අධිකරණ නියෝග කඩ කරමින් ලක්ෂ 1700ක මාර්ග අලුත්වැඩියා කොන්ත්‍රාත් නීතිවිරෝධීව බෙදලා

  👤  3373 readers have read this article !
By mawbima 2017-09-13

අනුරාධපුර _
ආනන්ද කරුණාදාස

අධිකරණ නියෝගයක්ද කඩ කරමින් රජයේ ප්‍රසම්පාදන නියමයන්ද මුළුමනින්ම උල්ලංඝනය කරමින් නීති විරෝධීව ලබාදී ඇති රුපියල් ලක්ෂ එක්දහස් හත්සියයක් වටිනා කොන්ත්‍රාත් වහාම අත්හිටුවන ලෙස උතුරු මැද පළාත් ආණ්ඩුකාර පී.බී. දිසානායක මහතාගෙන් ලිඛිතව ඉල්ලා ඇති ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ උතුරු මැද පළාත් ශාඛාවේ සභාපති ජී.බී. ලෝහිතරත්න මහතා, එලෙස අදාළ කොන්ත්‍රාත් අවලංගු නොකරන්නේ නම් අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් මෙම දූෂිත ක්‍රියාවට සම්බන්ධ සියල්ලන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව දැනුම් දී තිබේ. ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ උතුරු මැද ශාඛාවේ සභාපතිවරයා 2017.09.11 වැනි දින උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයාට යොමු කර ඇති ලිපියේ දක්වන්නේ 2017 වසරේ මුල සිටම සියලු ටෙන්ඩර් කැඳවීම් ජාතික පුවත්පත් මඟින් ප්‍රසිද්ධ කර මාර්ග සංවර්ධන අධිකාරිය විසින් මාර්ග 6ක් ඇස්තමේන්තු කොට 2017 වසරේ පෙබරවාරි මාසයේ පළාත් ප්‍රධාන අමාත්‍යාංශයට එවා ඇතත් එම මාර්ග ඇස්තමේන්තු පමණක් ප්‍රසිද්ධ ජාතික පුවත්පත් මඟින් පළ නොකර ඉතා කුඩා ප්‍රමාණයේ දැන්වීමක් එක් පුවත්පතක පමණක් පළ කර තිබූ බවයි. ඊට අමතරව ප්‍රධාන අමාත්‍යාංශයේ වෙබ් අඩවියට මෙම තොරතුරු ඇතුළත් කර ඇතත් මාර්ග සංවර්ධනයට අදාළ එම තොරතුරු කොන්ත්‍රාත්කරුවන්ට ලබා ගැනීමට නොහැකි වන අයුරින් වෙබ් අඩවියේ අදාළ කොටස අවහිර කර තිබූ බවද එම ක්‍රියාව කොන්ත්‍රාත්කරුවන් නොමඟ යැවීමේ අරමුණින් සිදු කරන ලද්දක් බවද ලෝහිතරත්න මහතා සිය ලිපියෙන් පෙන්වා දෙයි.

ප්‍රශ්නගත එම මාර්ග අලුත්වැඩියා කිරීමේ ව්‍යාපෘති පිරිනමා ඇත්තේ රජයේ සියලු ප්‍රසම්පාදන නියමයන් උල්ලංඝනය කරමින් බවද ඔහු පවසයි.
මෙම නීති විරෝධී ක්‍රියාව තුළින් උතුරු මැද පළාත්බද සිවිල් අභියාචනා මහාධිකරණයේ රීට් 03/16 අංක දරන නඩුවේ තීන්දුවද බරපතළ ලෙස කඩ කර අධිකරණයටද අපහාස කර ඇති බැවින් නීතියට පටහැනි අයුරින් පිරිනමා ඇති මෙම කොන්ත්‍රාත් වහාම අත්හිටුවන ලෙස ඉල්ලා සිටින අතර එසේ එම කොන්ත්‍රාත් අවලංගු නොකළහොත් අධිකරණ ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බවද ඒ මහතා සිය ලිපියෙන් දැනුම් දී ඇත. උතුරු මැද පළාත්බද සිවිල් අභියාචනා මහාධිකරණයේ රීට් 03/16 අංක දරන නඩු තීන්දුවට අනුව රජයේ ව්‍යාපෘති සඳහා කොත්ත්‍රාත් පිරිනැමීමේදී පළාතේ සියලු ලියාපදිංචි කොන්ත්‍රාත්කරුවන්ට ලියාපදිංචි තැපැල් මඟින් ඉල්ලුම්පත් යැවීම අනිවාර්ය බවත් එසේ තිබියදී නීතියට පටහැනිව මෙලෙස කොන්ත්‍රාත් පිරිනැමීම අධිකරණයට අපහාස කිරීමක් නොවේද? යන්න විමසූ විට ප්‍රධාන ලේකම්වරයා සඳහන් කළේ එසේ විය හැකි බවත් කෙසේ වෙතත් කොහොම කොහොම හරි කොන්ත්‍රාත් දීලා තිබෙනවා යන්නයි. මෙම කොන්ත්‍රාත් පිරිනැමීමට එරෙහිව ඇතැම් විට ඉදිකිරීම් සංගමය අධිකරණයට යෑමට ඉඩ ඇති බවද ලේකම්වරයා තවදුරටත් කීවේය.

උතුරු මැද පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ වැඩ බලන සාමාන්‍යාධිකාරි චානක කුලවර්ධන මහතාගෙන් මේ පිළිබඳව විමසූ විට ඔහු පැවැසුවේ, කොන්ත්‍රාත් පිරිනැමීමේ කාර්ය තමන්ට අයත් නොවන බවත් ඒවා සිදු කරන්නේ පළාත් ප්‍රධාන අමාත්‍යාංශය සහ ප්‍රධාන ලේකම්වරයා බවත්ය. මේ අතර ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ ලේකම් පුබුදු කමල් පෙරේරා මහතාද මේ පිළිබඳව උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම්වරයාට වෙනමම තවත් ලිඛිත පැමිණිල්ලක් යොමු කර තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්