නාත්තණ්ඩියේ 74 හැවිරිදි පුංචි මැණිකාට මාරවිල පොලිසියෙන් හිසට සෙවණක්

  👤  3532 readers have read this article !
By mawbima 2017-09-13

හිසට හරි හමන් සෙවණක් නොමැතිව වසර හැත්තෑ හතරක් ඉතා දුක්ඛිත ජීවිතයක් ගත කළ මවකට හා ඇගේ දරු මුනුපුරන්ට ස්ථිර නිවෙසක් ඉදිකරදීමට මාරවිල මූලස්ථාන පොලිසිය පසුගියදා පියවර ගන්නා ලදී. ඒ නාත්තණ්ඩිය පනන්ගොඩ ග්‍රාමයේ දයාශි්‍රත තිසේරාපුර ජීවත් වන ආර්. ඒ. පුංචි මැණිකා මහත්මියට සහ ඇගේ දරු මුනුපුරන් වෙනුවෙනි.

ගමත් පොලිසියත් අතර දැඩි බැඳීමක් ඇති කිරීමේ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ සංකල්පය මත ක්‍රියාත්මක වූ වැඩසටහනක් මල්ඵල දැරීමක් ලෙස මේ නිවෙස ඉදිකර පරිත්‍යාග කිරීම සැලකිය හැකි බව මේ උත්සවය සඳහා පැමිණි ආගමික නායකයන්ගේ අදහස විය.
මේ නිවෙස ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ දහයකට ආසන්න මුදලක් වැය කර ඇති අතර මේ සඳහා පොලිසිය මෙන්ම ප්‍රජාවගේද දායකත්වය ලබා දී තිබිණි. නිවෙසට අමතරව අවශ්‍ය අනෙකුත් උපකරණ රැසක් පරිත්‍යාග කිරීමද මෙදින සිදුවිණි.

නව නිවෙස භාරදීම පුත්තලම නියෝජ්‍ය පොලිස්පති චම්පික සිරිවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. මේ අවස්ථාවට හලාවත පොලිස් අධිකාරි කේ. ඒ. බී. එස්. කුමාරපේලි, හලාවත සහකාර පොලිස් අධිකාරි කීර්ති බණ්ඩාර, මාරවිල මූලස්ථාන පොලිස් පරීක්ෂක එස්. ඩී. ආර්. ප්‍රියන්ත යන මහත්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීහු රැසක්ද සහභාගි වූහ.

මෙහිදී සතුටු කඳුළු වගුරුවමින් කතා කළ මෙව නිවෙස හිමිවූ ආර්. ඒ. පුංචි මැණිකා මහත්මිය,
'මට වයස අවුරුදු හැත්තෑ හතරක්. මම හිතුවෙ නැහැ මම මැරෙන්න පෙර මේ වගේ ගේක ඉන්න ලැබෙයි කියල. අපි වැස්සට තෙමුණා. අව්වට පිච්චුණා. වහිද්දි ගේ ඇතුළෙන් වතුර ගලාගෙන ගියා. මෙහෙම තමයි මුළු ජීවිත කාලයම ගත කළේ. අඩුම ගානේ මගේ සිහිනයකවත් තිබුණේ නැහැ මේ වගේ ගෙයක් ලැබෙයි කියලා'

මාරවිල පොලිසිය මේ පින් කටයුත්තට යොමු කර ඇත්තේ පනන්ගොඩ ප්‍රජා පොලිස් ඒකකයයි. එහි සභාපති වික්‍රමනායක ගුණරත්න මෙන්ම පනන්ගොඩ ප්‍රදේශය භාර පොලිස් නිලධාරි කොස්තාපල් නන්දික (86095) හා උප පොලිස් පරීක්ෂක පුෂ්පකුමාර යන මහත්වරුද මේ නිවෙස ඉදිකිරීම් සඳහා පෙරමුණ ගෙන තිබිණි.
මීට අමතරව මාරවිල මූලස්ථාන පොලිස් පරීක්ෂක එස්. ඩී. ආර්. ප්‍රියන්ත මහතා ප්‍රධාන මාරවිල පොලිසියේ සියලු නිලධාරීන්ගේ ද සහාය මේ සඳහා ලැබී තිබිණි.

ශානිකා හේමන්ති - මාරවිල

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon