අනුරාධපුර ශික්ෂණ රෝහලට ආ තරුණ මවක් බිහි කළ දරුවා රෙදි කඩක ඔතා දමාගිහින්

  👤  3424 readers have read this article !
By mawbima 2017-09-13

අනුරාධපුර - මහේෂ් විජේසූරිය

අනුරාධපුර ශික්ෂණ රෝහලේදී දින දහයකට ඉහතදී තරුණ මවක් බිහිකළ ළදරුවකු අනුරාධපුර සාලියපුර පුළියන්කුලමේ පිහිටි (වැඩිහිටි නිවාසය අසල) ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකයේ පිටුපස පිහිටි වතුර ටැංකිය අසල සුදු රෙදි කඩකින් ඔතා දමාගොස් සිටියදී එහි සේවයේ නියුතු සේවිකාවක් විසින් ඊයේ (12දා) උදෑසන සොයා ගැනීමෙන් අනතුරුව අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට භාරදීමට කටයුතු කර තිබිණි.

ඊයේ (12දා) උදෑසන සේවයට පැමිණි සෞඛ්‍ය කාර්ය සහායිකාවන්ට අසලින් දරුවකු හඬනා හඬක් ඇසීම නිසා විපරම් කර බලද්දී ආයතනයේ පිටුපස පිහිටි වතුර ටැංකිය අසල සුදු රෙදි කඩකින් ඔතා දමා ගිය බිලිඳු දරුවා හමුවී තිබේ.
අනතුරුව ඔවුන් කළ දැන්වීම මත පොලිස් නිලධාරීන් එහි ගොස් දරුවා පොලිස් භාරයට ගත් අතර සිවිල් ඉන්ජිනේරුවරියක් බව කියන වයස අවුරුදු 22ක් පමණ වන තරුණියක් පසුගියදා (2දා) අනුරාධපුර ශික්ෂණ රෝහලේ මහාචාර්ය ඒකකයේදී දරුවා ප්‍රසූත කර ඇති බව පොලිසිය තහවුරු කරගනු ලැබීය. ඇය ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකය ඉදිරිපිට පිහිටි නිවෙසේ මාසයකට ආසන්න කාලයක් නවාතැන් ගෙන සිටි අයකු බව පොලිසිය තහවුරු කර ගත්තේය.
ඇය කෑගල්ල ප්‍රදේශයේ පදිංචිකාරියක් බව නිවැසියන්ට පවසා ඇතත් ඇය සත්‍ය තොරතුරු ඔවුන්ට පවසා ඇත්ද යන්න අනාවරණය කරගත යුතු බවත් ඇගේ ජංගම දුරකතන අංකයට ඇමැතුම් ලබාගත්තත් ඇය ඊට ප්‍රතිචාර නොදැක්වූ බව පොලිසිය පැවැසුවේය. ඇය දරුවා ලැබී නවාතැන් ගෙන සිටි නිවෙසට පැමිණ ඇති අතර දින කිහිපයකට ඉහතදී නිවෙසට යන බව කියා ගිය ඇය පෙරේදා (11දා) සවස නැවතත් නිවෙසට පැමිණ ඇති බව පොලිසිය අනාවරණය කර ගත්තේය.
පෙරේදා (11දා) නිවෙසට දරුවා අරන් පැමිණි තරුණිය ඊයේ (12දා) උදෑසන නිවැසියන්ටත් නොකියා ගොස් ඇති බවත් ඇය දරුවා සායනයේ පිටුපස දමා යන්නට ඇති බවත් පැවැසේ.

ළදරුවා බිහිකර පලාගිය මව සම්බන්ධයෙන් අදහස් දැක්වූ පුලියන්කුලමේ කාන්තාවක් මෙසේ කීවාය. පළමු වැනිදා වැස්ස වෙලාවේ ප්‍රාථමික වෛද්‍ය ඒකකය ඉදිරිපිට නිවෙසේ පදිංචිව සිටි තරුණ කාන්තාව වැස්සේ දරුව හම්බ වෙන්න යනවා කියලා උදවු කරන්න කිව්වා. මම එයා ත්‍රිරෝද රථයක දාගෙන අනුරාධපුර රෝහලට රැගෙන ගියා. එයා ළඟ තිබ්බේ සායන වාර්තාවේ ඡායා පිටපත්. ඒ ගැන මට සැකයක් ඇති වුණා. එයාට හම්බ වුණ දරුවා තමයි ඔය දාලා ගිහින් තියෙන්නේ. දරුවගේ දකුණු අතේ රෝම ගොඩක් තිබ්බා යනුවෙන් ඇය වැඩිදුරටත් පැවැසුවාය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්