හිටපු ජනාධිපතිත්, ඒකාබද්ධයත් ජනතා දෙපතුල ළඟ දණින් වැටී සමාව ගත යුතුයි

  👤  3372 readers have read this article !
By mawbima 2017-09-13

අනුරාධපුර - එරන්ද ශෂිප්‍රිය

පසුගිය ජනාධිපතිවරණයේදී තම අරමුණු ඉටු කර ගැනීම සඳහා ජනතාවගේ මුදල් අනිසි ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂ නඩය ජාතියෙන් සහ ජනතාවගේ දෙපතුල ළඟ දණින් වැටී සමාව ගත යුතු බව ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය පී. හැරිසන් මහතා පැවැසීය.
අනුරාධපුරයේ පිහිටි සිය කාර්යාලයේදී පෙරේදා (11දා) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීවේය.

මේ සිල් රෙදි බෙදුවේ මැතිවරණ සමයේදී එය නීති විරෝධී ක්‍රියාවක් නිසා මැතිවරණ කොමසාරිස්වරයා ගිහින් ස්ථාන ගණනාවකදී සිල් රෙදි බෙදීම නතර කිරීමට පියවර ගත්තා. නීති විරෝධී ආකාරයට සිල් රෙදි බෙදලා, වැරදුණාට පස්සෙ එතුමා දැන් කියනවා තමන් බෞද්ධයන් වෙනුවෙන් පෙනී සිටිය කියලා. එතුමා බෞද්ධයන් වෙනුවෙන් පෙනී සිටියේ නෑ. එහෙම නම් එතුමාට මුස්ලිම් සහ දෙමළ ජනතාවත් ඡන්දෙ දුන්නනේ? එහෙම නම් එම ජාතීන් වෙනුවෙනුත් එතුමාට පෙනී හිටින්න තිබුණනේ.

මහින්ද රාජපක්ෂ මහත්තය රජයේ මුදල්වලින් තමන්ගේ පටු අරමුණු ඉටුකර ගැනීමයි හැමදාමත් කළේ. දැන් මේ සිල් රෙදි බෙදීමේ චෝදනාවට සිර දඬුවම් විඳින නිලධාරීන්ට තිබුණා අපට මේක කිරීමට හැකියාවක් නෑ කියලා හිටපු රජයේ නායකයන්ට කියන්න. එහෙම නොකියා චෝදානවට ලක්වූ එම නිලධාරීනුත් බොහොම කැමැත්තෙන්නේ ඒ දේ කළේ. එහෙම නම් වැරදි කළ නිලධාරීන් ඒවාට දඬුවම් විඳින්න ඕන. මේ නඩු තීන්දුව ආණ්ඩුවෙන් දීපු තීන්දුවක් නෙවෙයි. ඔවුනට එල්ල වූ චෝදනා පිළිබඳව හොඳට සොයා බලා විභාග කර තීන්දුව දී තිබෙන්නේ. ඒ නිසා අපිට ඒකට අභියෝග කරන්න බෑ.

අධිකරණයට අපි සියලු දෙනාම යටත්. ඒ නිසා හිටපු ජනාධිපති ලේකම්වරයාට සහ අනුෂ පැල්පිට මහතාට එරෙහිව ලබා දුන් නඩු තීන්දුව අපට පිළිගන්න වෙනවා. දැන් පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන ඇතුළු පිරිසක් ජනතාවගෙන් රුපියල ගාණෙ එකතු කරලා හිටපු ජනාධිපති ලෙක්ම්වරයාට සහ අනුෂ පැල්පිට මහතාට අධිකරණය මඟින් පනවා තිබෙන දඩ මුදල ගෙවන්න හදනවා. ජනතාවගෙන් මුදල් ඉල්ලීම නෙවෙයි බන්දුල ගුණවර්ධන ඇතුළු ඒකාබද්ධ විපක්ෂය දැන් කළ යුත්තේ. තමන් කළ වරදට මේ නිලධාරීන් දෙදෙනාට හිරේ යන්න සිදුවීම නිසා ජනතාවගේ දෙපතුළ ළඟ දණින් වැටිල සමාව ඉල්ලා සිටීමයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්