යතුරුපැදියකින් දානෙ ගෙදරක යද්දී කැබ් රියක හැපී මියගිය අම්මයි පුතයි

  👤  3444 readers have read this article !
By mawbima 2017-09-13

මතුගම-හොරණ ප්‍රධාන මාර්ගයේ අඟුරුවාතොට හේනේගම පාලම අසලදී 9 දින සවස දෙකට පමණ යතුරුපැදියක් කැබ් රථයක මුහුණුට මුහුණ ගැටීමෙන් යතුරුපැදියේ ගමන් කළ මව-පුතු දෙදෙනා ජීවිතක්ෂයට පත්වීමේ සිදුවීම එය ඇසූ දුටුවන්ගේ නෙතට කඳුළක් එක් කරන්නක් විය.
මෙසේ මියගොස් ඇත්තේ බදුරලිය පැලෑඳ මාහේන ගම්මානයේ පදිංචි නාකන්දලගේ තමරා පුෂ්පකාන්ති නමැති 47 හැවිරිදි තිදරු මව සහ මියගිය ඇයගේ එකම පුතු පොත්තපිටියගේ ප්‍රමිත රංගික හසලංක (24) හැවිරිදි පුතුය. මියගිය අයගේ ස්වාමිපුරුෂයා වූ මාහේන පැලෑඳ පදිංචි රංජිත් පෙරේරා (49) තිදරු පියා මෙසේ විස්තර කළේය.
මම පෙදරේරු කාර්මිකයෙක්. මේ සිද්ධිය නවය දින සවස දෙකට විතර මට පණිවුඩය ලැබෙන විට තුඩුගල වැඩපළක වැඩ කළේ. මට කෝල් කරලා කීවා බයිසිකලේ අම්මටයි, පුතාටයි අනතුරක් වෙලා ඒ නිසා ඉක්මනට එන්න කියලා.'

හොරණ දානෙ ගෙදරක යනවිට තමයි මේ අවාසනාවන්ත සිද්ධිය වෙලා තියෙන්නේ.
ප්‍රමිත මගේ පුතා මා සමඟ පෙදරේරු රස්සාව කළේ. මගේ භාර්යාව පුෂ්පරාණි සමඟ සෑම දෙයකටම අම්මයි පුතයි යන්නේ ප්‍රමිත පුතාගෙ උනන්දුවෙන් තමයි එයාගෙ නංගිලා දෙන්නාට උගන්වන්නේ. එක්කෙනෙක් විශ්වවිද්‍යාලෙ, අනෙක් නංගි උසස් පෙළ කරන්නේ. මේ දෙන්නාට අගහිඟකම් මැද ඉගෙනීමේ කටයුතුවලට උදවු කළේ මේ මියගිය ප්‍රමිත පුතා තමයි'

ඒ දෙන්නා එකටම සමුගත්තෙ අම්මාට පුතු ගැනත් පුතුට අම්මා ගැනත් දුකක් නොදෙන්න වෙන්නැති. ඒත් මටත් දුවලා දෙන්නටත් දුකක් දීලයි එයාලා ගියේ'
මගේ බිරියගෙයි පුතාගෙයි ජීවිත බිලිගත් කැබ් රථ රියැදුරු බීමත්ව සිටි බව කියැවෙනවා.

ඔහුට නීතියෙන් දඬුවම් නොලැබුණත් දෙවියන් බුදුන් දඬුවම් ලබාදෙයි. මගේ බිරිය තමරාටත් එකම පුතු ප්‍රමිතටත් නිවන් සුව අත්වේවායි පතනවා.
අනතුර සිදු කළ කැබ් රථයේ රියැදුරු මතුගම අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර තෙබුවන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මල්ලවආරච්චි, රථවාහන අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ජයරත්න මැදවත්ත, සැරයන්වරුන් වන වීරවංශ (34600), ප්‍රනාන්දු (45041) යන නිලධාරීන් අනතුර සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

පාලින්දනුවර _ එස්. විතාන

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්