මුවකු මරා මස් පාර්සල් කරමින් සිටි තිදෙනෙක් වනජීවී නිලධාරීන්ට කොටුවෙති

  👤  2947 readers have read this article !
By mawbima 2017-08-23

නොච්චියාගම _ ඒ.ඩී.යූ. කුමාර

අඩම්පනේ පාසල අසල නිවෙසක් පිටුපස ගල්තලාවක අලෙවි කිරීම පිණිස මුව මස් පාර්සල් කරමින් සිටි පුද්ගලයන් තිදෙනකු මස් පාර්සල් දහනවයක් හා තවත් මස් තොගයක් සමඟ අත්අඩංගුවට ගත් බව විල්පත්තුවේ වනජීවී කාර්යාලය පවසයි.
ඊයේ සැකකරුවන් සමඟ මුව හමක්, ගිනි අවියක්, තරාදියක්, පිහියක් හා ශීතකරණයක්ද අත්අඩංගුවට ගෙන ඇත.
අසල නිවෙස තුළ තිබී වේළන ලද මුව මස් ග්‍රෑම් පන්සියයක් පමණද සොයා ගෙන තිබේ.
වැටලීම කරන අවස්ථාවේදී වෙඩි තබා මරා දමන ලද මුවා නිවෙස පිටු පස ගල් තලාව මතට රැගෙන විත් කපා පාර්සල් කරමින් සිට ඇත. ඔත්තු බලමින් සිටි සැකකරුවෙක් පලා ගොස් තිබේ.

සෙසු සැකකරුවන් ද පලා යෑමට උත්සාහ දරන අවස්ථාවේදී වනජීවී නිලධාරීන් ඔවුන් ලුහුබැඳ ගොස් අත්අඩංගුවට ගෙන තිබේ.
අලෙවි කිරීම සඳහා සකසන ලද මුව මස් පාර්සල් සහ මස් තොගය අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව පලා ගිය සැකකරුගේ නිවෙස පරීක්ෂා කිරීමේදී තවත් මස් පාර්සල් කිහිපයක් බහා තිබූ ශීතකරණයක්, වෙඩි බෙහෙත් කෙටීමෙන් භාවිත කරන ගිනි අවිය හා වේළන ලද මුව මස් සොයා ගැනීමට හැකි වූ බව වනජීවී නිලධාරීහු පවසති.
සැකකරුවන් හා අදාළ උපකරණ ද ඊයේ (22දා) දින නොච්චියාගම සංචාරක මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

විල්පත්තු ජාතික වන උද්‍යාන භාරකරු චමත් ලක්ෂ්මන් මහතාගේ උපදෙස් මත අඩවි සහකාරවරුන් වන උමේන්ද්‍ර කුමාර, ඩී.පී.ජී. නන්දසේන, එම්. ශාන්ත, වන සත්ත්ව නියාමකවරුන් වන එස්.ඩී. උදයංග, වීරසිංහ බණ්ඩාර, අකලංක විදානගමගේ, ඩී.පී. සංජීවනි ක්ෂේත්‍ර සහායකවරුන් වන ලක්මාල් සමන් කුමාර, සජිත් ලංකාතිලක, නිමේෂ් මිහිර බණ්ඩාර, රියැදුරු එම්.බී. රත්නමලල හා සංජීව පුංචිහේවා යන මහත්වරුන් වැටලීම කරන ලදී.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්