තනතුරකට හිතවතකු බඳවාගන්න ව්‍යවස්ථාවක් හොරට හදලා

  👤  3389 readers have read this article !
By mawbima 2017-09-13

අනුරාධපුර _ ආනන්ද කරුණාදාස

උතුරු මැද පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ තක්සේරුකරු තනතුරට තමන්ට හිතවත් නිලධාරීන් පත්කර ගැනීමේ අරමුණින් එම තනතුරට සුදුස්සන් තෝරා ගැනීමේ නීත්‍යනුකූල සියලු ක්‍රමවේදයන් බැහැර කර වංචනික ලෙස බඳවා ගැනීමේ නව ව්‍යවස්ථාවක් සකස් කළ බවට අධිකරණය හමුවේ එල්ල වී ඇති චෝදනාවන්ට මේ මස 25 වැනි දින විරෝධතා ගොනු කරන ලෙස උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයා, පළාත් ප්‍රධාන ලේකම්වරයා, ආණ්ඩුකාර ලේකම්වරයා, ආදායම් කොමසාරිස්වරිය ඇතුළු වගඋත්තරකාර නිලධාරීන් 13 දෙනකුට උතුරු මැද පළාත් බද සිවිල් අභියාචනා මහාධිකරණයේ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා තුන්වැනි වතාවටත් නියෝග කළේය.

විරෝධතා ගොනු කිරීමට වගඋත්තරකරුවන්ට මේ මස 25 දක්වා දින ලබා දෙන්නේ අවසන් වශයෙන් බවද විනිසුරුවරයා වගඋත්තරකරුවන්ට තවදුරටත් දැන්වීය.
උතුරු මැද පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ ජේ‍යෂ්ඨ බදු නිලධාරීන් වන එම්.එස්. චන්ද්‍රසේකර, එම්.එම්.පී. කුමාර, ඒ.ජී.ඒ.ඩී.කේ. නවරත්න, බී.ජී.සී. පුෂ්පකුමාරි, ආර්.ඒ.ආර්. ඉෂාන්ති, බී.එල්.එන්. උදය කුමාර, අයි. එච්. නිරෝධා, යූ.එ්.සී. අතුල කුමාර සහ බී.එස්. නිමල් යන මහත්වරුන් උතුරු මැද පළාත් බද සිවිල් අභියාචනා මහාධිකරණයට ඉදිරිපත් කර ඇති පෙත්සමක් යළි සලකා බැලූ අවස්ථාවේ වගඋත්තරකරුවන්ට මෙසේ නියෝග කෙරිණි.
උතුරු මැද පළාත් ආණ්ඩුකාර පී.බී. දිසානායක, පළාත් ප්‍රධාන ලේකම් එච්.එම්.පී. බණ්ඩාර, පළාත් ආණ්ඩුකාර ලේකම් ආනන්ද කුලරත්න, පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් එච්.එම්. එම්. තිලක බණ්ඩාර, එහි සභාපති එස්.ජී.එම්.සී.කේ. සෙනෙවිරත්න, උතුරු මැද පළාත් ආදායම් කොමසාරිස් ආර්.එස්. සමරනායක, ජේ‍යෂ්ඨ බදු නිලධාරී වන එන්.එම්. නලීන් ගුණරත්න සහ එම්.පී. ප්‍රියන්ති කේකතී විජයලතා සහ ඩබ්.බී. ලලිත් කුමාර යන මහත්ම මහත්මීහු ඇතුළු දහතුන් දෙනකු මෙම නඩුවේ වගඋත්තරකරුවෝ ලෙස නම් කරනු ලැබ සිටිති.
පෙත්සම්කාර ජේ‍යෂ්ඨ බදු නිලධාරීන් වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් නීතිඥ අනුරුද්ධ විජේරත්න මහතා සඳහන් කර ඇත්තේ උතුරු මැද පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ තක්සේරුකරු තනතුරට සුදුසු නිලධාරීන් බඳවා ගැනීම සඳහා පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ කාර්ය පටිපාටියක්ද ආයතන සංග්‍රහයේ නීතිමය ක්‍රමවේදයක්ද පවතින බවයි.

එහෙත් එම සියලු බඳවා ගැනීමේ ක්‍රමවේදයන් බැහැර කරමින් මෙම නඩුවේ හය වැනි වගඋත්තරකරු ලෙස නම් කර සිටින උතුරු මැද පළාත් ආදායම් කොමසාරිස් ආර්.එස්. සමරනායක නමැත්තාගේ මූලික මැදිහත්වීමෙන් සෙසු වගඋත්තරකාර නිලධාරීන් ඔවුනට හිතවත් සුදුසුකම් නොමැති නිලධාරියකු එකී තනතුරට පත් කර ගැනීම සඳහා එම හිතවත් නිලධාරීන්් සුදුසුකම්වලට ගැළපෙන අයුරින් බඳව ගැනීමේ නව නීති විරෝධී වංචනික ව්‍යවස්ථාවක් සකස් කර ඇති බවද නීතිඥ අනුරුද්ධ මහතා අධිකරණයට සැල කළේය.
වගඋත්තරකරුවන්ගේ මෙම ක්‍රියාවන් මුළුමනින්ම නීතියට මෙන්ම උතුරු මැද පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ බඳවා ගැනීමේ කාර්ය පටිපාටියට, ආයතන සංග්‍රහයේ බඳවා ගැනීමේ කාර්ය පටිපාටියට, මෙන්ම රජයේ තනතුරු සඳහා බඳවා ගැනීමේ නියමයන්ටද පටහැනි බවද අධිකරණයට අවධාරණය කළ නීතිඥ අනුරුද්ධ විජේරත්න මහතා වගඋත්තරකරුවන් විසින් ගෙන ඇති මෙම නීති විරෝධී තීරණය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙසද අධිකරණයෙන් අයැද සිටියේය. විරෝධතා ගොනු කිරීමට දිනයක් ලබා දෙන ලෙස වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් අධිකරණයෙන් අයැද සිටියේය.
පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ අනුරුද්ධ විජේරත්න මහතා පෙනී සිටි අතර 1 සිට 10 දක්වා වගඋත්තරකරුවන් වෙනුවෙන් ප්‍රීති මුණසිංහ සහ විශාකා දිසානායක යන නීතිඥවරියන්ද, 11 සහ 12 වගඋත්තරකරුවන් වෙනුවෙන් නීතිඥ දහම්පත් මහතා ද 13 වැනි වගඋත්තරකරු වෙනුවෙන් නීතිඥ ආනන්ද ප්‍රේමරත්න මහතාත් පෙනී සිටියහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්