අර්ජුන් ඩබල අත්අඩංගුවට නොගන්නේ ආණ්ඩුවේ බැඳුම්කර හොරුන් අසුවෙන නිසයි

  👤  3166 readers have read this article !
By mawbima 2017-08-23

බැඳුම්කර වංචාවට වගකිවයුතු අර්ජුන මහේන්ද්‍රන් සහ අර්ජුන් ඇලෝසියස්ලා අත්අඩංගුවට ගැනීමට පසුබට වන්නේ ඔවුන් අත්අඩංගුවට ගත් විට ඔවුන්ගේ ප්‍රකාශවලින් බැඳුම්කර වංචාව සම්බන්ධ පුද්ගලයන් හෙළිවන නිසා යැයි මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කංචන විජේසේකර මහතා පවසයි.
ඒ මහතා මෙසේ පැවැසුවේ කඹුරුපිටිය ප්‍රදේශයේ පොදුජන පෙරමුණ පිහිටුවීමේ ආසන බල මණ්ඩල රැස්වීමේදීය.
විජේසේකර මහතා මෙසේද පැවැසීය.

බැඳුම්කර කොමිසමෙන් අනාවරණය වූ කරුණු වූයේ බැඳුම්කර වංචාවට සම්බන්ධ පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ අයිතිකරු අර්ජුන් ඇලෝසියස් විසින් රවි කරුණානායකගේ නිවෙසකට කුලී ගෙවූ සිද්ධියකුත්, ඒ ගෙවීම් කටයුතු සිදුවන කාල වකවානුව තුළ රවි කරුණානායකට අයත් මුදල් අමාත්‍යාංශය යටතේ සුරාබදු දෙපාර්තමේන්තුවෙන් නීත්‍යනුකූලව ලබාදෙන අවසරයකින් සුරාබදු කර්මාන්තශාලාවක් නැඟෙනහිර පළාතේ ආරම්භ කිරීමත් ගැනයි. ඒ අනුව මේ කාලවකවානු ගත්තම මේක අල්ලසක් හැටියට තමයි සැලකෙන්නේ.

පසුගිය කාලයේ අගමැතිවරයා කිව්වේ ආසියාවේ හොඳම මුදල් ඇමැතිවරයා ලංකාවේ ඉන්නෙ කිව්වා. හැබැයි ආසියාවේ ඉන්න හොඳම මුදල් ඇමැතිවරයා අල්ලස් ගත්තයි කියලා ලෝකෙම දැනගත්තා. බැඳුම්කර වංචාවේ සැබෑ චූදිතයන් අද ආරක්ෂා වෙලා තියෙනවා. එක පැත්තකින් අර්ජුන් මහේන්ද්‍රන්, අර්ජුන් ඇලෝසියස්ලට විරුද්ධව තාම එක ප්‍රකාශයක් සටහන් කරගෙන නෑ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෝ අල්ලස් පරීක්ෂණ දෙපාර්තමේන්තුව. මේක ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන කණ්ඩායමේ කෙනකුට වුණා නම් පළමුව අත්අඩංගුවට ගන්නවා. ඊළඟට බන්ධනාගාරගත කරනවා. ඊළඟට ගුවන් ගමන් බලපත්‍රය අහෝසි කරනවා. ඊළඟට සියලු බැංකු ගිණුම් පරීක්ෂා කරනවා. ඊළඟට නඩු පවරනවා. ඊට පස්සේ තමයි කටයුතු කරන්නේ. මේකෙ සියලු දේ අනෙක් පැත්තට යන්නෙ. මේ අවුරුදු දෙකහමාර තුළ මේ කොමිසමෙන් එවැන්නක් සිදුවෙලා නෑ.

රාජිත අමාත්‍යවරයාට අල්ලස් කොමිසමට එන්න කිව්වම දූෂණ විරෝධී කාර්යාලය වසා දැම්මා. ඔවුන්ගේ ඇමැතිවරුන්ට චෝදනා එල්ල වන විට ඔවුන්ගේ ඇමැතිවරුන් දඩයම් කරන්න ගන්නවිට තමයි ඒක වහල දැම්මේ.

ඒ නිසා ඉතාමත්ම පැහැදිලිව බැඳුම්කර කොමිසම ඒකාබද්ධ විපක්ෂය ලබාගත් ජයග්‍රහණයක්. අපේ බලකිරීම තුළ ජනාධිපතිතුමාට සිද්ධ වුණා කොමිසම ඇති කරන්න. අපේ ඊළඟ ජයග්‍රහණය තමයි අපි කියපු කරුණු ඇත්ත කියලා ජනතාවට වැටහීම. ඒව අසත්‍ය චෝදනා නොවේ.

මේ මූසල දෙවසර සමරන මොහොතේ පසුගිය අවුරුදු දෙකහමාරේ කියපු බොරු ඔවුන්ගේ පස්සෙන් පාරාවළල්ලක් ලෙස එනවා. ඔවුන් කරපු සියලු වැරැදි වහගන්න මහින්ද රාජපක්ෂ මහතා පාවිච්චි කරන්න උත්සාහ කළා. නමුත් අද ඔවුන්ට අවාසියක් බවට පත් වුණා. ඉදිරියේදී අපි ටොප් ටෙන් යටතේ සූදානම් වෙනවා අගමැතිවරයාගේ ඉඳල අමාත්‍යවරුන්ගේ කරපු වංචා දූෂණ ලිඛිත සාක්ෂි ඇතිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් අල්ලස් කොමිසමටත් භාර දෙනවා.

මාතර - උදය කුමාර රණවීර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්