කාඩ් කුට්ටමේ සෙල්ලම ජනාධිපති තාම හරියට පටන් ගත්තේ නැහැ

  👤  2938 readers have read this article !
By mawbima 2017-08-23

තවමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා තමා යැයි හිටපු ජනාධිපතිවරයා පැවසුවද එම ප්‍රකාශයන්ට ශ්‍රී ලනිප පාක්ෂිකයන් නොරැවටෙන බවත් වත්මන් ව්‍යවස්ථාව අනුව හිටපු ජනාධිපතිවරයාට නැවත මේ රටේ නායකයා වීමට නොහැකි බවත් වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පළ කළේ ඊයේ (22දා) කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා තවමත් සෙල්ලම් කරන්නේ කාඩ් කුට්ටමේ පොඩි කොළවලින් බවත් එතුමා තවමත් ලොකු කොළවලින් සෙල්ලම් කිරීමට පටන් නොගත් බවත් විජිත් විජයමුණි සොයිසා ඇමැතිවරයා පැවැසුවේය.

මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍යවරයා මෙසේද පැවැසුවේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 66 වැනි සංවත්සරය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන්න අපි බලාපොරොත්තුවෙන් ඉන්නේ.
හිටපු ජනාධිපතිතුමා කිව්වාට තාමත් එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති කියලා පක්ෂ ව්‍යවස්ථාවට අනුව එහෙම වෙන්න විදිහක් නෑ. අපේ පක්ෂ ව්‍යවස්ථාවට අනුව පක්ෂ සභාපති වෙන්නේ වත්මන් ජනාධිපතිවරයායි.

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා සංශෝධනය කරපු ව්‍යවස්ථාවට අනුවයි වත්මන් ජනාධිපතිතුමා අපේ පක්ෂයේ සභාපතිවරයා වුණේ. නමුත් දැන් බොහෝ දේවල් මහින්ද රාජපක්ෂ මහත්තයට අමතකයි. එතුමා වෙන පක්ෂයක සාමාජික ප්‍රවර්ධනය කරන ගමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා කියලා කියනවා. ඒක නිකම් ආදරයයි වෛරයයි අතර පොඩි කෙස් ගහක වෙනසක් තියෙනවා වගේ සභාපතියි, අනුශාසකයි අතර ඇති වෙනසක්.

බැඳුම්කර සිද්ධිය සොයන්න ජනාධිපතිවරයා කොමිසමක් පත්කරලා තිබෙනවා. ඒ මඟින් තමයි මේ සිද්ධියේ බොහෝ කරුණු හෙළි වුණේ. පළාත් පාලන මැතිවරණයක් අපි නියමිත කාලයේ පවත්වන්න බලාපොරොත්තු වෙනවා.

එය අපේ මධ්‍යම කාරක සභාව තීරණය කළා. පළාත් සභා ඡන්දයක් අපි නියමිත කාලයට පවත්වනවා. රටේ ආර්ථිකය හදන්න ආර්ථික කමිටුවක් මේ වන විට හදලා තිබෙනවා. වත්මන් ජනාධිපතිතුමා කියන්නේ කිසිම විදේශීය රටක් සමඟ ගිවිසුම්වලට එළඹෙන්නේ නෑ අපේ රටේ දේශීය චින්තනවලට පටහැනිව කියලායි.
ජාතික ආණ්ඩුවෙන් ශ්‍රී ලනිපය ඉවත් වෙනවාද කියන එක තීරණය කරන්නේ පක්ෂ මධ්‍යම කාරක සභාව විසින්. මෙයින් අපිට එක පාරටම ඉවත් වෙන්න බැහැ. ඒකාබද්ධ විපක්ෂය කිව්වට අපට එකපාරටම හවුල් ආණ්ඩුවෙන් ඉවත් වෙන්න බැහැ. අපි හදන්නේ යහපාලන ආණ්ඩුවේ තීන්දු හරි විදිහට ක්‍රියාත්මක කරන්නයි.
විජයදාස රාජපක්ෂ මහතාගේ හැසිරීම සම්බන්ධයෙන් සොයන්න ඕනේ එක්සත් ජාතික පක්ෂයයි.

අපේ පක්ෂ ව්‍යවස්ථාවේ තිබෙනවා අපේ පක්ෂය හැර වෙන පක්ෂයක ප්‍රවර්ධන වැඩකටයුතු කළොත් අපේ පක්ෂ සාමාජිකත්වය අහෝසි වෙනවා කියලා. පක්ෂ දෙකක සාමාජිකයෝ වෙන්න බැහැ. එතන ප්‍රශ්නයක් තිබෙනවා.

නමුත් මහින්ද රාජපක්ෂ මහත්තයා පොහොට්ටුවේ ප්‍රවර්ධන වැඩකටයුතු කරන ගමන් ශ්‍රී ලනිප සභාපති කියනවා. නීතිය කාටත් පොදු විය යුතුයි. මේ ව්‍යවස්ථාව හැදුවේ මහින්ද මහත්තයනේ. ආපහු බලයට එන්නෑ කියලා වත්මන් ජනාධිපතිතුමා කිව්වාට එතුමාට පෞද්ගලික තීරණ ගන්න බැහැ. ජනාධිපතිවරු දෙන්නෙක් ජනාධිපති ධුරය අහෝසි කරනවා කිව්වාට කළේ නෑනේ. රටේ ජාතික වශයෙන් බලතුලනයක් වෙනවා නම් විධායක ජනාධිපති ක්‍රමය යම් ප්‍රමාණයකට ශක්තිමත් විය යුතුයි. මේවා ජාතික වගකීම්. මැතිවරණ පොරොන්දුවලට මේවා ලඝු කරන්න බැහැ. ඡන්දය කියන්නේ එකක් පක්ෂය කියන්නේ එකක්. රටේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරද්දි එයත් වෙනස් වෙනවා.
අපේ පක්ෂයේ කවුරුහරි පොදු ජන පෙරමුණේ සාමාජිකත්වය අරන් තිබෙනවා නම් ඒ ගැන විනය පරීක්ෂණ පක්ෂය විසින් පවත්වාවි. දුමින්ද දිසානායක කියන්නේ තරුණ නායකයෙක්, එතුමා ශ්‍රී ලනිප ලේකම් තනතුරේ ඉන්න එක අපිට ලොකු ආශිර්වාදයක්. මම හැමදාම ඉන්නේ පක්ෂයත් එක්ක. හිටපු නායකයා පැරදුණාම අලුත් නායකයාට එතුමා සහයෝගය දෙන්න ඕනේ.

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්