ, මිනීමරුම්වලට දඬුවම් ලැබූ අය ජනාධිපති සමාව දී තමන්ගේ මැර නායකයන් බවට පත්කරගත් හැටි ජේ. ආර්. ජයවර්ධන මහතාගේ සිට ආරම්භ වුණා කියලා. වික්ටර් අයිවන් සඳහන් කරනවා ජේ. ආර්. ජයවර්ධන යුගයේදී ගෝනවල සුනිල්, ආර් ප්‍රේමදාස යුගයේ සොත්ති උපාලි හා චන්ද්‍රිකා යුගයේ බැද්දාගානේ සංජීව මෙවැනි මැර නායකයන් වූ බව.

එවකට හමුදාපති සරත් ෆොන්සේකා යටතේ ක්‍රියාත්මක වන කණ්ඩායම් මේ ඝාතනවලට සම්බන්ධ බවට ජෝෂප් මයිකල් ප්‍රනාන්දු වැනි එජාප ප්‍රබලයන් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. සාමාන්‍ය පුරවැසියකු ලෙස මා මේ ගැන කියන්න දන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ මහත්තයා බලයට ඇවිත් අවුරුදු දෙක හමාරක් ඇතුළත මේ රටේ අවුරුදු 20ක් පුරා පැවැතුණු ත්‍රස්තවාදී යුද්ධය අවසන් කළා. අමතක කරන්න එපා ඒක. මේ අය කියනවානේ අපි දැන් රාජපක්ෂ පව් ගෙවනවා කියලා. මහින්ද රාජපක්ෂ මහත්මයා කිය කියා ඇඬුවේ නෑනේ මේ මං පටන් ගත්තු ත්‍රස්තවාදය නෙවෙයි කියලා. එතුමා රටේ නායකයකු වන්නේ අන්න ඒ කරුණු නිසයි. ඒ ආණ්ඩුවේ අඩුපාඩු තිබුණා වෙන්න පුළුවන්, ඒත් ඒ ආණ්ඩුව රට වෙනුවෙන් තීන්දු අරගෙන ඒවා ක්‍රියාත්මක කළා.
අවුරුදු දෙකකින් යුද්ධය ඉවර කරන්න පුළුවන් වුණා නම් මේ ආණ්ඩුව කියනවානම් බලයට ඇවිත් අනේ අපට එක්නැලිගොඩව මැරුවේ කවුද කියලා තාමත් හොයා ගන්න බැහැ, කියන එක සාධාරණ ප්‍රකාශද?

මං හිතන ආකාරයට ඝාතන සංස්කෘතිය ක්‍රමානුකූලව අවසන් කිරීම සඳහා මහින්ද රාජපක්ෂ ආණ්ඩු කාලයේ විශාල වැඩ කොටසක් කෙරුණා. ඔහු සම්බන්ධයෙන් සොත්ති උපාලි හෝ බැද්දගානේ සංජීව වැනි මැර නායකයකු මතක් වෙන්නේ නෑනේ.

මේ ආණ්ඩුවට ජනතාව බලය දුන්නේ සොරුන් දූෂකයන්ට දඬුවම් දෙන්න නේද?
හොරකමට විරුද්ධ වීම කියන එක බටහිර ප්‍රබල රාජ්‍යයන්ට නතු නොවන නායකයන් පලවා හැරීම සඳහා ප්‍රචාරාත්මක ක්‍රියාමාර්ගයක් හැටියට ක්‍රියාත්මක වෙලා තිබෙනවා. බලයට පත්වනවිටත් රවි කරුණානායක මහතාට විදේශ විනිමය සම්බන්ධයෙන් නඩුවක් ගොනු කර තිබුණා. දින 100 යහපාලන මුදල් ඇමැති ලෙස එතුමාව පත් කරනවා. ඒ නඩුව හා සම්බන්ධ රාජ්රත්නම් කියන මුදල් එව්වායි කියන පුද්ගලයා සිරගත කරලා සිටින්නේ ඇමෙරිකාවේදි. විදේශ විනිමය වංචා සම්බන්ධයෙන් හා කළු සල්ලි සුදු කිරීම සම්බන්ධයෙන් වරදවලට. එහෙම නඩුවක් උසාවියට ගොනු වෙලා තිබෙන පුද්ගලයකු මුදල් ඇමැති විදිහට පත් කළා. කෝ මාධ්‍ය කතා කළාද ඒ ගැන? හොරකමට එරෙහිව, පිරිසුදු පාලනයක් වෙනුවෙන් නොයෙක් සංවිධාන තිබුණා. ඒවා රවි කරුණානායකට විදේශ විනිමය වංචා නඩුවක් විභාග වෙමින් තිබියදී මුදල් ඇමැතිකම දීමට එරෙහිව උද්ඝෝෂණයක් කළාද?

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාව පිළිබඳ ඔබ දරන මතය පැහැදිලි කළොත්?
ත්‍රස්තවාදය පරාජය කළ රටකට ගැළපෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාවක් තිබුණා. එහි ගැටලුවක් නැහැ. මේ ආණ්ඩුව බලයට පත් කළ විජාතික බලවේගවල සහ මේ රජය දරන ප්‍රයත්නය දෙස බැලුවහම මේ ව්‍යවස්ථා ක්‍රියාවලිය ත්‍රස්තවාදය පරාජය කොට යම් ජයක් ලැබුවා නම් ඒ ජයග්‍රහණ සියල්ල ආපස්සට හරවන, රට නැවතත් බෙදුම්වාදයට හරවන සංශෝධන ක්‍රියාවලියක්. ඒ ව්‍යවස්ථා ක්‍රියාවලිය පරාජය කරන්න ඕන. ඒ ගැන කිසිදු සැකයක් නැහැ.
නව ව්‍යවස්ථාවක් අවශ්‍යද කියන ප්‍රශ්නය ලෙඩාට බෙහෙත් අවශ්‍යද වගේ ප්‍රශ්නයක්. ඔව්. බෙහෙත් අවශ්‍යයි. මේ දෙන්න යන්නේ වස. වස බීවොත් ලෙඩා මැරෙනවා. ආයේ බෙහෙත් දෙන්නත් බැහැ. ඒ නිසා පළමුව වස දීම වැළැක්විය යුතුයි.
දෙමළ ජනතාව වෙනුවෙන් බලය බෙදිය යුතු බවට මතයක් තිබෙනවා.
අපි අදහස්වලින් තවමත් යටත්විජිතවාදී මානසිකත්වය තුළනේ ක්‍රියාත්මක වෙන්නේ. ලෝකය හැටියටත් යටත්විජිතවාදය ගොඩනඟපු රටවල අවශ්‍යතාව අනුව ජීවත් වෙන්නේ. ඒ තත්ත්වය තුළ ඇත්ත ප්‍රශ්න සහ බොරු ප්‍රශ්න තිබෙනවා.
1956 දී ශ්‍රී අකුර වාහනවලට යෙදවීමෙන් දෙමළ අම්මා කෙනකුටවත්, සිංහල අම්මා කෙනකුටවත් , සිංහල නොදන්න වෙනත් විජාතික අම්මා කෙනකුටවත් තමන්ගේ දරුවාව ශ්‍රී අකුර තිබුණු වාහනෙකින් හැප්පුවා නම් හප්පපු වාහනයේ අංකය කියන්න බැරි වෙන්නේ නැහැ. හැබැයි ශ්‍රී අකුර වෙනුවට අද යොදාගෙන ඇති ඉංගී්‍රසි අකුර නිසා ඉංග්‍රීසි නොදන්න සිංහල, දෙමළ, ඉංග්‍රීිසි නොදන්නා විජාතික කාන්තාවකටවත් දරුවව හප්පපු වාහනේ අංකය කියන්න බැරි වෙනවා.
හැබැයි ශ්‍රී අකුරට එරෙහිව කෑ ගහපු ජනතාව ඉංග්‍රීසි අකුරට එරෙහිව කෑ ගහන්නේ නැති කොට අපට හිතෙනවා මේ තිබෙන්නේ සිංහලයට මේ රටේ ඉතිහාසයේ ලැබිය යුතු තැන නැති කිරීම ස¼දහා දෙමළ අයව පාවිච්චි කරනවා කියලා.

මේ කාරණයම තවත් පැත්තකින් ගත්විට සිංහල රාජ්‍ය භාෂාව කිරීම, 1970දී ප්‍රමිතිකරණය කිරීම වැනි සිදුවීම් කරනකොට දෙමළ ජනයාට විශාල අසාධාරණයක් වුණා. ඔවුන් අපෙන් අෑත් වුණා කියලා විශාල මතවාදයක් ගොඩනඟනවානේ. එහෙම නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෙනෙක්, සිංහල රාජ්‍ය භාෂාව කරපු පක්ෂයේ පුද්ගලයෙක් දෙමළ ජනතාවගේ ඡන්දයෙන් යාපනයේ නගරාධිපති වෙන්නේ කොහොමද? ඒ ඇත්ත වෙනස් කළේ ත්‍රස්තවාදයෙන්, ඝාතනයෙන්, උණ්ඩයෙන්. මේ පොළොවේ යථාර්ථය ඒක.

ලංකාවේ නීතිපතිවරු, පොලිස්පති, ලක්ෂ්මන් කදිරගාමර් වැනි දේශපාලඥයන්, මුරලිදරන් වැනි ක්‍රීඩකයන් තමන්ගේ රට වෙනුවෙන් ඉදිරියට පැමිණි දෙමළ ජාතිකයන් අපි ප්‍රතික්ෂේප කරලා තිබෙනවාද? එහෙම කරලා නැහැ. රට වෙනුවෙන් ඉදිරියට එන අයව අපි පිළි අරගෙන තිබෙනවා.
පහුගිය වසර දෙක තුළ සිදුවී ඇත්තේ එක රටක් හැටියට එකතුවීම වෙනුවට වෙන්වීමට, අෑත්වීමට, හේතු කාරණා මතු කිරීමයි. එජාපය වගේම දෙමළ ජාතික සන්ධානයත් ඉටුකරමින් සිටින්නේ ඒ කාර්යයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්