ගමේදී හැප්පුණු පක්‍ෂ දෙක අද එකතු වෙලා රට හදනවා

  👤  2981 readers have read this article !
By mawbima 2017-08-23

දකුණේ කෘෂි හා වැවිලි ආර්ථිකය ශක්තිමත් කොට කර්මාන්ත හා සංචාරක කර්මාන්තය තුළින් දකුණු පළාතේ අලුත් ආර්ථිකයක් ඇති කරනවා යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා (21දා) ඇල්පිටියේ දී පැවසීය.
කඩිනම් ඉඩම් ඔප්පු 4000ක් ලබා දීමේ සමාරම්භක උත්සවයට එක්වෙමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය.
එහිදී අගමැතිවරයා මෙසේද කීවේය.

දකුණට අලුත් ආර්ථිකයක් දීලා, ගාල්ල දිස්ත්‍රික්කය දකුණු ආසියාවේ හොඳම සංචාරක කලාපයක් බවට පත් කරලා මේ රටෙත් මේ ප්‍රදේශයෙත් තරුණ තරුණියන්ට රැකියා ආදායම් මාර්ග ලබා දෙනවා. ඒ සඳහා විශාල උදව්වක් ඔබගේ ඇමැතිතුමාගෙන්ද ලැබෙනවා. අද උදේ මාව හමුවෙන්න තායිලන්තයේ සමාගමක අධිපතිවරයකු ආවා.
සංවර්ධන උපාය මාර්ග ඇමැතිතුමා හා නියෝජ්‍ය ඇමැතිතුමා තමයි ඔහු මුණගැස්සුවේ. ඒ අය ඉල්ලුවා කළුතරින් අක්කර 800ක් එහි වෙළෙඳ කලාපයක් දමලා කර්මාන්ත ඇති කරන්න. ඒ සඳහා අපි එකඟ වුණා. හොද වරායක් හා හොඳ ගුවන් තොටුපොළක් හම්බන්තොට ඇති කරන්න පුළුවන්. දක්ෂිණ සංවර්ධන ඇමැතිවරයාට කීවා හම්බන්තොට හා මොනරාගල යන දිස්ත්‍රික්කවල වෙළෙඳ කලාප ඇති කරන්න කියලා.
ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල මායිම් තවත් වෙළෙඳ කලාපයක් ඇති කිරීමේ කටයුතු කරගෙන යනවා. මෙතෙක් කල් කළුතර ඉඳලා හම්බන්තොටට තිබුණේ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ආර්ථිකයක්. ඒ ආර්ථිකයෙන් විතරක් දකුණේ ජනතාව ජීවත් වෙන්න බැහැ. ඒ නිසා විරැකියාව තියෙනවා. සමහර අයගේ ආදායම් අඩුයි. ඇතමුන් මැදපෙරදිග යනවා. සෑම කෙනකුටම අවශ්‍ය තමන්ගේ ජීවිතය ඉදිරියට ගෙනියන්න හොඳ ආදායම් මාර්ගයක්. ඒ ආදායම් මාර්ගයෙන් තමන්ගේ ආර්ථික තත්ත්වය සමාජ තත්ත්වය දියුණු කරගන්න පුළුවන්.
මේවා තමයි අපට තියෙන අභියෝග. ඒ අභියෝගය අපි භාරගෙන තියෙනවා. ජාතික ආණ්ඩුවක් ඇති කරලා මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් මේ අභියෝගයට මුහුණ දෙන්න ආණ්ඩුවක් ඇති කරලා තියෙනවා. යෝධ පිම්මක් ගන්න වාතාවරණයක් තියෙනවා. ඒ වාතාවරණය තමයි මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා ප්‍රමුඛ ජාතික ආණ්ඩුව. ගමේ හැප්පුණු පක්ෂ අද සංවර්ධනයේදී එකට එකතුවෙලා තියෙනවා. ආපසු ඡන්දයක් තියෙන විට වෙනම ගිහින් තරග කරනවා. මේ විශාල පිම්ම ගන්න අපි එකතුවෙලා තියෙනවා.

කළුතර අවිස්සාවේල්ලේ විශාල සංචාරක කර්මාන්තයක් දමන්න බලාපොරොත්තු වෙනවා. ගාල්ල වැලිගම මායිමේ හා හම්බන්තොට විශාල කර්මාන්ත ඇති කරනවා. කර්මාන්තකරණයක් ඇති කරනවා. ඒ කර්මාන්තකරණයත් එක්ක ශක්තිමත් වරාය ආර්ථිකයක් ගුවන්තොටුපොළ ආර්ථිකයක් ඇති කරනවා. හම්බන්තොට වරායේ පාඩුව මකන්න රුපියල් බිලියන 40ක් වරාය අධිකාරියෙන් වියදම් කරන්න වුණා. දැන් අපිට ඒ පාඩුව නැහැ.

බෙන්තර ඇල්පිටියේ දේදුව ප්‍රදේශයේ අක්කර 800ක විශාල සංචාරක කලාපයක් ඇති කරනවා. අද බෙන්තර සංචාරක කලාපයේ තියෙන්නේ හෝටල් පහයි. මේවායේ දහ ගුණයක විසි ගුණයක හෝටල් කාමර තියෙනවා. මේවා හදන්නේ පරිසරය ආරක්ෂා කරලා. ස්වාභාවික පරිසරය අනුකූලව තමයි ඒවා ඉදිකරන්නේ. සංචාරකයන් එන්නේ පරිසරය බලන්න. දිනකට ඩොලර් 400ක් 600ක් ගෙවන්න පුළුවන් ඉහළ ආදායමක් තියෙන සංචාරකයන්ට තමයි මෙම සංචාරක කලාපය ඇති කරන්නේ.
සංචාරකයන් එනවානම් ඒ අයගේ සාක්කුවල මුදල් තියෙන්න ඕන. එහෙම නැතිනම් අපිට වැඩක් නැහැ. සල්ලි තියෙනවානම් ඒවා වියදම් කරන්න ඕනෑ. ඒ තුළින් ප්‍රදේශයේ දියුණු කරන්න ඕන.

ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා
අපේ රටට තරුණ කැරලි දෙකකට මුහුණ දීමට සිදුවුණා. තිස් වසරක යුද්ධයක් තිබුණා. දේශපාලන අසමඟිකම් තිබුණා. මේ නිසා අපේ රට සමඟ කරට කර සිටි රටවල් ඉදිරියට ගියා. අපි තවම ඉන්නේ පස්සෙන්. විවිධ හේතු නිසා ඉදිරියට යන්න බැරිවුණත් නමුත් ලෝකයත් එක්ක ඉදිරියට යන්න විශාල පිම්මක් පනින්න තියෙනවා. ඒ යෝධ පිම්ම පනින්න පුළුවන් නායකයා අගමැතිතුමා.
ත්‍යාගා ශ්‍රී මාලි බණ්ඩාර/ගාල්ල - තරිඳු භාග්‍ය විජේහේවා, පිටිගල - ධම්මික ප්‍රසාද්

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්