බැඳුම්කර කොමිසමට රනිල්වත් _ මලික්වත් ගේන්න ඕනෑ

  👤  2975 readers have read this article !
By mawbima 2017-08-23

අනුරාධා හේරත්

කුප්‍රකට මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් කටඋත්තර ගැනීමට අගමැති රනිල් වික්‍රමසිංහ හා අමාත්‍ය මලික් සමරවික්‍රම බැඳුම්කර කොමිසම හමුවට ගෙන ආ යුතු බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි.
බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධව එම කොමිසම විමර්ශනය කිරීමේදී අග්‍රාමාත්‍යවරයාගේත්, අමාත්‍ය මලික් සමරවික්‍රම ඇතුළු කිහිපදෙනෙක් පිළිබඳ තොරතුරු හෙළිදරව් වූ බවත් ඔවුන් වහාම කොමිසම හමුවට ගෙන ආ යුතු බවත් මන්ත්‍රිවරයා පවසයි.

ප්‍රනාන්දු මහතා පවසන්නේ එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රිවරුන් ඇමැති විජයදාස රාජපක්ෂට එරෙහිව විශ්වාසභංග ගෙන ඒමට කතා කළද මේ වනතුරු අගමැති රනිල් වික්‍රමසිංහට හෝ සිය පක්ෂයේ කිසිවකුට විරුද්ධව චෝදනාවක් හෝ ඉදිරිපත් කර නොමැති බවයි.
එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලය ප්‍රබලම විරෝධය එල්ල කළ යුත්තේද එහි නායකයාට මිස රටේ ප්‍රධාන කාරණාවලදී හඬ නඟන විජයදාස රාජපක්ෂ වැනි පුද්ගලයන්ට නොවන බවද ඒ මහතා කියයි.

එදා ජල බිලක් හෝ විදුලි බිලක් ගෙවා ගැනීමට පවා මුදල් නොතිබූ සිරිකොතට මහ මැතිවරණයේදී කෝටි ප්‍රකෝටි ගණන් මුදල් වියදම් කිරීමට හැකි වූයේ මහ බැංකු බැඳුම්කර වංචාවෙන් ඉපැයූ කළු සල්ලිවලින් බව අනාවරණය කරන ඔහු කියා සිටියේ කළු සල්ලිවලින් පුවත්පත්, ගුවන් විදුලි නාළිකා, විවිධ ව්‍යාපාර ආරම්භ කරන තුරු ජනාධිපතිවරයා ඇස් කන් පියා සිටි බවයි.

අවම තරමින් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ කටයුතු තහනම් කිරීමට පවා වසර 2ක් ගතවූ බවත් ඒකාබද්ධ විපක්ෂයේ යම් පුද්ගලයෙක් මෙවැනි හොරකමකට වක්‍රව හෝ සම්බන්ධ වූවා නම් මේ වනවිට සිරබත් කන බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
ඒ මහතා වැඩිදුරටත් චෝදනා කළේ මහ බැංකු බැඳුම්කර වංචාව යට ගැසීමට ආණ්ඩුව මේ වනවිට රාජපක්ෂ පවුලේ සාමාජිකයන් නීතිය හමුවට ගෙන එමින් එකී වංචාවේ සැර බාල කරමින් සිටින බවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්