පළාත් පාලන ඡන්ද විමසීම් සංශෝධන ප්‍රමාද වීම ගැන සමාව ඉල්ලනවා

  👤  2982 readers have read this article !
By mawbima 2017-08-23

දෙවැනි ලෝක යුද්ධයේදී දිවිපිදූ රණවිරුවන් සිහිපත් කෙරෙන පොපිමල් දිනය වූ පෙරේදා (21දා) පාර්ලිමේන්තුවේදී පොපි මල් අලෙවි කිරීමක් සිදු විණි. සෑම මන්ත්‍රිවරයකුම පොපි මලක් මිලට ගෙන සිය ඇඳුමේ පැලඳගෙන සිටිනු දක්නට ලැබිණි.
අධිකරණ හා බුද්ධ ශාසන ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ සම්බන්ධයෙන් ඉකුත් දිනවල විවිධ පුවත් හා තොරතුරු පළවී තිබූ නිසා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී බොහෝ දෙනා ඒ ගැන කතා කළහ. ඇතැම් මන්ත්‍රිවරුන් මාධ්‍යවේදීන්ගෙන්ද, මොනවද අලුත් තොරතුරු කියා විමසූහ. කෙසේ වෙතත් ආචාර්ය විජයදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවට ඊයේ පැමිණියේ නැත.

පාර්ලිමේන්තුවේ ජනාධිපති කාර්යාලය ඊයේ සවස කලබලකාරී විය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රි කණ්ඩායමේ රැස්වීමක් පැවැත්වෙන බැවින් සවස තුන පසුවන විට මැති ඇමැතිවරු එහි පැමිණියහ.

දේශීය ආදායම් පනත සිකුරාදා විවාදයට ගන්නා බැවින් ඒ පනතට ඉදිරිපත් කරන සංශෝධන හෙට හෝ ලබාදෙන්නැයි බන්දුල ගුණවර්ධන මන්ත්‍රිවරයා කතානායක මඟින් ආණ්ඩු පක්ෂයට දැනුම්දීමක් කෙළේය.

"පළාත් පාලන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පත බ්‍රහස්පතින්දා සභාවට ඉදිරිපත් කරනවා. එදාම විවාද කරලා ඡන්දයට යොමු කරනවා. සිකුරාදා දේශීය ආදායම් පනත ඉදිරිපත් කරනවා. හැබැයි ඡන්දයක් ගන්නෙ නැහැ. සංශෝධන එකසිය ගණනක් තිබෙනවා. ලබන 6 වැනිදා සංශෝධන සාකච්ඡා කර ඡන්දයට ඉදිරිපත් කරනවා"යැයි සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල පැවසුවේය.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක නැඟී සිටියේය. "අප ළඟ සංශෝධන කිසිවක් නැහැ. හෙට උදේටවත් දෙනවද?"
"සංශෝධන හෙට දවල් ‍ෙදාළහ වන විට ලබා දෙන්නම්. දෙවැනි වර කියවීමට ඉස්සෙල්ලා සංශෝධන භාර දිය යුතුයි. ස්ථාවර නියෝගවලට අනුකූලද කෙටුම්පතට අනුකූලද නැද්ද කියා නීතිපතිට තීරණය කරන්න පුළුවන්. සංශෝධන ලබාදීම ප්‍රමාද වීම ගැන සමාව ඉල්ලනවා" යැයි අගමැති රනිල් වික්‍රමසිංහ සම්පූර්ණ වගකීම භාර ගනිමින් කීවේය.

"අප හැම දෙනාටම ඕනෑ ඡන්දය තියන්නයි. මේක විගහට ඉවර කර ගන්න බලමු." අගමැතිවරයා වැඩිදුරටත් කීය.
කාරක සභා අවස්ථාවේ ඕනෑම සංශෝධනයක් ගේන්න පුළුවන් බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල කියූ විට "මොනවා ඕනෑම එකක්?" යැයි වාසුදේව නානායක්කාර මන්ත්‍රිවරයා පුදුමයට පත්විය.

"ඔව්. ව්‍යවස්ථාවට අනුකූලව ඕනෑම සංශෝධනයක් ගේන්න පුළුවන්" බව ලක්ෂ්මන් කිරිඇල්ල කීවේය.
ඩලස් අලහප්පෙරුම මන්ත්‍රිවරයාගේ ප්‍රකාශය වුණේ "මැතිවරණ තියමු. ව්‍යවස්ථාවත් එක්ක ගැටෙන සංශෝධන බලමු" යන්නයි.
"සංශෝධන ව්‍යවස්ථාවට ගැටෙනවාද නැද්ද කියන එක අපේ වගකීමක්" ලක්ෂ්මන් කිරිඇල්ල ඩලස්ට පිළිතුරු දුන්නේය.

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා එම ඇමැතිවරයා වෙනුවෙන් ප්‍රශ්න තුනකට පිළිතුරු දුන්නේය. ප්‍රශ්න ඇසුවේ මහාචාර්ය ආශු මාරසිංහ, අජිත් මාන්නප්පෙරුම සහ නලින් බණ්ඩාර ජයමහ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරු තිදෙනාය.

නියෝජ්‍ය ඇමැතිවරයා ලබා දුන්නේ දීර්ඝ පිළිතුරුය. ප්‍රශ්න තුනට උත්තරදීමට සෑහෙන කාලයක් ගතවිය. අජිත් පී. පෙරේරා උත්තර දුන්නේ ප්‍රශ්නයද කියවීමෙන් පසුවය.
"නියෝජ්‍ය ඇමැතිතුමා, ප්‍රශ්නය ඕනෑ නැහැ. උත්තරය විතරක් කියන්න" කතානායක උපදෙස් දුන්නේය.
"ජනතාවටත් එය ප්‍රයෝජනවත් වෙයි අලුත් ව්‍යාපෘතියක් නිසා" යැයි ප්‍රශ්නය කියවීමේ හේතුව අජිත් පී. පෙරේරා පැවැසීය.
මේ ප්‍රශ්න තුනට ලබාදෙන දීර්ඝ පිළිතුරු මෙන්ම අතුරු ප්‍රශ්න ද නිසා දීර්ඝ කාලයක් වැය වන බව පෙනී ගිය කතානායකවරයා කෙටි උත්තර දෙන ලෙසද කීවේය.
අජිත් පී. පෙරේරාගේ පිළිතුරු දීමේ ශෛලියත් ආණ්ඩු පක්ෂයෙන්ම ප්‍රශ්න අසා තිබීමත් නිසා රංජිත් සොයිසා ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රිවරයාගේ ඉවසීමේ රතුකට්ට පැන්නේය. ඔහු නැඟී සිට රීති ප්‍රශ්නයක් යොමු කළේ අසා සිටීමට බැරිම තැන විය හැකිය.

"කතානායකතුමනි, ඔබතුමා කාලය කළමනාකරණය ගැන ප්‍රකාශ කරනවා. අතුරු ප්‍රශ්න ගණන තුනේ සිට දෙක දක්වා අඩු කළා. නියෝජ්‍ය ඇමැතිතුමා ප්‍රශ්නවලට පිළිතුරු දෙන්නෙ. මේක ටියුෂන් පන්තියක්ද? එහෙමනම් අපටත් ඕනෑ. මෙතුමා විදුලිබල මණ්ඩලය ගැන ටියුෂන් එකක් දෙනවා. මොකක්ද මේකෙ තේරුම" යැයි විමසුවේ රංජිත් සොයිසා ආවේගයෙනි. අජිත් මාන්නප්පෙරුම මන්ත්‍රිවරයාගේ ප්‍රශ්නයට අජිත් පී. පෙරේරා නියෝජ්‍ය ඇමැති උත්තර දුන්නේය.
"මිලියන දහයක් එල්. ඊ. ඩී. නොමිලේ ලබාදීමට අප කටයුතු කරනවා. අපි එල්. ඊ. ඩී. සංස්කෘතියක් හඳුන්වා දෙනවා"

ජාතික විදුලි පද්ධතියේ ගුණාත්මකභාවය ගැනත් අජිත් මාන්නප්පෙරුම ඇසුවේය. ඉන්ජිනේරුවෙක් වශයෙන් මගේ මිත්‍රයා අහන ප්‍රශ්නය ඉතා වැදගත් එකක්යැයි අජිත් පී. පෙරේරා කීවේය.

රංජිත් සොයිසා මන්ත්‍රිවරයා කෘෂිකර්ම ඇමැතිවරයාගෙන් අසා තිබූ ප්‍රශ්නයට උත්තර දුන්නේ නියෝජ්‍ය ඇමැති වසන්ත අලුවිහාරේය.
මේ වගා කන්නයේදී ලංකාවේ වී වගා කළ සමස්ත බිම් ප්‍රමාණය අක්කර 6,12,223.57 ක් බව නියෝජ්‍ය ඇමැති වසන්ත කීවේය. පවතින දැඩි නියඟය හේතුවෙන් අක්කර 50,615.05ක බිම් ප්‍රමාණයක් වගා හානිවී ඇතැයිද හෙතෙම කීවේය. නියඟයෙන් රටට අහිමිවේ යැයි තක්සේරු කර ඇති වී ප්‍රමාණය මෙට්රික් ටොන් 40,533,395.37ක් බවද වසන්ත අලුවිහාරේගේ පිළිතුරෙහි ඇතුළත් විය.
"වගා හානි වූ ගොවීන් වෙනුවෙන් රජය ලබාදීමට බලාපොරොත්තු වන සහනය කොපමණද?" රංජිත් සොයිසා ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දුන් නියෝජ්‍ය ඇමැතිවරයා කීවේ අක්කරයකට රුපියල් 10,000ක වන්දියක් ගෙවන බවයි. බිලියන 5.2ක මුදලක් වන්දි ඉල්ලුම් කළ හැම ගොවි මහතකුටම ගෙවා තිබෙනවා යැයිද වසන්ත අලුවිහාරේ කීවේය.

"නුවරඑළියේ පාරවල් හදනවා කීවත් හදන්නෙ නැහැ. නිලධාරීන් මා එක්ක තරහද නැත්නම් ආණ්ඩුව එක්ක තරහද දන්නෙ නෑ. මා ගිය ආණ්ඩුවෙත් හිටියා. ඒ කාලෙ සෙකටි්‍රගෙ ලියුමක් අරන් ගියා නම් කරලා දෙනවා" යැයි මහාමාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ලට පැමිණිල්ලක් කළේ අධ්‍යාපන රාජ්‍ය ඇමැති වී. එස්. රාධක්‍රිෂ්ණන්ය.
"කාගෙද ආණ්ඩුව?" විපක්ෂයෙන් ආපසු ඇසිණි.

"අපේ ආණ්ඩුව. ඒක නිසා තමයි අපි ඇමැතිතුමාට කියන්නෙ" රාධක්‍රිෂ්ණන් උත්තර දුන්නේය.
දැනටමත් හොරු බයවෙලාද දන්නෙ නැහැ. විජයදාස රාජපක්ෂ මහත්තය ආරක්ෂා කරන ප්‍රතිපත්තියක ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම ඉන්නෙ මෙතෙක් කලක් එතුමා නිසා ඔවුන් ආරක්ෂා වී සිටි නිසයි. මේ තීරණය නිසා හොරු බයවෙලා "හැංගිලා" නලින් බණ්ඩාර ජයමහ කීවේය.

දයා පෙරේරා

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්